2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා

ඇටකටු ඇතුළට දැනෙන දේ වචන වලින් කියන්න බෑ

 2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 104

Art එකේ කැරට්ටුව..

Vishwajith සමඟ Danushka 

ටිකක් වහින්නත් වගේ...  ඒ වුණාට වෙරළේ සිරියාවනම් අඩුවක් නෑ....
අපි ඉන්නෙ ගල්කිස්ස  මුහුදු වෙරළේ... 

අද ඉරිදා නිවාඩු දවස නිසාද කොහෙද සතුට හොයාගෙන මිනිස්සු පවුල්පිටින් ගල්කිස්ස වෙරළට ඇවිත්... සතුට ලැබෙන්නේ ඉල්ලන අයට නෙමේ... හොයන අයට... ඒක තමයි ඇත්ත...
හරි... අපි අද හොයාගෙන ආවේ... පට්ටම පට්ට චරිතයක්.

ආ හරි මේ ඉන්නෙ... 
ළඟට එනකම්ම දැක්කෙ නෑ...
ආයුබෝවන්... ආයුබෝවන්...

හැබැයි බොහොම අමාරුවෙන් තමා වැඩේට අල්ලගත්තේ...
ඔහු ගැන කියනවනම් කියන්න දේ බොහෝමයි... කෙටියෙන් මම මෙහෙම කියන්නම්කො.. චරිතයක ඇති මනෝභාවයන් හොඳින් හඳුනාගෙන.. ඊට සාධාරණයක් හැමවෙලාවෙම නිර්මාණයට එකතුකරන හදගැස්මට සුසුමක් සරිකළ හැකි මනුස්ස හිතකට උරුමකම් කියන වේදිකාව, ටෙලිනාට්‍ය වගේම සිනමාවෙත් කැපීපෙනෙන චරිතයක්. ඔහුගේ රංගනය සම්මාන උළෙලවල් කීපයකම ඇගයීමටත් ලක්වුණා. 
ඒ වෙනකවුරුත් නෙමේ... විශ්වජිත් ගුණසේකර. 

විශ්වජිත් කොහොමද ජීවිතය. අපි එතනින් පටන් ගමු?
වරදක් නෑ ඉතින්... සාමාන්‍ය පරිදි ෂූටින් යනවා... අනිත් දේවලුත් සාමාන්‍ය විදිහට තමා... පහුගිය දවස්වල ටිකක් කනස්සල්ලෙන් තමා හිටියේ... මොකද අපේ ගෙදර සුරතල් සත්තු ඇතිකරනවා... ඒ අයට අපි ගොඩක් සමීපයි... ආදරෙයි... එහෙම ආදරය කරපු කෙනෙක් අපිට නැති වුණානෙ... ඔහොම තමයි ඉතින් ජීවිතේ හැලහැප්පීම් එකක් ජීවිතය ගතවෙනවා...
ඒ තමා මේ දවස්වල ඔහුගේ ජීවිතය ගෙවෙන හැටි... 

ඔයා රඟපාපුවා අපි හොඳට රසවිඳලා තියෙනවා... ඒවා පැත්තකින් තියමුකො... ඔබ අහපු දැකපු, විඳපු හොඳ නිර්මාණ ගොඩක් ඇතිනෙ... ඒ නිර්මාණ අතරින් ගොඩක් සමීපවුණ, ජීවිතයට හරයක් එකතු කරපු, හැම වෙලාවකම මතකයට එන එකක් ගැන අද ටිකක් කතා කරමුද? 
හැබැයි.. ඒක ගීතයක් වෙන්න බෑ.
මෙච්චර වෙලා මුහුදේ ගිලුණු එයාගේ දෑස් මොහොතකට හැරුණා මගෙ පැත්තට...
මිනිත්තු කිහිපයක මුනිවත රැක්ක විශ්වජිත්... ලොකු කතාවකට මුලපිරුවා...

ඇත්තටම එහෙම නිර්මාණ ගොඩක් තියෙනවා... ඔබ ඔය ප්‍රශ්නය අහපු ගමන්ම මගේ ඔළුවට ආවේ මාර්ටින් ස්කොසිස් අධ්‍යක්ෂණය කරපු ටැක්සි ඩ්‍රයිවර් කියන බටහිර චිත්‍රපටය...

