2018 සැප්තැම්බර් 15 වන සෙනසුරාදා

අම්මේ දොර අරින් නුඹෙ පොඩි හිඟන්නිට

 2018 සැප්තැම්බර් 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 515
විදුලිය එළිය දැක ගිනිහුල දියේ හෙලා 
මඟ වැරදිලා දිව්වේ මං මුලා වෙලා 
පැන ගිය මුවන් ළඟ හැලුනයි නෙලූ පලා 
දොර ඇරපන් අම්මේ මට සමාවෙලා 
 
කස්තුරි කපුරු කෑ තරමට එපා වුණී 
තිත්තයි අනේ තිත්තයි මී වදේ පැණී 
ඇස් රතු කළ කොලොප්පමකට හිනා වුණී 
මහමෙර වගෙයි නුඹ නොදොඩා බලා වුණී 
 
මොල්ගහත් ඇවුලුනී කරුම ගින්නට 
උණුසුම මදි වුණා ඔය පැලෙ ඉන්නට 
ආ ගිය මාවතක් කියන්න නෑ පෙනෙන්නට 
අම්මේ දොර අරින් නුඹෙ පොඩි හිඟන්නිට 
 
ගී පද - ස්වර්ණ ගුණවර්ධන 
සංගීතය - ෂෙල්ටන් විජේසේකර 
ගායනය    - ඉන්ද්‍රාණි බෝගොඩ 
 

ජීවිතයේ අතිශය සංවේදී  තීරණාත්මක තීරණයක් ගෙන ගෙදරට පැමිණි උගත් තරුණ පුතකු සිතට දැනුණු දරාගැනීමට බැරි වේදනාව ආවේගය සිතින් පිටමං කරන්නට නිවෙසේ තිබූ ප්ලාස්ටික් පුටු පොළොවේ ගසද්දී අම්මා මොහොතකට කළබල වූවාය. එහෙත් අටේ පන්තියට අකුරු උගත්තත් ජීවිතය ගැන අනේක පාඩම් සමාජය යන විශ්ව විද්‍යාලයෙන් ඉගෙන ගෙන තිබූ තාත්තා අම්මා නිහඬ කළේය.

ඒ දරුවාගේ දුකනෙ ඔය පිට කරන්නේ. එහෙම කරලා හරි දරුවට හිත හදාගන්න පුළුවන්නම් හිත හදාගන්න දෙන්න. එපා කියන්න නවත්වන්න එපා. ඔහෙ පොළොවේ ගහපුදෙන්... පුතුගේ හදවත කියවූ තාත්තාගේ සෙනෙහසට  ඒ හැම වචනයක්ම සාක්ෂියකි. ජීවිතයේ බිත්ති හතරම ගරා වැටී බිමටම පාත්වුණු දවසකත්  කවුරුන් හැර ගියත් හැර නොයන සෙනෙහස අම්මාය. තාත්තාය. එනයින් සිතන්නට ඇස ගැසෙන සමාජය මුණගස්සන සාක්ෂි බොහෝමයකි.

අම්මේ දොර අරින් නුඹෙ පොඩි හිඟන්නිට... ඉසුරු අහිමි දා මෙන්ම අධ්‍යාත්මිකව හරි හම්බ කරගත් යස ඉසුරු හදවත් පවුරෙන් පිටමං වූ දා ද අපි භෞතිකව මෙන්ම අධ්‍යාත්මිකව හිඟන්නන් බවට පත්වන්නෙමු. විටෙක මට එලෙසින් සිතෙයි. තවත් වරෙක භෞතිකව පොහොසත් වන්නන් අධ්‍යාත්මික හිඟන්නන් බවටත් අධ්‍යාත්මික පොහොසතුන් භෞතික හිඟන්නන් බවටත් පත්වෙයි.

