2018 සැප්තැම්බර් 22 වන සෙනසුරාදා

මගේ සාක්කුවට සල්ලි එන්නෙත් නෑ මගේ සාක්කුවෙන් සල්ලි යන්නෙත් නැහැ

 2018 සැප්තැම්බර් 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 175

වසර ගණනාවක් තිස්සෙ පවත්වන සුවඳ පද්ම උපහාර සම්මාන උළෙල මෙවරත් පැවැත්වෙනවා. මෙවැනි උපහාර සම්මාන උළෙලක් පවත්වන්න හේතුවුණේ කුමක්ද?
ඔව්.. මේ උපහාර සම්මාන උළෙල පවත්වන්න ඉතිහාසයක් තියෙනවා. මම වාරිමාර්ග අමාත්‍යාංශයේ උපදේශකවරයෙක් විදිහට වැඩ කළා. ඒ චමල් රාජපක්ෂ මැතිතුමා ඇමැතිවරයෙකු ලෙස සේවය කරන කාලෙදියි. ඒ කාලෙදී මට නිල් දියවර කෙත්යායට කියලා ව්‍යාපෘතියක් තිබුණා. මම පරිසරයට හරියට ඇළුම් කරන කෙනෙක්. ඒ හැමදෙයක්ම ලෑස්ති කරගෙන ජලය සහ මිනිසා කියලා ප්‍රදර්ශනයකුත් සූදානම් කළා. ඒ කාලෙදී එතුමාට කතානායක තනතුර ලැබුණා. ඒ කාලේ හිටපු ලේකම්තුමා මගේ සේවය දීර්ඝ කළේවත්, මගේ ව්‍යාපෘතියට සහයෝගයක්වත් ලැබුණේ නැහැ. හැබැයි ඒ වෙද්දී මම මේ සම්බන්ධව හැමදෙයක්ම සැලසුම් කරලයි තිබුණේ. අධිෂ්ඨානයක් ඇතිකරගෙන කකුල ඉස්සරහට තැබුවොත් ඒක ආයේ පස්සට ගන්නෙ නැති පුරුද්දක් මගේ තියෙනවා. ඒ නිසා මේ සම්බන්ධව අනුග්‍රහයකයෙක් සොයාගන්න ඕනෙ කියලා මම හිතාගත්තා. ඔය වෙද්දී මම කිෂූ ගෝමස් මහතාව හඳුනාගෙනයි හිටියෙ. ඔහු ලවා මම අනුග්‍රහයකයෙක් සොයාගත්තා. ඔවුන් මට මිලියන 3.5ක් ලබාදුන්නා. අවුරුදු දෙකක් ලංකාව පුරා ප්‍රධාන නගර විසිපහක භාෂා තුනෙන්ම ජලය ගැන බැනර් එකසිය දහතුනක් අපි ප්‍රදර්ශනය කළා. බොහෝ දේවල් ගැන අපි ඒ බැනර්වල ප්‍රදර්ශනය කළා. ඊට අමතරව ජලය පිළිබඳව පොතක් මුද්‍රණය කරලා පාසල් දෙදහසකට ප්‍රදානය කළා.

මේ සම්බන්ධව ඔබ එක්තරා සංගමයක්ද ආරම්භ කළා...?
ඔව්. ඒ තමයි මිහිඳු සංස්කෘතික පදනම. එය රජයේ ලියාපදිංචි සංගමයක්. අපේ අරමුණු තුනක් තියෙනවා. පළමු අරමුණ තමයි සාරධර්ම අධ්‍යාපනය. මම විවිධ පළාත්වලට ගිහින් පාසල්වල දේශන පවත්වනවා. ඒ තුළින් සාරධර්ම පැත්ත ගැන කතා කරනවා. ඒ සම්බන්ධව පොත් විසිපහක් මම ලියලා තියෙනවා. ඒ වගේම දෙවැනි කාරණාව තමයි පරිසරය සුරැකීම. ඒකට තමයි ප්‍රදර්ශනය අදාළ වෙන්නෙ. තුන්වැනි කාරණාව තමයි කළගුණ සැලකීම. ඒකෙ ප්‍රතිඵලය තමයි සුවඳ පද්ම.