ඇයි ඔබ ඒ චිත්‍රපටය එච්චරම කැමැත්තක් දක්වන්නේ...?
මම දන්නෙ නෑ මොන හේතුවක්ද කියලා... ඔය ෆිල්ම් එක මම ළඟ තියාගෙන නිතරම බලනවා... ඒ චිත්‍රපටය නිසා මාව එක්තරා විදිහකට උත්කර්ෂයකට නැත්නම් ප්‍රබෝධයකට ලක්කරනවා. නිර්මාණ කරන්න, නිර්මාණවල රඟපාන්න ඒ චිත්‍රපට හරියට මට බලපානවා.. 

ඒක ටිකක් විස්තරාත්මකයි... කමක් නැද්ද මම ටිකක් කතාවම කිව්වට...
ආ... කමක් නෑ...

මේකට පාදක වෙන්නේ වියට්නාම් යුද්ධයෙන් පස්සෙ අමෙරිකාවට එන සොල්දාදුවෙක් ගැන කතාවක්... ඔහුගේ නම ටැවිස් බිකෙල්. ටැවිස් අමෙරිකාවට ආවට පස්සෙ රස්සාවක් හම්බවෙන්නෙ නෑ... ඊටපස්සෙ එයා ටැක්සි ඩ්‍රයිවර් කෙනෙක් වෙනවා... මෙයා ටිකක් අමුතු චරිතයක්. මෙයාට ටැක්සි එලවන අතරේ අමෙරිකාවේ ජනාධිපති අපේක්ෂකයකුගේ ඉලෙක්ෂන් කැම්පේන් කාර්යාලයක ඉන්න තරුණ ගැහැනියකට හිත බැඳෙනවා. ආසා හිතෙනවා... ඒ ඇතිවෙච්ච ආසාව නිසාම ඒ තරුණියට කතාකරලා මේ ටැක්සි ඩ්‍රයිවර් කියනවා මට මේ කැම්පේන් එකට සම්බන්ධ වෙන්න ඕනෙ කියලා. ඒ ගැහැනු ළමයත් මෙයත් එකක් සම්බන්ධ වෙනවා. පස්සෙ කාලෙකදි මේ දෙන්න චිත්‍රපටයක් බලන්න යනවා. ඒක වැඩිහිටියන්ට පමණක් වෙන්වුණු චිත්‍රපටයක්. ඒක බලන්න ගිය මොහොතේ ගෑනු ළමයා මේ ටැක්සි ඩ්‍රයිවර්ව ප්‍රතික්ෂ කරනවා. ඊට පස්සෙ ලොකු උත්සාහයක් ගන්නවා මේ ගෑනු ළමයාව ආයිත් යාළු කරගන්න. ඒක සාර්ථක වෙන්නෙ නෑ...

ඊටපස්සෙ ඔහු යනවා ඔහුගේ යාළුවෙක් මුණගැහෙන්න. ඒ යාළුවා ඔහුත් එක්කම ටැක්සි එලවන පුද්ගලයෙක්... ගිහින් කියනවා මට මොනවහරි කරන්න ඕනෙ කියලා. ඊට පස්සෙ ඒ යාළුවා කියනවා... උඹ ඉතින් ගිහින් ගෑනියෙක් එක්ක නිදාගනින් නැත්නම් කාලා බීලා ගෙදර පලයන් කියලා. එහෙම කිව්වාම මේ ටැක්සි ඩ්‍රයිවර් කියනවා.. මට ඕනෙ එහෙම දෙයක් නෙමේ... ඒත් මට මොනවහරි කරන්න ඕනෙ කියලා. මේ යාළුවගෙන් එයාට ඕන කරන උත්තරය හම්බවෙන්නෙ නෑ... පස්සෙ මෙයා කාමරයට ගිහින් ආයුධ, වෙපන් අරගෙන පුහුණුවෙනවා.. ඒක හරිම ලස්සන දර්ශනයක්.. මේ ටැක්සි ඩ්‍රයිවර්ට රඟපාන්නේ රොබට් දි නීරෝ. ඔහු හරි දක්ෂ ලෙස රංගනයේ යෙදෙනවා.

ඊට පස්සෙ ටිකෙන් ටික මේ ගැහැනු ළමයත් එකක් තියෙන වෛරය නිසා එයා රැකියාව කරන ස්ථානයේ හිටපු අර ජනාධිපති අපේක්ෂකයාව මරන්න පෙළඹෙනවා.. ඒක එයා කරන්න පෙළඹෙන්නෙ ඒ පිළිබඳ ලොකු අවබෝධයක් නැතිව..  මීටින් එකක් වෙලාවේ මේ නායකයාව මරන්න තැත්කරනවා.. ඒත් නායකයාව මරන්න හම්බවෙන්නෙ නෑ.. ජනාධිපති අපේක්ෂකයාගේ ආරක්ෂකයෝ මේ ටැක්සි ඩයිවර් පස්සෙ පන්නවා.. කොහොම හරි ඔහු දුවලා බේරෙනවා. 