හැරදා නිවෙස... හැරදා හව්හරණ.. අලුත් නිවෙසක්, අලුත් හව්හරණක්, අලුත් උණුසුමක්, තාත්තාගේ ආදරයෙන් පිට පිරිමියකුගේ අලුත් ආදරයක්, අලුත් උණුසුමක්, පෙර නොවිඳි වින්දනයක්, නවමු ජීවන ගනුදෙනුවක් සොයා ගොස් පාර වරද්දාගන්නා දියණිවරුන් හිස් අතින් යළිත් අම්මා සොයා එයි. තාත්තා සොයා එයි. තාත්තාටත් වඩා දුක බෙදා හදා ගන්නට අම්මාගේ හදවතේ නවාතැන් ඉල්ලයි.

අම්මේ දොර අරින් නුඹෙ පොඩි හිඟන්නිට.... 
මේ එවන් එක් දියණියකගේ අයැදුමක්යැයි මට සිතේ.

නිතර නොඇසෙන ගීයක් වුවත් විදුලිය එළිය දැක ගිනිහුල දියේ හෙලා.... යන ගීතය අම්මාවරුන්ට, තාත්තාවරුන්ට, පුතුන්ට හා දියණිවරුන්ට ද වැදගත් සමාජ පණිවිඩයක් දෙන වෙනස්ම ආරක ගීයක් යැයි මම විශ්වාස කරමි. දියණියකගේ ආත්ම කතාවක් ගීයට ප්‍රස්තුත වුවත් මඟ වරද්දා ගන්නා පුතනුවරුන්ට ද ගීතය ජීවිතය ගැන පාඩමක් උගන්වතැයි මට සිතේ.

දියණිය ආත්ම පාපොච්චාරණයක යෙදෙයි.

විදුලිය එළිය දැක ගිනිහුල දියේ හෙලා 
මඟ වැරදිලා දිවුවේ මංමුලා වෙලා 
පැනගිය මුවන් ළඟ හැලුනයි නෙලූ පලා 

නෙතට හසුවන ඈත ආලෝකය මායාවක් පමණක්ම විය හැක. මායාවක් නොවුණත් ජීවිත වලංගුතාවක් නොවිය හැක. දිවියට සරි කර ගත හැකියැයි සිතුවත් ළංවෙද්දී පලායන්නක් විය හැක. නෙත් මානන කල දිව යන්නට සිත්වෙන මං බොහොමයකි. ගැඹුරක් නොදකින ගැඹුරක් නොපෙනෙන යොවුන් - තුරුණු සිත් අරුමෝසම් පාට විසිතුරු මං දකින සඳ ඒ මං දිගේ දුවන්නට හදන සිත්වලට නිදහසේ සරන්නට ඉඩහරින වාර අනන්තය. බුද්ධියේ නෙත් වසා සිතිවිලිවලට වහල් වී තීන්දු තීරණ රැගෙන අත්හල නොහැකි නිසාවෙන් වෙලා ගත් ජීවන රුහැන්හි වෙලී සදාකාලික පසුතැවීම් උරුම කරගන්නා වාර එමටය.

කරන කලට පව් මීරිය මී සේ 
විඳින කලට දුක් දැඩිවෙයි ගිනි සේ 
හැඳින එපව් දුරලන උපදේසේ 
නුදුන මැනවි තුන් දොර අවකාසේ....

ලෝවැඩ සඟරාවේ එන මේ කවියෙන් ධ්වනිත අරුත මේ ගීයෙන් ද අරුත් ගන්වතැයි ගීයේ ගැඹුර පිරික්සන මම හඟිමි.

