2018 සැප්තැම්බර් 22 වන සෙනසුරාදා

දැහැන

 2018 සැප්තැම්බර් 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 69

පුංචි පුංචි වැලි කැට කෝටි ගණනක් එකතු වෙලා මහා වෙරළක් හැදෙනවා... පුංචි ළදල්ලක් පත්‍රයක් දක්වා පරිණාමය වෙනවා... අතු රිකිලි විදහාලන පැළයක් දවසක මහා වනස්පතියක් වෙනවා... අපේ හිතුවිලි සංකල්ප අකුරු දවසක චින්තකයෙක් දාර්ශනිකයෙක් බිහි කරන්න පුළුවන්. නිර්මාණවේදියෙක්, ලේඛකයෙක්, කවියෙක්, ගීත රචකයෙක් තනන්න පුළුවන්.. ලෝකය පිරික්සන අසිරිමත් සිතුවිලි සමුදායක මහා හුස්මක් වෙන්න පුළුවන් ඔබ... ඔබට ලෝකයම දවසක ආදරය කරන්න පුළුවන්... ලෝකයට ඔබව මහා මනුෂ්‍යත්වයක්, ආදරයක් පිරුණු සුන්දර විරල සොඳුරු මිනිසෙක් වෙන්න පුළුවන්... ඒත් ඇත්තටම ඔබ එහෙමද? ඔව් මම අහන්නෙ ඇත්තටම ඔබ එහෙමද? ලෝකයට පෙන්වන සුන්දර මිනිසා, වීරයා, සමාජවාදියා ඇත්තටම ඔයාගේ පපුව අස්සෙ තුන් තිස් පැයම හුස්මක් ගන්නවද? වෙන කාටවත්ම නෙවෙයි ඔබේ හෘද සාක්ෂියට දැනෙන්න හුස්මක් ගන්නවද? නැත්නම් ලෝකය කියන කැඩපත ඉස්සරහා හිනාවෙන ඒ මනුෂ්‍යා, ඒ සමාජවාදියා, ඒ වීරයා තමන්ගේ හෘද සාක්ෂිය සහ සත්‍ය ඉදිරියේ මළ කුණක් විතරමද?

පපුවට තට්ටු කරලා මට එහෙම කියන්න හිතෙනවා. කාටද කියලා අහන්න එපා.. එහෙම වෙච්ච හැමෝටම..
ලෝකයට මහා ලේඛයෙක්.. කවියෙක්.. ගීත රචකයෙක්.. සැකෙවින්ම නිර්මාණවේදියෙක් වෙච්ච මිනිස්සුන්ගේ හිස් පපු කුහර මට හමුවෙලා තියෙනවා. සාදු සම්මත ධර්මතා ගැන කියන සාදුවරු මට හමුවෙලා තියෙනවා.. ඒත් ලෝකයෙන් වහන් කරගත්ත ඒ හුඟාක් හදවත් විනිවිද ඉව කරද්දී මට දැනුණේ ඉවසන්න බැරි පිලී ගඳක්.. කෝ අර සොඳුරුතා.. කෝ අර මනුස්සකම්.. සමාජවාදීකම්.. ඒ මොකුත් නෑ.. ඒ හිත් පතුල හිස් මාවත් විතරයි.. හැබැයි ඒ පාරවල් දෙපසම වඳ කරන්න බැරි විදිහට දලු දාන විස ගස්.. මරන්න හැදුවත් මරන්න බැරි විදිහට පැලවෙන විස ගස්... මොකද ඒ මුල් හරි හයියයි.. ලේවලින් පණ අරන් ජානවල උත්පත්තියෙන් පැලවෙච්ච මුල්...
නම් දෙන්න පුළුවන්ද ඒ ගස්වලට?
ඔයා මගෙන් එහෙම ඇහුවොත් උත්තරය ඔව්...

ඊර්ෂ්‍යාව, කුහකකම මේ ආදී වශයෙන් නපුර කියන කුලකයට අයත් හැම ශාකයක්ම ඊට අයත්..
මම විශ්වාස කරනවා.. කලාව කියන්නේ කුසලයක්.. ඒ කුසලය ඔබට මේ භවයේ ලැබුණේ පෙර කුසල් නිසානම් ඒ කුසලය ඔබ භවයෙන් භවයට ගෙන යන්න අර කියපු කුලකයේ ශාක ඔයාගේ හදවත කියන බිම් යායෙන් උදුරලා දාන්න.. මම විශ්වාස කරනවා ඒත් සමහරවිට ඒක කරන්නත් බැරි වෙයි... ඒ ගති සොබා හරියට ලේවලටම මුසු වෙච්ච විසක් වගේ.. අසාමාන්‍ය සෛල වර්ධනයක් වගේ.. නවත්වන්න බෑ ඔඩු දුවනවා.. මොකද මතු වෙන්නේ ලේවලින් ජාන උරුමයෙන්.. හැබැයි මොකක් හෝ සසර කුසලයකට කලාවේ හැකියාව අසිරිමත් හැකියාව ඇවිත්... ඒත් අසූචි ගොඩක් මේ ලෝකයේ තියෙන සුවඳම මල්වලින් වැහුවත් ආයාසයෙන් යටපත් වෙන ඉවසන්න බැරි ගඳ, ආවේගය, කුහකකම කියන සුළං රැලි මතුවෙද්දී මල් සුවඳ මරාගෙන මතුවෙනවා. පැතිරෙනවා විහිදෙනවා.

ඔයා මහා වනස්පතියක් වුණත් මොකටද නොඉල්ලා කිසිවක්ම බොහෝ දේ දන්දෙන බෝධි සත්ත්ව පාරමිතාවක් ඔයාට පුරන්න බැරිනම්... පල මල් සෙවණ ඔබ උපන් පොළොවේම මතු මතු උපදින පුංචි පැලවලට නිර්ලෝභීවම ප්‍රදානය කරන්න බැරිනම්.
ලෝකය ඔබට කොයිතරම් ආදරය කළත් ලෝකය වෙත ඔබට පෙරළා ආදරය කළ නොහැකිනම් ඔබ දවසක හුදෙකලා චරිතයක් විතරක්ම වෙයි. 
එදාට ආපසු හැරෙන්න තනි මංසලක් මිස පාරක් ඔබට ඉතුරු වෙන එකක් නෑ.

මට මතක් වෙනවා මේ ගී පද
පූජාසනයේ ඔබ හිඳුවා 
ඔබට පුදන මේ ලෝකයමයි හෙට 
ඔබට එරෙහි වී 
නැගිටින්නේ