2018 සැප්තැම්බර් 22 වන සෙනසුරාදා

අද දවස ok නම් හෙට ලොකු ලොකු වන්දි ගෙවන්න වෙන්නෙ නෑ

 2018 සැප්තැම්බර් 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 102

Art එකේ කැරට්ටුව..

Rajitha සමඟ Danushka 

නිදහස් චතුරශ්‍රය පහුකරගෙන ඇවිල්ලා මම නතර වුණේ ලයනල් වෙන්ඩ්ට් රඟහලේ ගේට්ටුව ඉස්සරහා.. 
සතියේ අන්තිම දවස අද නිසාද කොහෙද හරිම නිස්කලංකයි රඟහල අවට පරිසරය.. විටින් විට යන වාහනයක සද්දයක් ඇරුණම වෙන හඬක් ඇහෙන්නෙම නැති ගාණයි... 
රංග පීඨය පේන මානයේ.. වම්පැත්තට වෙන්න තියෙන නුග ගහ යට ඉඳගෙන සිටි ඔහුව මම ඈත තියාම අඳුරගත්තා..
ආයුබෝවන්...

මම මෙහෙම කීවොත්...  ආදර වස්තුව මා ළඟ කියලා..
ඔව් ඔබ හිතනවා හරි.. ඒ රාජිත දිසානායක තමා. අද අපේ කැරැට්ටුව එයා.. මම කියන්නම් එයා කරපු වැඩ ටිකක්..
වීරයා මැරිලා, සිහින හොරු අරන්, ආපහු හැරෙන්න බෑ.. 

අපි අවට සමාජයේ ඇති සියුම් ප්‍රශ්න සංවේදි ලෙස හඳුනගෙන.. ඊට තමන්ගේ නිර්මාණ තුළින්ම  උත්තරයක් සියුම් ලෙස සමාජයට කාන්දු කරන.. වේදිකාවට නැතුව බැරි මිනිහෙක්..  ඒ සරල මනුස්සයා ගැන අපි දන්න විදිහට තමා ඒ.
බංකුවෙන් ඉඳගනින් කියන්නාක් මෙන්... මුහුණ පුරා අව්‍යාජ සිනා රැල්ලක්... 

ජීවිතය ඉතින් මෙහෙම තමයි.. කලාවයි, පවුල් ජීවිතයයි විඳිමින් කාලය ගතවෙනවා.... ප්‍රශ්නය අහන්නත් කලින් උත්තරයක් හම්බ වුණා...
රාජිත අපි ටිකක් වෙනස් විදිහට කතා කරමුද? අපිට ඕනෑ එහෙම.. රාජිත සම්මානලාභී වෙනස් ආරක නාට්‍ය අධ්‍යක්ෂවරයෙක් කියලා හැමෝම දන්නවනේ.. ඔබ වේදිකාවේ කරපු දේවල් අපි දැකලා තියනවා... ඒවා නැතුව..  ඔයාගේ හදවතට දැනුණු... පරිකල්පන ලෝකයේ අතරමං කරපු... කලා කෘතියක් ගැන කතා කරමුද..? හැබැයි ඒක ගීතයක් වෙන්න බෑ... 
ආයෙත් ඒ හිනාවම...

ලොකු හුස්මක් අරන් ලොකු කතාවකට රාජිත මුලපිරුවා.
එහෙම හිතනකොට කැමති හිතිච්ච නිර්මාණ ගොඩක් ජීවිතේ තියෙනවා.. ඒ ඇතිවෙච්ච කැමැත්ත නැතිවෙන්නෙ නැතිව තියෙද්දිත් කැමැත්ත අලුත්වෙන එක තමයි වෙන්නේ. මම ගොඩක් කැමැත්තෙන් කියවපු නවකතාවක් ගැන මම අද කියන්නම්.. ඒකෙ නම තමයි.. හැම මිනිහෙක්ම මැරෙන්නෙ තනියම. ටිකක් ලොකු පොතක්. මට මතක විදියට පිටු හත්සිය හතළිස් ගාණක් තියෙනවා. මේක ලියලා තියෙන්නේ එක්දහස් නමසිය හතළිස් හතේ හෑන්ස් ෆැල්ලෙඩා කියන ජර්මන් ජාතික ලේඛකයා විසින්..  සිංහලට පරිවර්තනය කළේ නම් ගාමිණී වියන්ගොඩ. මේ පොතට කැමතිවෙන්න විශේෂ හේතුව තමා මේ මොහොතේ මම ජීවත් වෙමින් ඉන්න සමාජය දිහා හොඳ අවබෝධයකින් තේරුම් ගන්න ඉඩ හදනවා මේ නවකතාව. ඒ නිසා තමයි මේ කෘතිය ගැන කතා කරන්න මම කැමති වුණේ.. 