මඟ වැරදිලා දිවුවේ මංමුලා වෙලා 
පැනගිය මුවන් ළඟ හැලුනයි නෙලූ පලා 

ජීවිතයට එන යන අය බොහෝ වෙති. එන සියල්ලෝම නොනවතියි. එන සියල්ලෝම ආදරයෙන් නොනවතියි. වරෙක ආදරයෙන් එන ඈයෝ බිඳුණු සිත් ඉතිරිකර පලා යති. ආදරයෙන් පැමිණ ආදරයෙන්ම නැවතී හිඳින සෙවනැලි අතළොස්සකි. යොවුන් - තුරුණු සිත් ළඟ ආදරයේ සිහින එලූ සරාගයේ සමනලුන් අලුත් මල් දැක ඉගිලෙති. රොන්සුණු දන් දුන් මල් අඬගසන සමනලුන් බඹරුන් ළඟ තතු නොවිමසාම රැඳෙති. හරි හම්බ කරගත් ජීවිත සාරය වියළෙන්නට එක මොහොතක් සෑහෙයි. ඒ එක මොහොත මුළු ජීවිත කාලයම විඳවන්නට පසුතැවෙන්නට හේතුවක් විය හැක. මේ ගීතය ඒ යථාර්ථය ගැන සිතන්නට පාර කියයි.

එදා ගම් ගෙවල්වල මව්වරු සහ දූවරු අතර තිබූ බැඳීම ගැඹුරේ මහා තෙතක් රැඳී තිබුණි. ඇඳිරි වැටෙන්නට පෙර හෝරාවක පිල්කඩ ළඟ අම්මා දූත් කැටුව විත් ඉඳගත්තේ උකුණන්, ලේඬින් අරන් දමන්නටය. ඒ අවසානයේ දුවගේ ඔළුවට කදිම තෙල් සාත්තුවක් මෙන්ම මනසට කදිම සිතුවිලි සත්කාරයක් ද ලැබෙයි. අම්මා අම්මාට ඇති ප්‍රශ්නත් දුව දුවට ඇති ප්‍රශ්නත් බොහෝ විට කතා කරන්නේ ගමේ ව්‍යවහාරයෙන්ම කියනවානම් ‘තඩි හූරන’ මේ හෝරවේදීය. අවසානයේ දුවගේ සිතේ ඇති රහසක් එළියට එයි. දුවගේ ප්‍රශ්නයකට අම්මාගෙන් හිත නිවන ප්‍රායෝගික උත්තරයක් ලැබෙයි. අම්මාගේ හිතේ රහසක් ද දුව හමුවේ නිරාවරණය වෙයි. බිඳෙන උකුණෙක් උකුණෙක් ගාණේ ඒ අම්මත් දූත් අතරේ ඇතිවෙන බැඳීම දැඩි බැඳීමකි.

මට මේ මොහොතේ මගේ තාත්තා සිහිවෙයි. මා කුඩා වියේදී තාත්තා මා සරම් ඔඩොක්කුවේ හිඳුවාගෙන බොහෝ දෑ කියා දුන්නේය. පුතේ දොස්තර මහත්තයෙක් වුණොත් මගේ පුතාට මෙහෙම ඉන්න පුළුවන්... ඉස්කෝලේ මහත්තයෙක් වුණොත් මෙහෙම ඉන්න පුළුවන්... තාත්තා මට ජීවිතය වෙනුවෙන් හීන බලාපොරොත්තු හිත් පොඩියට දුන්නේ එහෙමය. ඒ හීන, බලාපොරොත්තු අතරේ තාත්තා මට සොබාදහම ඇසුරෙන් ජීවිතයත්, මනුස්සකමත් ගැන කියාදෙන්නට අපමණ මහන්සියක් ගත්තේය. නාගොල්ලාගම ඈත ගමේ වැව ළඟට මා කැටුව ගිය තාත්තා මට කිරලුන්ගේ හඬ අසන්නට ඉඩ හැරියේය. පුතේ කිරල්ලු එක එක වෙලාවට කෑ ගහන්නෙ එක එක විදිහට. කවුරුහරි කූඩුව ළඟින් යද්දී එක විදිහකට... පැටවු දකිද්දී තව විදිහකට... සොබාදහම රස කර ඉගැන්වූ මගේ තාත්තා මට හැමදාමත් ජීවිතය ගැන අපූරු දර්ශනයක් ද කියා දුන්නේය.