ඒත් ටැවිස් බිකෙල් කියන ටැක්සි ඩ්‍රයිවර්ට එයා හොයන අරමුණු හම්බවෙන්නෙ නෑ... අන්න එතකොට තමා ගණිකා වෘත්තියේ යෙදෙන දැරියක් මේ කතාවට සම්බන්ධ වෙන්නෙ. එයාට අවුරුදු 15ක් 16 විතර ඇති. එක දවසක් ටැවිස් බිකෙල්ට ඒ ගණිකා වෘතියේ යෙදන ළාබාල ගැහැනු ළමයව මුණගැහෙනවා. ඒයාව හමුවෙන්න කලින් ටැවිස් මේ ගැහැනු ළමයාව නිතර නිතර  දැකලා තිබුණා. මුණගැහුණු වෙලාවෙ ඒ ගණිකා වෘතියේ නියැලෙන දැරියට ටැක්සි ඩ්‍රයිවර් කියනවා.. මොනවද උඹ මේ කරන්නෙ උඹ ඉස්කෝලෙ යන්න ඕනෙ කෙනෙක් ඇයි මේ විදියට ගණිකා වෘත්තියේ යෙදෙන්නෙ කියලා. ඒ ගෑනු ළමයා කියනවා මට පෙම්වතෙක් ඉන්නවා. එයා මට ගොඩක් ආදරෙයි. එයා මාව බලාගන්නවා කියලා. මේ ටැක්සි ඩ්‍රයිවර් කියනවා.... නෑ එයා උඹට ආදරේ නෑ. එයා උඹව පාවිච්චි කරනවා. උඹට බොරු කරන්නෙ කියලා.

ආයෙත් දවසක ඔහු ඒ ගෑනු ළමයා ඉන්න තැනට ඇවිත් ඒ ගෑනු ළමයා බලාගන්න, පෙම්වතා කියලා හිතාගෙන ඉන්න පුද්ගලයාට වෙඩිතියලා මරනවා. ඊට පස්සෙ ඒ ස්ථානයේ ඉන්න අයත් මෙයාට වෙඩි තියෙනවා. පස්සෙ කීපදෙනෙක්ම මෙයාට මරන්න වෙනවා. කොහොම හරි ඒ ගෑනු ළමයාව මෙයා බේරගෙන‍ මවුපියන්ට බාරදෙනවා. ඊටපස්සෙ මේ සිද්ධිය පත්තරවල පවා යනවා. මෙයා ප්‍රසිද්ධ වෙනවා. පස්සෙ කාලයක් ගිහින් ටැක්සි එලවන අතරේ අර මුලින් ආදරය කරපු තරුණිය වාහනයට නගිනවා. ඇය මෙයාගෙන් අහනවා පහුගිය දවස්වල ඔයා පත්තරේ හිටියානේ ගැහැනු ළමයෙක්ව බේරගෙන වීරයෙක් වුණා නේද කියලා.. එයා ඒක එච්චර ගණන් ගන්නේ නෑ. මම හිතන්නෙ ඒ තරුණියට ටැක්සි ඩ්‍රයිවර් කෙරෙහි දැන්නම් ආදරය හිතෙන්නත් ඇති.. 

මිනිස්සුන්ගේ මනෝභාවයන් හරිම සියුම් විදියට කතාකරන පුදුම නිර්මාණයක් මේක... 

නිර්මාණය විඳිද්දි ඒ නිර්මාණයේ ඉන්න කැමතිම චරිතයකට හිතයනවා. මේ නිර්මාණයේ ඔබේ හිතගිය චරිතය කවුද?
මම ගොඩක් කැමතියි ටැවිස් බිකෙල් කියන ටැක්සි ඩයිවර්ගේ චරිතයට. මොකද මේ සමාජයට ඕනෙ අන්න ඒවගේ චරිත. එයාට ඕනවෙන්නෙ වීරයෙක් වෙන්න. ඒකට මහ ලොකු දේවල් කරන්න ඕනෙ නෑ.. සමාජයට පුංචි හරි මෙහෙවරක් කරන්න පුළුවන්නම් ඒක තමයි වීරකම.  මේ චරිතය අපිට හොඳ පාඩමක්. 