මේ කතාවට පාදක වෙන්නේ ජර්මනියේ හිට්ලර්ගේ පාලන කාලයේ වෙච්ච සිදුවීමක්. ඒ වකවානුවේ ජර්මනිය සම්පූර්ණ පාලනය කළේ හිට්ලර්ගේ නාසි හමුදාව..  සියලුම බලතල තිබුණේ ඔවුන්ගේ අතේ. ඔවුන් කළේ ඔවුන්ගේ බලතල අනිසි විදියට පාවිච්චි කරමින් සිවිල් ජනතාවගේ ජීවිත දැඩි ලෙස පීඩනයටත් පත් කරමින් පාලනය කරපු එක තමා. ඒවගේම නාසි හමුදාවට සම්බන්ධ පුද්ගලයන්ට ඒ සමාජ ඇතුළේ හොඳ වරප්‍රසාද ලැබුණා. හිට්ලර් ඇතුළු නාසි හමුදාවට වුවමනා වුණේ හිට්ලර් දිනේවා කියන වදන මිනිසුන්ගේ මුවින් අහන්න විතරයි. හිට්ලර් දිනේවා කියලා කියන්න බැරි කෙනකුට ඒ සමාජයේ ජීවත් වෙන එක පහසු කරුණක් වුණේ නෑ. ඒ අය විශාල වද බන්ධනවලට ලක් වුණා. හිට්ලර් විසින් ගත්ත තීරණ, ක්‍රියාමාර්ග ප්‍රශ්න කරන්න පුරවැසියන්ටවත්, වෙනත් කණ්ඩායම්වලටවත්  අවස්ථාවක් තිබුණේ නෑ. එවැනි වටපිටාවක තමා ක්වන්ගල්  කියන සාමාන්‍ය කම්කරු පවුලක් ජීවත් වුණේ..

මේ නවකතාව ආරම්භ වෙන්නේ මේ ක්වන්ගල් පවුලේ මවට ලියුමකින් දැනගන්න ලැබෙනවා තමන්ගේ පුතා යුද්ධයේදී මිය ගොස් ඇති බව. ඒ වෙනකම් ක්වන්ගල්  පවුලේ අය මේ යුද්ධය, හිට්ලර් පාලනය, අවනීතිය විවේචනය කළේ නෑ.. ක්වන්ගල් පවුල විතරක් නෙමේ.. ජර්මනියේ කිසිකෙනෙක් එහෙම කළේ නෑ. ඒත් තමන්ට හිටිය එකම දරුවා මිය ගිය ශෝකය, වේදනාව ඔවුන්ට දරාගන්න බැරි වුණා.. ඔටෝ ක්වන්ගල් පියා ඒ වේදනා නැති කරගන්න කළේ විවේකයක් ලැබෙන හැම ඉරිදාවකම කොහෝ මිනිසුන් ගැවසෙන තැනක හෝ තැපැල් පෙට්ටියකට හිට්ලර්ගේ පාලනයට, යුද්ධයට එරෙහිව තැපැල්පත් දාන එක.. පස්සේ ඒ ක්‍රියාවට ක්වන්ගල්  බිරිඳත් සහාය වුණා.. කිසිවෙක් මේ පාලනයට විරුද්ධව හඬක් නොනගන මොහොතේ මේ කොන්ගල් යුවල මේ අවදානම් සහගත ක්‍රියාව දිගටම කළා..  මේ ක්‍රියාවෙන් හිටලර් පාලන තන්ත්‍රය හරියට කලබලයට පත්වෙනවා.. මීට අමතරව තව බෝහෝ චරිත මේ කතාව ඇතුළේ ජීවත් වෙනවා. තමන්ගේ ජාතිය ගැන විතරක් හිතන, ආත්මාර්ථකාමී මිනිසුන් රාශියක් වගේම විනීත, සමකාමී, මිනිසුන් පිරිසකුත් මේ නවකතාවෙදි හමුවෙනවා.. විවිධ මානසික ස්භාවයන් හා මිනිසුන්ගේ චර්යාවන් මේ නවකතාවේ අපූරුවට නිරූපණය වෙනවා.. ගාමිණී වියන්ගොඩ හරිම ආකර්ෂණීය විදිහට අපූරුවට පාඨකයාට දැනෙන විදියට පරිවර්තනය කර තිබීම හරි සුවිශේෂ දෙයක්.