මෙවැනි සිතුවිල්ලක් ඔබට ආවේ කොහොමද...?
මාව කෙනෙක් අගය කෙරුවාම මම සතුටු වෙනවා. මාව සතුටු කරපු පුද්ගලයා පිළිබඳවත් මම සතුටු වෙනවා. එහෙම නම් මමත් කාටහරි සතුටක් ලබාදුන්නොත් මටත් ඒ සතුට ලැබෙනවා නේද? කියන සිතුවිල්ල මට ඇතිවුණා. අපේ මුළු ජීවිතේම රැඳිලා තියෙන්නෙ දීම සහ ගැනීම කියන ගිවිසුම මතයි. කුහකකම් නොකර කෙනෙකුට සතුට ආශිර්වාදය දෙන්න පුළුවන්නම් කොච්චර වටිනවද නේද?  ඒ නිසා ඇතැම්විට කවදාවත් සම්මානයකට පාත්‍ර නොවුණු අයට පවා සම්මාන ලබාදෙන්න මට හිතුණා.

මෙම සම්මාන උළෙලේ අංශ කිහිපයකින් සම්මාන ලබාදෙනවා නේද...?
ඔව්.. මේ සම්මාන උළෙල යම් ප්‍රමිතියකට ගේන්න මට අවශ්‍ය වුණා. මේ සම්මාන උළෙලේ අංශ තුනක් තියෙනවා. පළමු එක තමයි සුවඳ පද්ම ස්වර්ණ සම්මාන ප්‍රදානය. ඉහළ ගණයේ දහසය දෙනෙකුට ඒ සම්මාන ලබාදෙනවා. දෙවැනි අංශය තමයි සුවඳ පද්ම රජිත සම්මානය විසිදෙනෙකුට ලබාදීම. මිනිස්සුන්ට කරන්න තියෙන්නෙ එක වැඩයි. ඒ මිනිසුන්ට වැඩ කිරීම පමණයි. හැබැයි මිනිස්සු හිතාගෙන ඉන්නෙ මිනිස්සුන්ට ගොඩක් වැඩ තියෙනවා කියලා. හැබැයි එහෙම නැහැ, ඊළඟට අපි විශේෂ සේවාවක් කරපු කිහිපදෙනෙකුටත් සම්මාන ලබාදෙනවා. මේ අවුරුද්දේ ඒ ගෞරවය ලැබෙන්නේ ලතා වල්පොළ මහත්මියට සහ සිබිල් වෙත්තසිංහ මහත්මියටයි. මෙහිදී සුනිල් එදිරිසිංහ, එඩ්වඩ් ජයකොඩි, ජගත් වික්‍රමසිංහ ජානක වික්‍රමසිංහ ගීත ගායනා කරනවා. සංගීතය ජයන්ත රත්නායක සහ නර්තන නිර්මාණය චන්දන වික්‍රමසිංහ කලායතනයයි.

