2018 සැප්තැම්බර් 15 වන සෙනසුරාදා

සරුංගල් වියන යට වෙරළක හැන්දෑවක්

 2018 සැප්තැම්බර් 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 173

නාලා කාලා බීලා සරුංගලයකුත් ඇරලා එන්න යමුද අපි මුහුදු වෙරළකට.... මුහුදු වෙරළට ඉහළ මුළු අහසම එකම සරුංගල් විමානයක්.. එක එක පාට එක එක විදිහේ සරුංගල්.... සරුංගල් අරින්නේ දඟකාර පොඩිත්තෝ විතරක් නෙවෙයි.. විසේකාර දාංගලේ ඉහට ගැහුව කොල්ලො කෙල්ලො විතරකුත් නෙවෙයි සරුංගල් අරින ආච්චිලා සීයලත් අපිට ඒ මුහුදු වෙරළේදී හමුවුණා... අපි ගියේ ඒත්තු කාලට... වෙරළ පිරෙන්න මිනිස්සු හිටපු දවසක් එදා.. ඉරිදා නිසා කොහොමත් කට්ටිය හරි හරියට...

පොඩි බඩගින්නකුත් දැනුණු හින්දා වෙරළට ගිය ගමන්ම අපි ගියේ නුඩ්ල්ස් ලොරියක් ළඟට... කප් එකකට පුරවපු උණු උණු නූඩ්ල්ස්... ඇත්තටම හරි රහයි හිතුණා ඒ හැන්දෑවට... කන ගමන් අපි වෙරළ දිගේ ඇවිද්දා... උණු උණුවේ රොටී, ඉස්සෝ වඩේ, අල පෙති, පරිප්පු වඩේ, රෝල්ස්, සමෝසා හදලා දෙන කරත්ත කඩ වෙරළේ හරි හරියට... තව තැන්වල මුරුක්කු, මඤ්ඤොක්කා බැදපුවා... වෙරළට එන හැම කෙනෙක්ම කඩ ළඟ ඉද්ද ගහන්නෙ ඉබේම වගේ... සුවඳට උණු උණු කෑම වෙනුවෙන් නගින දුමට කට්ටිය ඉබේම නවතිනවා... අයිස්ක්‍රීම් කන්න නවතින්නේනම් වැඩිපුරම පොඩි පොඩි පැටවු.

කන්න වගේම කැමති දෙයක් අරන් ඇවිත් බොන්නත් ඔන්න මෙතන තහනමක් නෑ කියලා අපට හිතුණෙ එහෙම නිදහසේ හැන්දෑවේ මුහුදේ ලස්සන විඳින ගමන් පුංචි අඩියකට සෙට් වෙච්ච විදේශියකයන් දකිද්දී.. නාන්නම හවසට වෙරළට එන කට්ටියකුත් ඉන්නවා.. ඇත්තටම ඒ නෑම නෑමකටත් වඩා උස්පහත් වෙන මුහුදු රල සමඟ කරන සෙල්ලමක්... කොච්චර නෑවත් ඇති නොහිතෙන සෙල්ලමක්... සමහර අය එද්දී කූඩවල දාගෙන කෑම බීම අරගෙන එනවා... උණුවතුර බෝතල්වල දාගෙන තේ, කෝපි අරන් ඇවිත් නාලා ඉවරවෙලා උණු රොටී, පැටිස්, සමෝසා, වඩේ වගේ දෙයක් රස කර කර කාලා තේ බොනවා.. ඒ අය එන්නේ පවුල් පිටින්.. නැත්නම් යාළුවො කට්ටියක් එක්ක... නාලා කාලා සමහරු සින්දු කියන්නත් සෙට් වෙනවා.. හරියටම හැන්දෑවේ හය වෙද්දී වදිනවා පොලිස් විසිල් එකක්.. ඒ මුහුදේ ගිලී නාන අයට දැන් ඇති රැල්ල සැරයි කියන විසිල් එක.. හැබැයි පොලිස් විසිල් එකට ගොඩට එන සමහර අය විසිල් එක ඈතට යද්දී මෙන්න ආයෙත් මුහුදේ...

එදා ඉරිදා හැන්දෑවේ කොට කලිසමක් ඇන්ද ලස්සන සුදු ජාතික කෙල්ලක් ඇවිත් හිටියා වෙරළට එයාගෙ යෙහෙළියක් එක්ක... ඒ කෙල්ල නිසා ඒ හරියෙන් එහාට නොගිහින් නැවතුණ කොල්ලො හුඟක් හිටියා... අපේ photographer ඉන් එක්කෙනෙක්... ඒ සුදු කෙල්ල හරිම පාඩුවේ මුහුදෙ ලස්සන දිහා බලාගෙන ඉද්දී අපේ රටේ කොල්ලෝ ගොඩක් මුහුදෙ ලස්සන දිහා මොහොතකටවත් නොබලා අර ලස්සන කෙල්ලගේ හැඩ බල බලා හිටියා. කෙල්ලගෙ ලස්සන අපේ photographer ට කොච්චර සතුටක් දුන්නද කියනවනම් කවදාවත් එළියට නොගන්න එයාගේ පර්ස් එකත් එළියට ඇදුණා.. උණු උණු වඩේ එක්ක පැටිස් කන්න හම්බවුණේ අන්න එහෙමයි එදා අපිට...

මට හිතෙන්නේ කියනවට වඩා ගිහින්ම විඳින්න ඕන රස බොහොමයි.. ඒත්තු කාල මුහුදු වෙරළට.. හිටපු ගමන් සරුංගල් සරන අහසේ අයිතියට එන්නේ ගුවන් යානා... ඉතින් මොකද කියන්නේ යමුද දවසක ඔයත් මුහුදු වෙරළට මුහුදු හුළඟත් එක්ක එකීනොකී රස රැසක් විඳලා එන්න?

 ► Text -Saa  /  Pic - Channa Kassapa Koralearachchi