2018 අගෝස්තු 04 වන සෙනසුරාදා

දැඟලිල්ල වැඩියි කියලා මම එයාට බැණලත් තියෙනවා.......

 2018 අගෝස්තු 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 203

නිමන්ති... ඔයාට මුලින්ම මාලිව මුණගැහුණු කාලය මතකද...?
ඔව්... එතකොට මම මේ ක්ෂේත්‍රයට ආපුම අලුතයි. මාලි අක්කයි මටයි වේදිකා නාට්‍ය කිහිපයකටම සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. හැබැයි මාලි අක්කටයි මටයි ගොඩාක්ම කිට්ටුවෙන්න අවස්ථාව ලැබුණේ ශිවගුරුනාදන් මහතා අධ්‍යක්ෂණය කළ තමර අරණ කියන ටෙලිනාට්‍යයෙන්. ඒකෙ මගේ අම්මට තමයි මාලි අක්කා රඟපෑවේ. ඉතින් ඒ නාට්‍යයෙන් ඇතිවුණු ඒ බැඳීම සෑහෙන කාලයක් යනකම්ම මාලි අක්කගෙයි මගෙයි අතරේ තිබුණා. ඒ වෙනකොට ඒ නාට්‍යයේ මම මේ ක්ෂේත්‍රයට අලුත්ම අලුත්. ඒක තමයි ප්‍රධාන චරිතයකට මම මුලින්ම කරපු ටෙලිනාට්‍ය වුණෙත්.

මාලි මොනවගේ කෙනෙක්ද...?
ඇත්තටම මාලි අක්කා මාව අම්මා කෙනෙක් බලාගන්න විදිහටම හරිම පරිස්සමෙන් බලාගත්තා. මාලි අක්කටත් ඒ කාලේ ලොකු වයසක් නැහැ. මාත් ඒ දවස්වල ගොඩාක් පොඩියි. ඒ කාලේ දැන් වගේ මෙගා නාට්‍ය තිබුණේ නැහැනෙ. අපි ඒ ටෙලිනාට්‍ය රූගත කරද්දී කළුතර තමයි නැවතිලා හිටියේ. ඉතින් අපි දෙන්නා එකම කාමරේ තමයි හිටියේ. මගේ අම්මා මාව බලාගන්නව වගේම ඒ කාලෙදීත් මාලි අක්කා මාව බලාගත්තා. මාලි අක්කා කියන්නෙ හරිම වෙනස් අමුතුම චරිතයක්. මේ ක්ෂේත්‍රයේ ගොඩාක් අයව මම ආශ්‍රය කරලා තියෙනවා. ඒ අතරින් කිසිම කෙනෙකුට ඉරිසියාවක්, කුහකකමක් නැති චරිතයක් තමයි මාලි අක්කා කියන්නෙ. කවදාවත් කාටවත් විරුද්ධව වචනයක්වත් කියන්නෙ නැහැ. එයා තමුන්ගෙ පාඩුවේ ඉන්න කෙනෙක්. ගෙදර ඉඳන් රූගත කිරීම් කරන තැනට එනවානම් ගෙදරින් මොනවහරි කන්න හදාගෙන ඇවිත් එයා අපි හැමෝටම දෙනවා. ඇඳුමක් කාටහරි නැත්නම් තමුන් ළඟ තියෙන ඇඳුමක් හරි දෙනවා. සමහරදාට අනේ එවෙලේම මහලා හරි දීපු වෙලාවල් තියෙනවා. ඇත්තටම මාලි අක්කා කියන්නෙ මාරම මාර චරිතයක්. ඇත්තටම එවැනි අය මේ ක්ෂේත්‍රය ඇතුළෙ ඉන්නවා හරිම හරි අඩුයි. ඒ අතරින් මාලි අක්කා හරිම සුවිශේෂී චරිතයක්.

