2018 අගෝස්තු 11 වන සෙනසුරාදා

ප‍බෝදා අක්කා මට කියන්නෙත් කරපන් හරියට කරපන් කියලා

 2018 අගෝස්තු 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 289

සචිත්‍ර... රංගන ශිල්පියෙක් වෙන්නටත් පෙර සචිත්‍ර හඬ කැවීම් ශිල්පියෙක්නේ...?
ඔව්... මම මේ ක්ෂේත්‍රයට මුලින්ම හඬකැවීම් ශිල්පියෙක් විදිහට තමයි එකතුවෙන්නේ. මගේ ගම කඩුවෙල. මුලින්ම මම ඉගෙනගත්තේ කුමාරතුංග මුණිදාස විදුහලේ. ඊට පස්සේ උසස්පෙළ අධ්‍යාපනයට මම බෝමිරිය ජාතික පාසලට ඇතුළත් වුණා. මේ වනවිට මම මෝටර් රථ ඉන්ජිනේරු උපාධිය හදාරනවා. ඉතින් ඔය අතරේදී හඬ කැවීම් ශිල්පයත් කරනා ගමන් ලැබෙන අවස්ථාවන් අනුව මම රංගනයටත් එකතු වෙනවා.

සචිත්‍ර හඬකැවීමේ කලාවටත්, රංගන ජීවිතයටත් ඔබේ ආදරණීය ලොකු අම්මාගෙන් ලොකු ආශිර්වාදයක් ලැබෙනවා ඇති නේද...?
ඔව්... අනිර්වාර්යයෙන්ම... අද මම මේ ක්ෂේත්‍රයේ යම්තැනක ඉන්නවා නම් ඒකේ ලොකුම ගෞරවය හිමි විය යුත්තේ මගේ ලොකු අම්මා වුණු ගීතා කාන්ති ජයකොඩිටයි. ලොකු අම්මා තමයි මාව මුලින්ම රූපවාහිනියේ හඬකැවීම් අංශයට යොමු කළේ. ඊට පස්සේ මගේ හඬ රූපවාහිනියෙන් අහලා මාව තෝරාගෙන එතන ඉඳන් හඳාගත්තු ගමනක් තමයි අද මේ ඇවිත් තියෙන්නේ.

සචිත්‍රගේ පුංචි කාලේ තිබුණු හීනය මොකක්ද...?
මුලින්ම මගේ ආසාව වෙලා තිබුණේ පරිගණක ඉංජිනේරුවෙක් වෙන්නයි. ඊට පස්සේ මගේ ආසාව වුණේ නැවක ඉංජිනේරැවෙක් වෙන්නයි. ඒකට මම ඉගෙනත් ගත්තා. මාස තුනක් විතර මම වැඩකලා. හැබැයි මම ඒ ගමනට ඒ තරම් කැමැත්තක් තිබුණේ නැහැ. ඊට පස්සේ මම මෝටර් රථ ඉංජිනේරු ශිල්පය හැදෑරුවා.

පාසලෙදී සචිත්‍ර මොනවගේ චරිතයක්ද...?
මම උසස්පෙළට ගණිත අංශයෙන් තමයි ඉගෙනගත්තේ. හැබැයි මම කලා පන්තියේම තමයි හැමවෙළේම හිටියේ. සමහරු ගණිත විෂයත් ඉගන්වපු ගුරැවරැ මම ඒ පන්තියේ ඉගෙන ගන්නා ළමයෙක් කියලත් දැනගෙන හිටියේ නැහැ. අන්තිම දවස් ටිකේ තමයි “මූ මැත්ස් එකෙක් කියලා පවා ඒ අය දැනගත්තේ. කලාව පුංචි කාලේ ඉඳන් මගේ ඇඟේ තිබුණා. ඒ නිසා ඒ පැත්තටම මම ගියා. හැබැයි මැක්ස් තියන දේ බලෙන් ඇඟට දාගත්තු දෙයක්. වැඩිපුරම හිටියේ සංගීත පන්තියේ. එහෙමත් නැත්නම් පීරියඩ් එකක් කට් කරලා වෙන පන්තියකට ගිහින් හිටියා. හැබැයි ඔය හැමදෙයක්ම කරලත් අපේ ඉස්කෝලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයාත් වුණා... පාසලේ හිටපු “හොඳම නළුවා තමයි මම. සින්දු කිව්වා. ගිටාර් වාදනය කළා. ඔය හැමදෙයක්ම එක්ක පාසල් ජීවිතේ හරි අපූරුවට ගෙවිලා ගියා.

