2018 අගෝස්තු 11 වන සෙනසුරාදා

ඇන්දිල්ලේ හොඳම එක

 2018 අගෝස්තු 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 74

එක්තරා දක්ෂ තරුණ තිර කතා රචකයකු හොයාගෙන අධ්‍යක්ෂකවරයෙක් ආවලු. ආවෙ ඔහු ලවා හොඳ ටෙලි නාට්‍ය පිටපතක් ලියාගන්න. කතා තේමාව රචකයාට පැහැදිලි කරලා අධ්‍යක්ෂකවරයා කිව්වෙ මේ කතාවෙ 90 ක්ම රූපගත කරන්නේ ඉතාලියේලු.

මට හදිස්සි වැඩ ගොඩාක් තියෙන නිසා, ඔයාගෙ වැඩේ මට ටිකක් කල් ඕන වෙයි. අනික තිර කතාව ලියන්න මට රූපගත කරන තැන් බලාගන්නත් වෙයි. රචකයා කිව්වලු. 
මේක ප්‍රොඩියුසර් ඉන්න ඉතාලියේ. ඕන තරම් වියදම් කරයි. මේක ඉවර කරලා අපි දෙන්නටම ඉතාලියට යන්න වෙයි නිෂ්පාදක එක්ක සාකච්ඡාවට. හැබැයි පුතෝ මේක සති දෙකකින් ලියලා දෙන්න ඕන. ඊට පස්සෙ වීසා ටික හදාගමු.
අධ්‍යක්ෂකගේ කීමත්, ඉතාලි ගමනක් නිසාදෝ කොල්ලා සති දෙකකින් වැඩේ සුපිරියටම ලියලා දුන්නලු.

ඔන්න දවස් දෙකක් ගියෙ නැහැල්ලු අධ්‍යක්ෂකවරයා මූණු පොතේ ගුඩ් බායි ශ්‍රී ලංකා කියලා පෝස්ට් එකක් දාලලු. එයා ඉතාලි යනවලු. තනියම නෙවෙයි හදන්න යන ටෙලි නාට්‍යයේ රඟපාන්න යන එක්තරා ශිල්පිනියක් එක්කලු.
වැඩේ නම් කැතයි අයියේ. මේ වගේ වංචනික වැඩක් ඔයා කරයි කියලා මම හිතුවෙ නැහැ. මම ඉතාලි යන්න කෑදර නැහැ. මම ලියපු වැඩේට සල්ලි දීලා යන්න තිබුණනේ. රචකයා ඔහුට පණිවිඩයක් දැම්මලු. ඕකට උත්තර එවලා තිබුණේ මෙහෙමලු.
මල්ලි මම නෙවෙයිනෙ නිෂ්පාදක. එයා තමයි සල්ලි දෙන්නේ. මම එනකොට අරගෙන එන්නම්. මම මේ නංගි එක්කරගෙන ආවෙ ඉතාලියේ එයාට රඟපාන්න තියෙන ලොකේෂන් පෙන්නන්න.

ඩ්‍රින්ක් එක නම් මරු අයියා

 

කොළඹ ප්‍රධාන පෙළේ සිනමා හලක චිත්‍රපටයක මංගල දර්ශනයක්. එක්තරා තරුණ නළුවෙක් උත්සවේට ආවෙ එයාගේ බිරිඳත් එක්ක. බිරිඳ ආසනයේ රඳවලා කොල්ලා එළියට ආවලු වැඩේ පටන් ගන්න තව වෙලා තිබුණ නිසා. 
ඒත්එක්කම උත්සවේට ආවලු තවත් සහෝදර නිළියක්.
අනේ නංගි උඹත් ආවද?

ඇයි අයියෙ එන්න එපාද? ආපහු යන්නද? ඒ දඟකාර නිළිය ඇහුවලු.
අනේ නංගි වඳින්නම්. මම ආවෙ මගේ නෝනත් එක්ක. එයා ඇතුළේ. උඹ ඉතින් එයාට පේන්න මාව බදාගෙන ඉඹලා එහෙම අපිට පවුල් ප්‍රශ්න ඇතිකරන්න එපා බං. ප්ලීස්...
පිස්සුද අයියේ..?