මේ නවකතාව ඇතුළේ රාජිතගේ හිත ගිය චරිතය කවුද?
මගේ හිත ගිය චරිත ගොඩක් තිබුණා  ඒ අතර ක්වන්ගල් යුවළ ඉතා විශේෂයි.

මම මෙහෙම ඇහුවොත්... නවකතාවේ ගැවසෙන සමහර චරිත රාජිතගේ ජීවිතයට සජීවීව හමුවෙලා තියෙනවා?
අපෝ ඔව්.. දැනට ලංකාවේ එහෙම චරිත ගොඩක් ඉන්නවා.. මොකද ජාතිවාදයට කැමති, තව මිනිහෙක්ව හැම වෙලාවකම ගොදුරක් කරගන්න උත්සාහ කරන, වෙනත් ජාතිකයක මිනිහෙක් දිහා වෛරයෙන් බලන්න උත්සාහ කරන චරිත අපි අතර බොහොමයක් ඉන්නවා.. ඒ අතරම ක්වන්ගල් වගේ චරිතත් ඉන්නවා.. ඒ ජාතිවාදයට, යුද්ධයට විරුද්ධව හඬ නගන චරිත..  තමන් කරන දේ ඉතා සරල පොඩි දෙයක් වෙන්න පුළුන්  ඒත්  ඒකෙන් තමන් ඇතිවන අනතුර නොසිතා සමාජය වෙනුවෙන් වැඩකරන මිනිස්සු මට ඕන තරම් හම්බවෙලා තියෙනවා. ඒ නිසාම තමයි මට මේ නවකතාව විශේෂ වෙන්නෙ.

මේ නිර්මාණය විඳිනකොට ඉතා සංවේදී තැන් එහෙම හම්බවෙන්න ඇති නේද.. කියමුද එකක් දෙකක්...
එහෙම අවස්ථානම් ගොඩක් තියෙනවා. පළවෙනි එක තමයි තමන්ගේ පුතා මැරුණු එක ගැන සෝක නොවී ක්වන්ගල්  යුවළ ඉන්න එක.. ඔවුන් ශෝක වුණේ නැත්තේ දුක නැති නිසා නෙමේ.. ඒ සමාජය ශෝක වෙන්නවත් ඉඩක් තිබුණු සමාජයක් නෙමේ.. ඔවුන්ගේ ජීවිතයේ අවසාන කාලේ නිදහසේ ගතකරන්න අවස්ථාවක් තියෙනකොටත් ඒ නිදහස පාවිච්චි නොකර යුද්ධයට ඇති විරෝධය පළකරන්න යොදාගත්තා.. ඒක හරි සරල වීරත්වයක් නෙමේ.. ඔවුන් එතෙක් ගතකරපු ජීවිතය තමන් තීරණය කරපු  අරමුණු වෙනුවෙන් කැපකරනවා.. සමහර මිනිස්සු ඉදිරියේදී මොනවද වෙන්නෙ කියන එක ගැන හිතන් නැතුව , අලාභ ගණනය කරන් නැතුව සමහර තීරණ ගන්නවා. ඒ අරගත්ත ස්ථාවරය වෙනුවෙන් ජීවිතයේ ඉතුරැ කාලය ගෙවන්න හිතහදා ගන්නවා.. ඒක කොච්චර අමාරු එකක් වුණත් ඒ අය ඒක කරනවා.. ඒ දේ සරල නෑ. 