සචිත්‍ර කලා පවුලකට නෑදෑකම් කියන පවුලක කෙනෙක්නේ...? කලාවට එන්න ටිකක් ප්‍රමාද වුණා වගෙයි නේද...?
ඔව්... මටත් හිතෙනවා. මුල්ම කාලේ පාසල් වේදිකා නාට්‍යයක හිටියා මිසක් මේ ප්‍රසිද්ධ කලාවට නම් සම්බන්ධ වුණේ නැහැ. ඒලෙවල් ඉවර කරලා තමයි මම හඬ කැවීම් අංශයට පවා එකතු වුණේ. එතකම් මම මේ කේෂත්‍රයට ආවේම නැහැ. කොහොම වුණත් පරක්කුවෙලා මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වුණාට මට එහෙම කිසි දුකක් නැහැ. මට ඕනේ හෙමීට හොඳ ගමනක් යන්න.

සචිත්‍රගේ කටහඬ මේ දවස්වල නිතර නිතර අහන්න ලැබෙනවා නේද...? මොනවාද හඬ කැවීම්වලින් සචිත්‍ර සම්බන්ධ වුණු නිර්මාණ...?
මේ දවස්වල දෙරණ නාළිකාවේ විකාශනය වන “මුතු අහුර ටෙලිනාට්‍යයේ ටොබ්බ්‍රෙක්  කියන චරිතයට හඬ කවන්නේ මම. ඊට අමතරව චන්ද්‍ර නන්දනී කියන ටෙලිනාට්‍යයේත්, රජවැඩකාරයෝ නාට්‍යයෙත් හඬ කැවීමෙන් සහය වෙනවා. ඊට අමතරව කාටුන් කිහිපයකටත් දායක වුණා.

සචිත්‍ර වැඩියෙන්ම කැමති හඬකැවීම් ශිල්පියාටද...? රංගන ශිල්පියාටද...?
කාලයක් තිස්සේ “රංගන ශිල්පියා වෙන්න ඕනේ කියන ආසාවක් තිබ්බා. හැබැයි දැන් තියෙන තත්ත්වයත් එක්ක මම හඬකැවීම් ශිල්පියාට තමයි වැඩිපුරම කැමැති. හඬ කැවීම් ශිල්පියාට රංගන ශිල්පියෙකු තරම්ම මහන්සියක් නැහැ. ඒ වගේම අද තියෙන නාට්‍යයත් එක්ක ඒක ටිකක් අවුල්. හැබැයි හඬ කැවීම් ශිල්පියාගෙන් මගේ හඬ විතරයි ඇහෙන්නේ. නළුවා කියන කෙනාගෙන් රූපයයි හඬයි දෙකම දකිනවා වගේම ඇහෙනවා.

කොහොමද සචිත්‍රගේ රංගනයක් ගැන පබෝදාගෙන් ලැබෙන ප්‍රතිචාර...?
පබෝදා අක්කා වගේම මේ හැමෝම මට කියන්නේ. “කරපන්... හරියට කරපන්... කියලා. වැරැද්දක් එහෙම තිබුණොත් මට කෝල් එකක් දීලා ඒ හැමෝම ඒක කියනවා. හැමෝම කියන්නේ “කරන එක හරියට කරපන් කියලාම තමයි. මගේ නිර්මාණ ලොකු අම්මා තමයි ගොඩාක්ම බලන්නේ. මගේ පවුලේ ඉන්නේ මමයි, අයියයි, නංගියි, තාත්තයි අම්මයි. මගේයි අයියගේ කටහඬ එකම වගේ. සමහරදාට ඒක අම්මාටත් හොයන්න බැහැ. ඉතින්... අපි දෙන්නම තමයි මුල්ම හඬ කැවීම් තෝරාගැනීමට පවා ගියේ. කොහොම හරි අයියා හඬ කැවීම් වැඩේ අතරමඟදී නතර කළා. මම වුණත් මුල්කාලේදී රූපවාහිනියට ගිහින් අනිත් අය කරන දිහා වාඩිවෙලා බලාගෙන හිටියා. එහෙම මාස තුනක් විතර බලාගෙන ඉඳලා තමයි බොහෝම පොඩි චරිතයකට හඬ කවන්න අවස්ථාව ලැබුණේ.

මේ දවස්වල සචිත්‍ර මොකද කරන්නේ...?
අහිමි කියන ටෙලිනාට්‍යයේ පසුගිය දවස්වල ඉවර වුණා. උත්තම පුරුෂ කියන ටෙලිනාට්‍යයේ රූගත කිරීම් අවසන් කළා. මීට අමතරව ධනුෂ්ක රත්නායකගේ “වෙස් කියන නාට්‍යය රඟපානවා. ඒක හරි අපූරු නාට්‍යයක්. වෙනස් විදිහේ නාට්‍යයක්. මීට අමතරව තව නාට්‍යය දෙකකට ආරාධනා ලැබුණා. මේ දවස්වල ඒ නාට්‍යය වෙනුවෙන් පොඩ්ඩක් ඇඟ හදනවා.