උපහාර උළෙලට අමතරව ඔබ ඇතුළු කණ්ඩායම අසරණ දූ දරුවන්ට කරන සේවයත් සුළුපටු නැහැ...?
ඔව්... මේ වෙනුවෙන් අපි සමරු පොතක්ද මුද්‍රණය කළා. එයින් ලැබෙන මුදල් මේ රටේ ඉතා දුෂ්කර, අපිව ගෙන්වගන්නවත් බැරි පාසල්වලට තෑගිබෝග ලබාදෙන්න, ඒවාට අවශ්‍ය දේ රැගෙන දෙන්න අපි යොදාගන්නවා. මේ වනවිට කුරුණෑගල ඉතා දුෂ්කර දරැවන් පහළොස් දෙනෙකු පමණක් සිටින පාසලකට මුළු අවුරුද්දටම අපි උදව් කරනවා. මෙයින් මම ඇතුළු කණ්ඩායම බොහොම නිරාමිස සතුටක් භුක්ති විඳිනවා. මෙහිදී මේ හැමදෙයක්ම මම සැලසුම් කරන්නෙ තනිවමයි. හැමදෙයක්ම සංවිධානය කරන්නෙ තනිවමයි. හැබැයි ඒවා සිදුකරන දවසට මට පිරිස ඉන්නවා. මේ සම්බන්ධව ගොඩක් කට්ටිය එක්ක සාකච්ඡා කරමින් කරන්න ගියොත් මට ඕන දේ කරන්න ලැබෙන්නෙ නැහැ. විවේචන වැඩිවෙනවා. මට අධිෂ්ඨානයක් තියෙනවා. ඒ අධිෂ්ඨානය කරා මම යනවා. මට බාධා තිබුණොත් මම ඒවායින් පනිනවා. රිංගලා යනවා. එහෙමත් නැත්නම් කඩාගෙන යනවා. එහෙමත් බැරිවුණොත් වෙන පාරකින් යනවා. හැබැයි ඒ කොහොම ගියත් මම මගේ ඉලක්කයට යනවා. මගේ සාක්කුවට සල්ලි අවශ්‍ය නැහැ. මගේ සාක්කුවෙන් සල්ලි යන්න අවශ්‍යත් නැහැ. මේ වෙනුවෙන් මට උදව් කරන, අනුග්‍රහය දක්වන පිරිසක් ඉන්නවා. මහ මුහුද වතුර ඉල්ලන්නෙ නැහැ. හැබැයි හැම පැත්තෙන්ම එන වතුර මහ මුහුදට තියාගන්න පුළුවන්. ඒ වෙනුවෙන් මහ මුහුදට සුදුසුකමක් තියෙනවා. ඒ සුදුසුකම විතරයි අපි ලබාගත යුත්තෙ. අනිත් අය එක්ක වල්පල් කතා කරනවාට වඩා, පාටිවලට යනවාට වඩා, මේ වගේ දෙයකින් හිතට ලැබෙන සැනසීම වචනවලින් කියන්න බැහැ.

මෙවර ඔබ අපේ වැදි නායකතුමාටත් මේ උත්සවය සඳහා ආරාධිත අමුත්තෙක් ලෙස ආරාධනා කරනවා නේද?
ඔව්.. ඒක විශේෂ සහභාගීත්වයක් වෙනවා. ඒකට හේතුවක් තියෙනවා. මම මහවැලියේ වැඩ කරද්දී, අවුරුදු දොළහක් සංස්කෘතිය බාරව වැඩ කරද්දී හෙනාලිගල පැත්තෙ ගෑනු ළමයෙක් අපේ නැටුම් කණ්ඩායමේ හිටියා. ඇය දැන් හෙනාලිගල මහා විද්‍යාලයේ නර්තන ගුරුතුමියයි. ඇය විසින් නිර්මාණය කළ නර්තනයක් නෙළුම් පොකුණේ තිබුණු එක්තරා ප්‍රසංගයකදී මම දැක්කා. ඒ නිසා තමයි මේ ප්‍රසංගයටත් මම ඒ නර්තනය ඉදිරිපත් කරන්න අවස්ථාව ලබාදුන්නෙ. ඒ වැදි නායකතුමාටත් මම ආරාධනා කළා. ඔහු හොඳ වැදි නායකයෙක්. ඒ වෙනුවෙන් මහවැලි අධිකාරිය මට සහයෝගය ලබාදෙනවා. එමෙන්ම සංස්කෘතික දෙපාර්තමේන්තුවේ අනූෂා ගෝකුල මහත්මියගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා.

ඔබට කලාවට පිවිසෙන්න ආසාව තිබුණේ ළමා කාලයේ සිටමද...?
ඔව්.. පුංචි කාලේ ඉඳලා මගේ ආසාව වෙලා තිබුණේ රඟපෑම තමයි. මගේ ගම කැලණිය. අදටත් මම ජීවත් වෙන්නෙ කැලණියෙ. කලාවට තියෙන කැමැත්ත මම හිතන විදියට මගේ තාත්තාගෙන් ලැබුණු ආභාෂය තමයි. මම ඉගෙන ගත්තෙ කැලණිය ධර්මාලෝක විද්‍යාලයෙන් සහ ඇල්පිටිය ශාන්ත මරියා විද්‍යාලයෙන්. පාසලේදීත් මම කලා කටයුතුවල දිගටම රැඳිලා හිටියා.