ඔන්න දැන් චිත්‍රපටය පෙන්නන්න ළංවුණ නිසා කට්ටියම ඇතුළට ගිහින් වාඩි වුණාලු. අර දඟකාර නිළිය හිටියෙ මේ නළුවට ඉස්සරහා පේළියේලු. එයා බීම බෝතලයක් බිබී හිටියේ. එක පාරටම නළුවා දිහාට හැරිලා ඇහුවලු අයියෙ ඔයා අරන් දීපු ඩ්‍රින්ක් එකනම් මරු ආ! වයිෆ්ට අරන් දුන්නේ නැද්ද? කියලා....

 

ඉස්සෙල්ලා මැරෙන්න කියන්නකෝ

එයා නවක නිළියක්. මේ රඟපාන්නේ එයාගේ තුන්වැනි ටෙලි නාට්‍යයේ. මේකෙ රඟපාන්නේ ගැමි තරුණියකගේ චරිතයක්. තාත්තාට ඉන්නේ ප්‍රවීණ නළුවෙක්.
දැන් රූපගත කරන්න යන දර්ශනයේ එයාගෙ තාත්තා මැරිලා ඉන්නවා. මෙයාට තියෙන්නේ අඬන්න.

හරි දැන් රිහසල් එකක් බලමු. තාත්තා මැරිලා ඉන්නවා දැකලා දුව මහ හයියෙන් අඬන්න ඕනේ. අධ්‍යක්ෂකවරයා කියනවා.
කෝ ඔයා අඬන්න නංගි.. අධ්‍යක්ෂකවරයා කියනවා.

හරි හරි මෙයාට ඉස්සෙල්ලා මැරෙන්න කියන්නකො. මම අඬලා පෙන්නන්නම්.
ප්‍රවීණ නළුවා දැන් මැරිලා වගේ ඉන්නවා. 

බෑ.. බෑ.. ඔට්ටු නෑ. මෙයා හුස්ම ගන්නවා. අනේ මැරෙන්නකො අයියේ.. එතකොට තමයි මට ඇත්තටම ඇඬෙන්නේ.
ඇඬිල්ල කෙසේ වෙතත් කට්ටිය හොඳට හිනා වුණාලු. 

 

එදා එහෙමයි - මෙදා මෙහෙමයි

අද කලා ලෝකයේ විතරක් නෙවෙයි ඕනෙම ක්ෂේත්‍රයක පොදුවේ තිබෙන ප්‍රශ්නය තමයි අදාළ ක්ෂේත්‍රයේ ප්‍රවීණ අයට නවකයෝ ගරු නොකිරීම.
ඒ වගේම නවකයන්ගෙන් ගරු බුහුමන් ලබන්නට නම් ප්‍රවීණයෝ ද සුදුසු ලෙස ක්‍රියා කළ යුතු බව කවුරුත් පිළිගන්නවා.

පසුගිය දවසක යෙදී තිබුණු ක්ලැරන්ස් විජේවර්ධන ගායන හා සංගීතවේදියාගේ අනුස්මරණ උත්සවය අළලා කොළඹ සංගීත ප්‍රසංගයක් පැවැත්වුණා.
එය නැරඹීම සඳහා සංගීත ක්ෂේත්‍රයේ ප්‍රවීණ අධ්‍යක්ෂකවරයකු වූ නැසී ගිය එම්. කේ. රොක්සාමි මහතාගේ බිරිඳත් පැමිණ සිටියා.
ක්ලැරන්ස්ගේ මතකය අවදි කරමින් ඇය කඳුළු පිරි දෙනෙතින් මෙලෙස කියා සිටියා.

රොක්සාමිට ඒ කාලෙ හැමදාම හැමතැනම වැඩ. ක්ලැරන්ස්ගේ හැම වැඩකටම අනිවාර්යයෙන්ම රොක්සාමිව වයලීන් වාදනයට යොදා ගන්නවා. දවසක් පටිගතකිරීමක් යෙදී තිබුණු දවසක රොක්සාමි අතක් උළුක්කු වී තිබුණු නිසා යන්න බැරි වුණා. මට අද වගේ මතකයි ක්ලැරන්ස් කතා කරලා කිව්වා රොක් අයියා ඔයා වයලීන් ගහන්න ඕන නැහැ. එතන නිකං ඇවිත් වාඩිවෙලා ඉන්න. ඒක මට ලොකු ශක්තියක් වෙයි කියලා. රොක්සාමි වගේම ක්ලැරන්ස්ටත් හොඳ හදවතක් තිබුණා. ඒ කාලේ ප්‍රවීණයන්ට කලා ලෝකෙ තිබුණේ ඒ වගේ සැලකිල්ලක්.
 

► Text - Mithra