මොනවද ඊළඟට තියෙන බලාපොරොත්තු...?
මුලින්ම මගේ උපාධිය අවසන් කරගන්න ඕනේ. මෙච්චර කාලයක් රඟපෑවට මට තාමත් මගේ ලොකු අම්මා එක්ක රඟපාන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. හරිම ආසාවෙන් ලොකු අම්මා එක්ක රඟපාන්න මම බලාගෙන ඉන්නවා.

මේ වෙනකොට පෙම්වතෙක්ද...?
නැහැ... අවංකවම කියන්නම් නැහැ. හැබැයි මම ආදරේ විඳලා තියෙනවා. ප්‍රථම ප්‍රේමය මම කරන්නේ නවය වසරේ ඉඳිද්දී. හැබැයි ඒ ආදරය හරි බොළඳයි. ඒක නිකම් හිතට දැනුණු දෙයක් විතරයි. ඊට පස්සේ මට දැනුණු අාදර කතා දෙකක්ම තිබුණා. ඒ ආදර කතා දෙකම දැන් ඉවරයි. අවුලක් නැහැ. දැන් මම ෆිට් එකේ ඉන්නවා.

සචිත්‍ර නයෝමි වගේ යාළුවෙක් මුණගැසීම ගැන මොකද හිතන්නේ...?
නයෝමි මම මුලින්ම දැක්කේ “අහිමි කියන ටෙලිනාට්‍යයේදීයි. ඒකේදී වැඩිය කතාබහ කළේ නැහැ. ඊට පස්සේ අපි දෙන්නා හොඳ යාළුවෝ වුණේ “උත්තම පුරුෂ ටෙලිනාට්‍යයේ ෂූටිංවලදීයි. යාළුවෙක් විදිහට නයෝමි හොඳ කෙනෙක්. හැමවෙලේම හිනාවෙලා පිස්සුවෙන්, ජොලියෙන් ඉන්න කෙල්ලෙක්.

නයෝමි තක්ෂිලා

නයෝමි... ටිකක් දුරබැහැර පළාතකින් කලාවට අවතීර්ණ වුණු කෙනෙක් නේද...?
ඔව්... මගේ ගම් පළාත අනුරාධපුරේ. මගේ පවුලේ ඉන්නේ අම්මයි, තාත්තයි, අක්කලා දෙන්නයි, අයියයි මමයි විතරයි. මම පවුලේ බාලයා. අපේ පවුලේ කවුරුත්ම මේ කලාවට සම්බන්ධකම් තියෙන්නේ නම් නැහැ. පුංචි කාලේ ඉඳන්ම මම කලාවට හරිම ආසයි. එක වසරේ ඉඳිද්දීම කවුරු හරි මගෙන් ඇහුවොත් “ඔයා කවුරු වෙන්නද කැමති කියලා මම කියන්නෙම “හින්දි නිළියක් වෙනවා. කියලලු. ඒ තරමටම මම හින්දි චිත්‍රපටවලට හරිම පිස්සියක්. බොරු වචන දදා හින්දි සින්දු තාලෙට ඉස්සර මම සින්දු කියනවාලු.

ඒ කියන්නේ පුංචි කාලේ නැට්ටුක්කාරියක්ද...?
ඔව්නේ... පුංචි නොතේරෙන කාලෙදීත් මම වැඩියෙන්ම හින්දි සින්දුවලට නටන්න තමයි වැඩියෙන්ම කැමති. හින්දි ෆිල්ම් හරියට බැලුවා. මුලින්ම මම අනුරාධපුර පුසියම්කුලම මහ විද්‍යාලයට තමයි ගියේ. ඒ කාලේ ඒ ඉස්කෝලේ නැටුම් විෂයට ගුරුවරියක් හිටියේ නැහැ. ඉතින් මම විදුහල්පතිතුමියට කියලා මමම නැටුම් පන්ති ගිහින් නැටුම් විභාගයට ලියලා හොඳින් සමත් වුණා. ඔය වෙද්දී උසස් පෙළට මම නාට්‍යකරණය විෂයක් විදිහට ලියන්න ඕන වුණා. ඒ නිසා මම උසස් පෙළ විභාගය හදාරන්න අනුරාධපුර ස්වර්ණපාලි බාලිකා විදුහලට ගියා. උසස් පෙළ විභාගයෙන් මට කැම්පස් යන්න ලකුණු මදිවුණ නිසා මම ටවර් හෝල් රංග පාසලට ඇතුළත් වෙලා නාට්‍යය කලාව හැදෑරුවා. ඊට පස්සේ වේදිකා නාට්‍යවලට සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබුණා.