ඔබේ ප්‍රථම චිත්‍රපට අධ්‍යක්ෂණය වුණු මාතර ආච්චි නම් නිර්මාණය චරිත කිහිපයකම ආරම්භයක් වුණා නේද...?
ඔව්... මගේ මුල්ම චිත්‍රපට අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය වුණේ මාතර ආච්චි චිත්‍රපටයයි. එයින් තමයි වික්ටර් රත්නායකයන් පළමු වතාවට සංගීත අධ්‍යක්ෂණය කිරීමට යොමුවන්නෙ. ඒ වගේම සුනිල් එදිරිසිංහයන් මුල්ම වතාවට සිනමා නිර්මාණයකට ගායනයෙන් සම්බන්ධ වුණා. වොලී නානායක්කාරයන්ගේ පළමු සහ අවසාන ගීතයත් මෙය වුණා.

ඔබේ මුල්ම රැකියාව වුණේ රඟපෑම නෙමෙයි නේද...?
නැහැ. හැබැයි මගේ මුල්ම වේදිකා නාට්‍යයට සම්බන්ධවීම වුණේ රැකියාවට කලින්මයි. 1961 වසරේදී තමයි මගේ මුල්ම වේදිකා නාට්‍ය තිරගත වුණේ. පී. එදිරිසිංහ සහ එලිසබෙත් පෙරේරාට දාව දරුවන් හත්දෙනෙකුගෙන් යුත් පවුලේ ඉපදුනු මම 1965 දී තමයි මුලින්ම CTB එකට සම්බන්ධ වුණේ. ඒ තමයි මගේ මුල්ම රංගනය වුණේ. ඊටඩපස්සෙ තමයි මහවැලි අධිකාරියට මම සම්බන්ධ වුණේ. වේදිකාවෙන් පටන්ගැනුණු මගේ කලා ජීවිතය ඊටපස්සෙ පුංචි තිරයටත් සිනමාවටත් එකතුවුණා.

මේ වනවිට කලා කටයුතුවල නිරතවීමේ අඩුවක් තියෙනවා වගෙයි අපිට දැනෙන්නෙ...?
ඔව්... මේ දවස්වල කලා කටයුතුවල නියැලීම බොහොම අඩුයි. අද හොඳ දේවල් කරනවා හරිම අඩුයි. හොඳ දේවල් හැදුවාම පෙන්නගන්නත් හරි අමාරුයි. ඒ නිසා ඒ ගැන විවේචනය කර කර, පීඩාවට පත්වෙමින්, මහන්සිවෙනවට වඩා ඒකට කොමා ලකුණක් තියලා ඉදිරි වැඩ කරගෙන යනවා. සිංහයා බඩගිනි වුණා කියලා තණකොළ කන්නෙ නැහැනෙ.

කලා කටයුතුවලින් බැහැර වුණත් පාසල්වල, උත්සවවල දේශන පවත්වන්න යනවා නේද..?
ඔව්... ගොඩක්ම දුෂ්කර පැතිවල පාසල් දරුවන්ට මම ගිහින් දේශන පවත්වනවා. ඒ දේශනයෙදී පොදුවේ නාට්‍ය හා රංග කලාව ගැන, රසවින්දනය ගැන වගේම දරුවන්ගේ ජීවිතය ගැන මම කතා කරනවා. දුප්පත්ව ඉපදීම කියන්නෙ ලජ්ජාවට කාරණාවක් නෙමේ. අපි පොහොසත්වත්, හුඟාක්ම දුප්පත්වත් පවුල්වල අය නෙමෙයි. මගේ තාත්තා ආණ්ඩුවේ රස්සාවක් කරපු කෙනෙක්. අපි ඇතුළේ තියෙන සැඟවුණු කුසලතාවය හඳුනාගෙන ඒක වැඩිදියුණු කරගත්තාම අනාගතය හොඳයි. අත් දෙකයි කකුල් දෙකයි නැති ඔස්ට්‍රේලියාවේ නික් කසාද බැඳලා ලස්සන පවුල් ජීවිතයක් ගතකරන කෝටිපතියෙක්නම්, අත් දෙකයි, කකුල් දෙකයි තියෙන අයට වෙන මොන කතාද? අපි හැමවිටම ධනාත්මකව හිතන්න ඕන. කෙනෙකුට තිබිය යුතු පළමු දෙය වන්නෙ දැනුමයි. දෙවැන්න චරිතයයි. තුන්වැනි එක වන්නෙ නම්‍යශීලීභාවයයි. කවුද හරි කියලා බලනවාට වඩා මොකක්ද හරි කියලා බලන්න.

 

► Text - Dishani   /   Pic - Sumudu