ඇය විනෝදකාමීද...?
ආයේ ඒ ගැන කියලා වැඩක් නැහැ. එයා ඉන්න තැන පාළු නැහැ. එයා විහිළු කරන්නෙ හිතාමතාමනම් නෙමේ. ඇඟට පතට නොදැනී තමයි එයා විහිළු කරන්නෙ. එයා හරිම විනෝදකාමියි. ඒ වගේම එයාගේ ජීවිතේ එයා ගත කරන්නෙ හරිම සැහැල්ලුවෙන්. ඒ වගේම තමයි මාලි අක්කා අනිත් අයට උදව් කරන්න වුණත් හරිම ආසයි.

මාලි ගැන ඔබට රංගන ශිල්පිනියක් විදිහට මොකද හිතෙන්නෙ...?
මාලි අක්කා සෑහෙන කාලයක ඉඳන් මේ ක්ෂේත්‍රයේ ඉන්න කෙනෙක්. මට හිතෙන්නෙ ඒ ක්ෂේත්‍රයේ හිටපු කාලයත් එක්ක, ඒ දක්ෂතාවයත් එක්ක, ඒ දක්ෂතා පෙන්වන්න තරම් අවස්ථාවක් එයාට ලැබුණේ නැති තරම්. මාලි අක්කා හැමදාමත් වැඩ කරන කණ්ඩායමත් එක්ක බොහොම සහයෝගයෙන් තමයි වැඩ කරන්නෙ. අපේ පළවෙනි නිෂ්පාදනයේදී මාලි අක්කා අපිත් එක්ක වැඩ කළා. නමුත් පහුගිය කාලයෙදී කරපු නිර්මාණවලදී මාලි අක්කව සම්බන්ධ කරගන්න අපිට බැරිවුණා. කොච්චර හොඳ බැඳීම් ජීවිත ඇතුළෙ තිබුණත් කවදාවත් මාලි අක්කා කිසිම නිර්මාණයකට එකතු කරගන්න කියලා කාටවත් කියලා නැහැ. හැබැයි මාලි අක්කා තුළ තියෙන හැකියාවත් කැපවීමත් එක්ක තවමත් මාලි අක්කට ලැබුණු අවස්ථා මදි කියලයි මටනම් හිතෙන්නෙ. ඇත්තටම මාලි අක්කා කියන්නෙ දක්ෂ රංගන ශිල්පිනියක්.

නිමන්ති හිතන විදිහට ඇය වැඩිපුර දක්ෂ වේදිකා නාට්‍යය තුළද...? පුංචි තිරය තුළද..?
මාලි අක්කට තියෙන්නෙ බොහොම තාත්වික රංගනයක්. ඒවා මවාපාගෙන කරන රංගනයක් නම් නෙමේ. එයාව ආශ්‍රය කරද්දී තමයි මාලි අක්කා කියන චරිතය අපිට මුණගැහෙන්නෙ. ඇත්තටම එයා හරිම සැහැල්ලු චරිතයක්. මාලි අක්කා වේදිකාවෙයි පුංචි තිරයෙයි එක වගේ දක්ෂතා දැක්වුවා. මාලි අක්කා මාත් එක්ක එකට වේදිකාවෙත් හිටියා. මාත් එක්ක ටෙලිනාට්‍ය කිහිපයකත් හිටියා. ඒ දෙකේදීම එයාගෙ හරි අපූරු රංගනයක් මම දැක්කා.

මාලිට කේන්ති යනවද...?
මම කවදාවත් මාලි අක්කට කේන්ති යනවානම් දැකලා නැහැ. ඇත්තටම එයා ඒ තරමටම ඉවසන, සැහැල්ලු චරිතයක්.