හිට්ලර්ගේ හමුදාවේ ප්‍රධාන පොලිස් නිලධාරියාත් මුහුණ දෙන සිද්ධි හරි විශේෂයි.  ඔහුට ලැබෙන අණ පිළිපදිමින්, අමානුෂික නියෝග ක්‍රියාත්මක කරන ගමන්ම පොලිස් ඇඳුමට යටින් සැඟවෙලා ඉන්න මනුස්සා එළියට එන තැන්,  හිට්ලර්ට ඇති ප්‍රතිවිරෝධය පෙන්වන තැන් හරිම සංවේදීයි.

රාජිත මේ පොත කී වතාවක් කියෙව්වාද?
මෙහෙමයි මම මේක එකපාරයි කියෙව්වේ.. ඒ පළවෙනි පාර කියවද්දිත් කියවපු පරිච්ඡේද නැවත නැවත කියෙව්වා.. මාසෙකට ආසන්න කාලයක් මම ඒ චරිතත් එක්ක ගත කරා... මේක ටිකක් ලොකු පොතක් නිසා නැවත කියවන්න හම්බවුණේ නෑ..
මේ පොත කියවලා අවසානයේ රාජිතට මොනවගේ දෙයක්ද හිතට දැනුණේ...?
මෙහෙමයි ඉතා හොඳ පොතක් කියවන්න ලැබුණාම තියෙන හැඟීම මට මේ පොතෙත් දැනුණා... කිසියම් සිතීමකට මඟපාදනවනේ... කාලයක් යනකම් වෙන පොතකට හිත වැඩියෙන් බැඳෙන්නට තත්ත්වයක් මේ පොත මට ඇති කළා. 

රාජිතට මේ පොත හරහා මොනවගේ දෙයක්ද සමාජයට දෙන්න තියෙනන්නේ?
මෙහෙමයි.. ජර්මනියේ මිනිස්සු මීට අවුරුදු ගාණකට කලින් අන්තිම දුෂ්ට, ජාතිවාදයෙන් පිරුණු ඒකාධිපති දරුණු පාලනයකට යට වෙලා ඉඳලා අද වෙන කොට උසස් ගුණධර්ම අතින් පොහොසත් ශිෂ්ඨ සමාජයට ඇවිල්ලා තියෙනවා.. මේ පොත කියවද්දි තේරෙනවා ජර්මනියට ඒ තැනට එන්න අසීමිත මිලක්  ලොකු වන්දියක් ඒ වෙනුවෙන් ගෙවන්න වුණා කියන එක . ඒ අසීමිත මිල ගෙවලද අපි මීට වඩා ශිෂ්ඨ සමාජයක් ඇතිකරගන්න හදන්නේ කියන එක අපි හිතන්න  ඕන.  ඕනෑම සමාජයක තමන්ගේ ජාතිය ප්‍රමුඛයි කියන හැඟීම තියෙනවා. ඒක වැරදියි කියන්නෙ නෑ මම.. ඒත් ඒ හැඟීම මූලික කරගෙන තව ජාතියකට හානි පමුණුවන්න, තලා පෙලා දාන්න, වෛරී භාෂාවකින් අපහාස කරන්න හදන එක වැරදියි.. ඒක හානිදායකයි. මුහුණු පොත හරහා ගොඩක් වෙලාවට අපේ  සමාජයේ සැඟවෙලා හිටපු ජාතිවාදියා දැන් දැන් එළිපිටට එනවා.  අපේ සමාජයේ බොහෝ දෙනෙක් පුරුදු වෙලා ඉන්නෙ සතුරෙක් හදාගන්න එහෙම නැත්නම් ද්‍රෝහියෙක් නිර්මාණය කරගන්න එක.  තමන් වගේම තමයි අනිත් කෙනත් කියන එක අපි තේරුම් ගන්නෙ හුඟක් අඩුවෙන්. අපේ කෙනා සහ අපේ නොවන කෙනා කියන බෙදීම අත්හැරලා අපි හිතන්න පුරුදු වෙන්න ඕන.  අනාගතේ ලොකු වන්දියක් නොගෙවා වර්තමානයේම මේ දේවල් වටහා ගන්න එක තමා අපි කළ යුත්තේ.. 

රාජිත කතාව නැවැත්තුවා.. මට මෙහෙම හිතුණා...
සත්‍ය ඔබට අවාසිදායකවන තත්ත්වයක පවා ඒ වෙනුවෙන් පෙනී සිටිය හැකිනම්....
ඇත්තටම ඔබ ශ්‍රේෂ්ඨයෙක්.