අනුරාධපුර වැනි පළාතක ඉඳන් කොළඹ ඇවිත් මේ හැම දේකටම සම්බන්ධ වෙන්න කාලය හොයාගත්තේ කොහොමද...?
මම ටවර් හෝල් රංග පාසැලට ඇතුළත් වුණාට පස්සේ මම නාට්‍ය පාසල්වල හොස්ටල්වල තමයි නතර වුණේ. ඇත්තටම මගේ ලොකුම ආසාව වුණේ වේදිකා නාට්‍යවල සම්බන්ධ වෙන්නයි. කොහොම හරි වේදිකා නාට්‍යවල සම්බන්ධ වෙද්දී මට මියුසික් වීඩියෝවලට ආරාධනා ලැබුණා. ඒ හරහා පුංචි තිරයටත් එන්න මට අවස්ථාව ලැබුණා. ඒ හැමදෙයක්ම කරන්න මම කොළඹ නතර වුණා

මේ දවස්වල නයෝමි මොනවාද කරන නිර්මාණ...?
මේ දවස්වල නීල පබළු ටෙලිනාට්‍යයේත්, උත්තම පුරුෂ, සඳ එළිය කියන නාට්‍ය තුනේම මම වැඩ කරනවා. ඊට අමතරව ධනුෂ්ක රත්නායකයන්ගේ “වෙස් නාට්‍යයටත් මම සම්බන්ධ වුණා. ඒක ටිකක් වෙනස් ලස්සන කතාවක්. ඒවගේම තිළිණ බොරලැස්සගේ “නෝ පාකින් කියන නාට්‍යයට සම්බන්ධ වුණා. ඒකත් ඉදිරියේදී දැකබලා ගන්න පුළුවන් වේවී.

පුංචි කාලේ නයෝමි දඟයිද...?
ඔව්... ඔව්... පුංචි කාලේ මම දඟ වගේම ටිකක් නපුරු චරිතයක්. පවුලේ බාලයා නිසාම මට හැමෝගෙම ආදරය ලැබුණා වගේම හැමෝගෙන්ම ආදරය බලාපොරොත්තු වුණා. දැන්නම් මම ඉන්නේ කොළඹ නිසා අම්මාලා මාව බලන්න නිතරම කොළඹ එනවා. මාත් ඉඩ ලැබෙන හැම වෙලේම ගමේ යනවා.

නයෝමිගේ තියෙන බලාපොරොත්තු මොනවාද...?
මම අධ්‍යාපනය පැත්තෙන් නාට්‍ය හා රංග කලාව ගුරුවරියක් වෙන්නයි ඉගෙන ගන්නේ. ඉතින් රඟපාන අතරතුරේ ඒ අධ්‍යාපන කටයුතුත් සමබරව කරගෙන කලාවේ හොඳ ගමනක් යන්න තමයි මම හැම වෙලේම උත්සාහ කරන්නේ.

ආදරය ගැනත් කතා කරමුද...?
ආදරය කරලා තියෙනවා. ආදරය විඳලා තියෙනවා. ඒ ආදරේ තාමත් මම අපූරුවට විඳිනවා. එයා ක්ෂේත්‍රයට සම්බන්ධ කෙනෙක් නම් නෙමේ.

නයෝමි කියන්නේ කවුද...?
නයෝමි කියන්නේ බොහෝම සරල සාමාන්‍ය ජීවිතයක් ගතකරන කෙනෙක්. 

නයෝමියි සචිත්‍රයි දැන් හොඳ යාළුවෝනේ... සචිත්‍ර මොනවගේ කෙනෙක්ද...?
සචිත්‍රව මට මුලින්ම හමුවෙන්නේ සරත් ධර්මසිරි සර්ගේ උත්තම පුරුෂ ටෙලිනාට්‍යයේදියි. එයා හරිම සරල විනෝදයට බර හොඳම හොඳ යාළුවෙක්. එයා විලාසිතාවලට ගොඩාක් කැමතියි. එයා කතා කරන විදිහට එයා විලාසිතා කරන විදිහට වුණත් මම හරි කැමතියි. රූගත කිරීම් කරන අතරතුරේ දී ලැබෙන පොඩි විවේකයේදීත් අපි එකතු වෙලා විහිළු කරනවා. කතාබහ කරනවා. ඇත්තටම එයා හරිම හොඳ කෙනෙක්.  


► Text - Dishani  /  Pic- Sumudu