ඇයත් සමඟ රඟපාද්දී ලැබෙන සහයෝගය කොහොමද...?
මම ප්‍රධාන චරිතයක් රඟපාපු ටෙලිනාට්‍ය වුණේ තමර අරණ ටෙලිනාට්‍යය. මගේ අම්මටනෙ මාලි අක්කා රඟපෑවේ. ඒකෙදී ආධුනික කෙනෙක් විදිහට මට ලැබුණෙත් ටිකක් අමාරු චරිතයක්. මාලි අක්කා එක්ක පෞද්ගලිකව ඇතිකරගත්තු සම්බන්ධතාවය නිසාම රූපවාහිනියේ කැමරාව ඉස්සරහ රඟපාන්න මට ලේසිවුණා. මාලි අක්කා මට අවවාද කළා, මාව බලාගත්තා. කෑම කන්න ගියත් මාව අතින් අල්ලගෙන නංගි කෙනෙක්ව බලාගන්නව වගේ කෑම බෙදලා දීලා කන්න දුන්නෙ මාලි අක්කා. ඇත්තටම රඟපෑමේදී මාලි අක්කා උපරිම සහයෝගය ලබාදුන්නා.

මාලිගෙයි නිමන්තිගෙයි පවුල් දෙක අතර තියෙන බැඳීමත් හරි අපූරුයි නේද...?
ඔව්.. ඔව්... ඒ කාලේ අපේ ගේ තිබුණේ ගම්පහ. මාලි අක්කලා හිටියේ කිරිබත්ගොඩ. ඉතින් සමහර ෂූටිංවලට, වේදිකා නාට්‍ය පුහුණුවීම්වලට යද්දී වුණත් මම රෑ නවතින්නෙ මාලි අක්කගේ ගෙදරයි. අපේ අම්මා, තාත්තා, අයියා හැමෝම මාලි අක්කව දන්නවා. මාලි අක්කගේ ගෙදර හැමෝමත් මාව දන්නවා. මාලි අක්කයි මායි වේදිකා නාට්‍ය දෙක තුනකම හිටියා. ඉතින් ඒ පුහුණුවීම්වලට පවා මම ගියේ මාලි අක්කගේ ගෙදර ඉඳන්මයි. අපේ ගෙවල් දෙක අතරේ වුණත් ලොකු සම්බන්ධකමක් තිබුණා.

මාලිට රසට කෑම හදන්න පුළුවන් කියලයි ආරංචිය...?
අම්මෝ... මාර රසට කෑම මාලි අක්කා හදනවා. එයා හදන හැම කෑමක්ම හරිම රසයි. කෑම කද්දී මම ටිකක් තෝරලා බේරලා තමයි කන්නෙ. ඒක මාලි අක්කා දන්නවා. මාලි අක්කා හදන කරවිල ව්‍යංජනය මාරම මාර රසයි.

ඇය වගේ කෙනෙක් ජීවිතයට සමීපවීම ගැන මොකද හිතන්නෙ...?
ඇත්තම කිව්වොත් මාලි අක්කයි මායි මෑතකදීනම් මුණගැහුණේ නැහැ. හැබැයි ඒ කාලේ අපේ තිබුණු බැඳීම තවමත් අපේ හිත්වල ඒ විදිහටම තියෙනවා. ඒ වගේ බැඳීමක් හැමෝම එක්ක තියාගන්න බැහැ. අද මේ ක්ෂේත්‍රයේ බොහෝ අය ඇසුරු කළත් ඒවාට බැඳීම් කියලා කියන්නනම් බැහැ. ඇත්තටම එවැනි බැඳීම් තියෙන්නෙ හරිම ටිකයි. ඒ අතරෙත් මාලි අක්කත් මගේ ජීවිතයට ගොඩාක් සමීපයි. අද කලාව යන විදිහත් එක්ක එවැනි බැඳීම් ඇතිවෙන එකත් අහම්බයක්. හදවතින්ම ඇතිවන බැඳීම් හරිම අඩුයි.

ඔන්න ඉතින් දැන් කියවලා බලමුද මාලි ජයවීර එයාගේ ජීවිතයට සමීපතම වූ කලාකාරියක් වන නිමන්ති පෝරගේ ගැන කිව්වේ මොනවද කියලා.

