2018 අගෝස්තු 11 වන සෙනසුරාදා

සිවුරු පහසින් සැනසුන වෙස්සගිරිය

 2018 අගෝස්තු 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 298

ගිය සතියේ ඉසුරුමුණියේ ගිය අපි ඉසුරුමුණියේ ඉඳන් දැන් යන්න හදන්නේ වෙස්සගිරියට. දේවානම්පියතිස්ස, චන්ද්‍රමුඛසිව, වසභ, පළවෙනි කාශ්‍යප, තුන්වැනි ජෙට්ඨාතිස්ස, දෙවැනි දාඨෝපතිස්ස, හතරවැනි මහින්ද යන රජවරුන්ගේ දහඩිය කැපවීම වෙස්සගිරියේ පදනම කියලා කිව්වොත් හරියටම හරි. වෙස්සගිරිය කියන්නේ යතිවරයාණන් වහන්සේලා බණ භාවනා කළ කටාරම් කෙටූ ඉපැරණි ලෙන් විසිතුනකින් පිරී ගිය තපෝවනයක්. ඉස්සර සමනාරාමය හෙවත් වර්තමාන වෙස්සගිරිය පිහිටලා තියෙන්නේ අනුරාධපුර - කුරුණෑගල පාරේ ශ්‍රී මහා බෝධියට කිලෝමීටර් එකහමාරක් දුරින්. අතීතයේ ශ්‍රී විභූතිය ගැන කදිම සාක්ෂි සහිත මේ පුදබිම අක්කර විස්සක භූමි වපසරියකින් යුක්තයි. ඉස්සරමනාරාමය මෙහි අතීත නාමය වුවත් ඒ නමින් හඳුන්වන්නේ ඉසුරැමුණිය. ඉසුරුමුණියේ පුරාණ නාමය මේඝගිරිය. 

ඉසිරමණ විහාර යන නමින් වෙස්සගිරිය හඳුන්වපු බවටත් ශිලා ලිපි දෙස් දෙනවා. මේඝගිරියට ඉසුරුමුණිය යන නම් දුන් තැනැත්තා ඒ ප්‍රදේශයේ ඇති ගුහා දැකීමෙන් නියම ඉසුරුමුණියට වෙස්සගිරිය යැයි නම් තිබ්බ බව විශ්වාස කරනවා. 
කොහොම නමුත් ඉතිහාසයේ කියන වෙස්සගිරිය හරියටම පිහිටියේ කොහේද කියන එක තවමත් නොවිසඳුනු ප්‍රශ්නයක්.

වෙස්සගිරිය කියන්නේ අනුරාධපුරයේ යන හැම බැතිමතෙක්ම යන එන තැනක් නම් නෙවේ. එක පැත්තකින් තිසා වැවත් අනෙක් පසින් කෙත් යායත් මායිම් වූ වෙස්සගිරියේ වනස්පතියන් ලෙසින් නැගී සිටින ගස් බොහොමයි. තිසා වැවෙන් එන හුළඟ හැම තිස්සෙම වෙස්සගිරියේ කොහොඹ, නුග, ඇසළ ගස්වල සුවඳ හූරාගෙන එබිම හැමතැනම හමාගෙන යනවා. කොච්චර පෑවිල්ලක වුවත් ඇඟට සීතලක් වෙස්සගිරියේදී දැනෙන්නේ ඒකයි. 

වෙස්සගිරිය දකිද්දී හිතට එන දේ තමා මේ තරම් විස්මිත නිර්මාණ කරන්න අතීත මිනිසුන් තුළ කොහොම පරිකල්පනයක් තිබුණාද කියන සිතුවිල්ල. තවත් අතකින් වෙස්සගිරිය කියන්නේ නටබුන් සමුදායක් පිරුණු ඒ නටබුන් අතරේ නොකියවූ ඉතිහාසයක් කියවන්න බලකරන පුරාවිද්‍යාත්මක භූමියක්. වෙස්සගිරිය සිතුවම් මේ වෙද්දී විනාශ වෙමින් යන තැනක තිබුණත් කහ, රතු, නිල්, කොළ වර්ණවලින්ද ප්‍රාණවත් රේඛා මිශ්‍රකර ඇඳි සිතුවම් රැසක් එහි තිබී තියෙනවා. කැනීම්වලින් හෙළිවෙච්ච තොරතුරු කියන විදියට භික්ෂු වාසයට නතුවෙන්න පෙරාතුව වෙස්සගිරිය කියන්නේ ප්‍රාග් ඓතිහාසික මානවයා වාසය කළ භූමියක්. කොහොම නමුත් හැන්දෑවක් අසිරිමත් මහ කළුගල් අතර හිඳ ගෙවන්න කියාපු තැනක් විදියට වෙස්සගිරිය හඳුන්වන්න පුළුවන්. 

ඊළඟ සතියෙන් අනුරාධපුරයේම තවත් තැනක හිඳ හමුවෙමු.

 

 ► Text -Saa / Pic - Channa Kassapa Koralearachchi