පුතේ අපි හැමදේම කරන්නේ සතුට වෙනුවෙන්. ජීවිතයේ අවසාන පලය වෙන්න ඕන සතුට. සතුටක් නැත්නම් අපි මොනදේ කළත් වැඩක් නෑ...

එදා අම්මාවරු, තාත්තවරු, දූවරු, පුතුන් අතර තිබුණු ඒ බැඳීමේ දේදුණු වර්ණ අද බොහෝ තැන්හීදි වියැකී ගොසිණි. එදා මුදුන් වෙන්නට බත් පත තාත්තාට බෙදා දුන් අම්මා ඉතිරිය දරු පැටවුන්ට දී උන්ගේ බඩ පිරෙනකම් ළඟට වී රැඳී සිටි හැම තත්ත්පරයක්ම ස්නේහය වෙනුවෙන් වග වූ ස්නේහය යාවත්කාලීන කළ තත්ත්පර විය. අද ඒ මුල් සිඳී ගොස්ය... සියල්ලන්ම පාහේ අති ධාවනකාරී පාරිභෝගිකවාදී සමාජ යාන්ත්‍රණය නියෝජනය කරන රොබෝවරුන් බවට පත්ව ඇත. ජීවිතය ගැන කියාදෙන්නට, සොබාදහම ඇසුරෙන් දරුවන්ට ජීවිතය උගන්වන්නට රුපියල්වලට ජීවිත උගස් කළ බොහෝ අම්මලාට තාත්තලාට ඉසිඹුවක් නැත. දරුවන්ගේ ළමා විය ගෙවී යන්නේ පරිගණකය, මුහුණු පොත තුළය. ජීවිතයේ ආගමික හරයන්, සංස්කෘතික වටිනාකම්, කොන්දේසි විරහිත බැඳීම් ගැන කියාදෙන්නට දරුවන් ළඟ අම්මලා, තාත්තලා, ආත්තම්මලා, අත්තලා වෙනුවට අද සිටින්නේ අන්තර්ජාලයයි. මේ සමාජ සෝදාපාළුව තුළ මේ ගී පද මට මෙලෙසින් ඇසේ.

කස්තුරි කපුරු කෑ තරමට එපා වුණී 
තිත්තයි අනේ තිත්තයි මී වදේ පැණී 
ඇස් රතු කළ කොලොප්පමකට හිනා වුණී 
මහමෙර වගෙයි නුඹ නොදොඩා බලා වුණී

අමෘතය වුවත් පමණට වඩා වැඩි වූ කල එය නොරසකි. කොතෙක් රස වුවත් මී පැණියේ රස දැනෙන්නේ එක්වර මී පැණි බෝතලයක් මුවේ හලා ගත් කල නොවේ. බිඳෙන් බිඳ දවසකට හැන්දක් තරම් තොල ගෑ විටය. මොන රසත් දිව ගෑ හැකි පමණක් තිබේ. සුයාම මවන රමණයේ රස වුවත් එහෙමමය. නොඑසේනම් සුරතාන්තයෙන් එහා ප්‍රතික්ෂේපයක කෙඳිරිලි නැගෙන්නේ නැත. 