මේ චිත්‍රපටයේ අතිශය සංවේදී තැනක් දෙකක් මතක් කරමුද?
මේකෙ තියෙන ගොඩක් තැන් එහෙම තමා... එක තැනක් තියෙනවා... මෙයාගේ ටැක්සියට පුද්ගලයෙක් නගිනවා... ටික දුරක් යද්දි ඒ පුද්ගලයා ටැක්සි ඩ්‍රයිවර්ට කියනවා ඔය ඉස්සරහා පේන එපාර්ට්මන්ට් එක ළඟ නවත්තපන් කියලා. ඔහු නවත්වනවා... ඊට පස්සෙ මේ පුද්ගලයා අහනවා ටැක්සි ඩයිවර්ගෙන් උඹට අර ඈත ජනේලෙ පේනවද කියලා... මෙයා කියනවා ඔව් කියලා එතන ඉන්නෙ කවුද කියලා උඹට පේනවද? ඔව් පේනවා. ගෑනු කෙනෙකුයි පිරිමි කෙනෙකු කියලා ඔහු කියනවා.. ඒ තමයි මගේ ගෑනි.. මම ඔය ගෑනිව මරණව කියලා ඒ පුද්ගලයා කියනවා.. මෙයා එකපාරට තිගැස්සෙනවා...  අන්න ඒ සිද්ධිය අතිශය සියුම්ව සංවේදීව මගේ හිතට වැදුණා.. 

මේ ටැක්සි ඩ්‍රයිවර්ගේ චරිත සැබෑ ජීවිතයේදී විශ්වජිත්ට හමුවෙලා තියෙනවද?
ඔව් ගොඩක් හම්බවෙලා තියෙනවා... උදාහරණයකට මගේ ජීවිතේ ගත්තොත් මමත් තරුණ කාලේ එහෙම තමයි හිතුවේ... මම කවුද? මම මොනවද කරන්නෙ, මට ඕන හොඳ පුද්ගලයෙක් වෙන්න, සමාජයට මම මොනවද කරන්නෙ ඔන්න ඔය වගේ දේවල්.  මම ඒ ප්‍රශ්නවලට උත්තර හෙව්වා... කාගෙන්වත් ඇහුවට ඒකට හරි උත්තරයක් හම්බවුණේ නෑ. පස්සෙ මම මාවම හොයාගත්තා. සමාජයේ ඉන්නවා සරල පොදු චරිත අතර ඉතාම හොඳ වීරයෝ දක්ෂයො ඉන්නවා ඒ අයව අපි හඳුනාගන්න ඕන.

මේ ෆිල්ම් එක අවසානයේ මොනවගේ හැඟීමක්ද විශ්වජිත්ට දැනුණේ සහ නිර්මාණය ඇතුළේ කියවෙන හරයෙන් අපේ සමාජය මොන වගේ දෙයක්ද ඔබට දෙන්නෙ තියෙන්නෙ.?
ඒක ඇත්තටම හොඳ නිර්මාණයක්. හොඳ නිර්මාණයක් බලපුවාම ඇටකටු ඇතුළටම මොකක් දෝ එකක් වදිනවා.. ඒක වචනවලින් කියන්න බෑ.. ඊට පස්සෙ ඒකෙ තියෙන චරිත අපි අනුගමනය කරන්න හදනවා ඒක තමා ඉස්සෙලාම වෙන්නෙ..  ටැක්සිකාරයෙක් මෙහෙම මේ සමාජයේ ඉන්න පුළුවන්ද..? අපි හිතමුකෝ ත්‍රීවීල් ඩ්‍රයිවර් කෙනෙක් කියලා එහෙම වීරයෝ අපේ සමාජයේ ඇත්තටම ඉන්නවා.. ඒත් අපි ත්‍රීවීල්කාරයන්ට කොච්චර බණිනවද. මේක නිර්මාණය කරපු මාර්ටින් ස්කොසිස් අපි අතරම ඉන්න චරිත හරි විශේෂ විදියට කැමරා කාචයට අරගෙන ප්‍රේක්ෂකයාට තිළිණ කරපු විදිය හරිම පුදුමයි. 

විශේෂයෙන් කියන්න දෙයක් නෑ.. ඒත් අපි හැම මිනිහෙක්ගෙම හැඟීම් ගැන, මනෝභාවයන් ගැන අපි කාරුණිකව ඒ අයට ඇහුම්කන් දෙන්න ඕනෙ... එතකොට ගොඩක් නරක දේවල් වෙන එක නවත්වන්න පුළුවන්....