කස්තුරි කපුරු කෑ තරමට එපා වුණී

හිමාල වන ආදී කඳු අතරේ සැරිසරන දුර්ලභ කස්තුරි මුවන්ගේ නාභිය වටා ඇති කස්තුරි යනු ලෝකයේ ඇති හොඳම වාජීකරණ ඖෂධයයි. ඒ තරැණ මුවන් සංසර්ගයට පෙළෙඹෙන කාලයේදී ශුක්‍රානු බොහෝ සේ ගලා එන අතර ඒ සාර පිරිමි පැණියේ අති මිහිරි සුවඳ සුළඟට මුසුවී හැම අත පැතිරෙයි. ඒ සුවඳට ආකර්ෂණය වෙන මුව දෙනුන් මෘග මද දරා සිටින මුවන් පසුපස වැටී සංසර්ගයේ සුව සොයයි. කාම මදයෙන් මත්වෙන තරුණ මුවන්ගේ ශක්තිවන්ත ශුක්‍රාණු ගලා එමින් මුවාගේ නාභිය වටා බැඳෙන්නේ බදාමයක් සේය. වසන්තයේ වෑහෙන ඒ අනුරාග පිරිමි සාර පැණිය සති කිහිපයක් ඇවෑමෙන් වියළි තරලයක් බවට පත්වේ. රෝම අතරේ කැකෑරී බැඳෙන මේ තරලය පිරිමි මුව සිරුරට අමුතු බරක් මෙන්ම අමුතු කැසිල්ලකි. එහෙයින් මුවන් නාභිය ගල්තලාවක අතුල්ලමින් ඒ තරලය කඩා දමයි. කැබලි ලෙසින් ගල් තලය මත විසිරෙන්නේ ලෝකයට මිල කළ නොහැකි ඔසුවක්, සුපිරි වාජීකරණයක් වන ඒ පිරිමි මුව ශුක්‍රාණුවයි.

කස්තුරි කපුරු කෑ තරමට එපා වුණී... ගීත රචකයා ගිය දුර අපූරුයයි ඔබටත් නොසිතුණොත් පුදුමය. මේ ගී පදයේ රසය තව තවත් පිරිමැද විචාරන්නට මට නොසිතෙන තරම්ය. ඒ රසය බිඳෙතැයි තවත් මොහොතක සිතෙන හෙයිනි. කස්තුරි ගැන දන්නා ඔබට මේ ගී පදය ඔස්සේ මුදාහල රස විඳින ලෙස ඔබට කියන්නට පමණි; මට සිත්වන්නේ.

ඇස් රතු කළ කොලොප්පමකට හිනා වුණී 
මහමෙර වගෙයි නුඹ නොදොඩා බලා වුණී

මඟ වරදාගත් දියණියක ගැන එහෙන් මෙහෙන් ඇහෙන ඇනුම්පද නිහඬව දරාගෙන විඳගැනීම සමහර  අම්මාවරුන්ගේ සිරිතකි.දොසක් දැක්කත් පිට මිනිසුන් අතින් දොසක් නොකියා  බලා සිටින ඒ මව්ගුණය මේ ගී පදයෙන් පැහැදිලි වේ.

මෝල් ගහත් ඇවිලුණි කරුම ගින්නට 
උණුසුම මදි වුණා ඔය පැලෙ ඉන්නට 

කර්මය මිනිසුන්ගේ විශ්වාසයකි. විවාහයේ යහපත, අයහපත, ලැබීම්, නොලැබීම් කර්මයේ පල විපාක බව ඇතමුන්ගේ විශ්වාසයයි. කරුමයට කොළ නැති මෝල් ගහත් ඇවිලෙන බව ගම්මුන් කියති.

අම්මාගේ තාත්තාගේ සෙනෙහස මට මදි බව දැනුණේ මගේම කරුමෙට... මඟ වරදාගත් දියණිය එසේ සිතයි.

ආගිය මාවතක් කිම නෑ පෙනෙන්නට 

වරදාගත් මාවතක මතක මංදොර සුසුම්සර ඝනකමින් වැසී ගොස්ය. කඳුළින් බොඳවී ගොස්ය.

අම්මේ දොර අරින් නුඹේ පොඩි හිඟන්නිට 

එසේ කියන දවසක් නොඑන්නට මෝරන තල මල සේම සාර සුභාවෙන් පිරි ජීවිතයක් වෙනුවෙන් අරුත් පසිඳින්නට හැකිනම්.. 

► දන්ත ශල්‍ය වෛද්‍ය අසේල විජේසුන්දර