මාලි... අපිට කියන්නකො.. නිමන්ති කොයි විදිහේ කෙනෙක්ද...?
නිමන්ති බොහොම පොඩි වයසේදී තමයි මටයි නිමන්තිටයි එකට රඟපාන්න අවස්ථාව ලැබුණේ. අපි මුලින්ම මුණගැහෙන්නෙ වේදිකා නාට්‍ය තුළිනුයි. ඒ කාලෙදී මේ අද කාලය වගේ නෙමෙයි, නළු නිළියන්ගේ තිබුණු බැඳීම කොච්චරද කියලා කියනවානම් නළු නිළියෝ විතරක් නෙමේ... ඒ අයගේ පවුලේ අය අතරත් ඒ බැඳීම තිබුණා. ඉතින් නිමන්තිගේ පවුලේ අයත්, මගේ පවුලේ අයත්, අපි ඒ කාලේ හොඳට අඳුරනවා. ඒක තමයි මනුස්ස ගනුදෙනුවක තියෙන ඉතාම ඉහළ බැඳීම වෙන්නෙ. අද මේ ක්ෂේත්‍රයේ තියෙන බැඳීම් එහෙම නැහැ. අද ෂූටිං ගියාම තමන්ගෙ කොටස් කරලා ඉවරවුණාට පස්සෙ බායි කියලා අත වනලා යනවා. හැබැයි ඒ කාලේ තිබුණු බැඳීම් එහෙම නෑ... නිමන්ති එක්ක තිබුණු බැඳීමත් එහෙමම තමයි. නිමන්ති කියන්නෙ කවදාවත් මුල අමතක නැති හොඳ සහෝදරියක්. අද මේ ක්ෂේත්‍රයට නවකයන්ට වඩා ඒ කාලේ ආපු අය අතරේ ලොකු බැඳීම් තිබුණා. නිමන්ති ඒ කාලේ හරිම සැහැල්ලුවෙන් ජීවත්වෙච්ච කෙල්ලක්. නිමන්ති නංගි මට වඩා ගොඩාක් බාලයි. එයාට ඉස්සර කිසිමදෙයක බරක් පතලක් දැනුණේ නැහැ. ඔහේ ජීවිතේ ගෙව්වා. වෙලාවකට මම නිමන්තිට ඔහොම දඟලන්න එපා කියලා බැණලත් තියෙනවා. නමුත් අද මම හරිම සතුටු වෙනවා එයා අද විවාහයෙන් පස්සෙ හොඳ පවුල් ජීවිතයක් ගත කරනවා. ඒ වගේම නිමන්ති එයාගේ අම්මට තාත්තාට හරි ආදරෙයි.

නිමන්තිට කේන්ති යනවද...?
කේන්ති යනවාටත් වඩා එයාගේ තීරණය තීරණයම තමයි. ඒක වෙනස් වෙන්නෙ නැහැ. එයා රණ්ඩුවෙන චරිතයක් නම් නෙමෙයි. හැබැයි මොන තීරණයක් ගත්තත් එයා එයාගේ තීරණය වෙනස් කරන්නෙ නැහැ. එයා හරිම ආදරණීය චරිතයක්.

ඇයගේ රංගනය ගැන ඔබ මොකද හිතන්නෙ...?
එයාට හොඳට රඟපාන්න පුළුවන්. එයා මුලින්ම රඟපාන්න පුළුවන් කියලා පෙන්නුවෙත් වෙළෙඳ දැන්වීම්වලින්මයි. එතකොට නිමන්ති මේ ක්ෂේත්‍රයට යොමුවෙලාවත් නැහැ. අපේ තාත්තට ඉස්සර ලොකු බඩක් තිබුණා කියලා පෙන්නපු වෙළෙඳ දැන්වීමෙනුයි, තව කොයිල් වෙළෙඳ දැන්වීමකිනුයි නිමන්ති ඒ කාලේ ගොඩාක් ජනප්‍රිය වුණා. අදටත් ඒ වෙළෙඳ දැන්වීම් අපිට හොඳට මතකයි. ඒ වගේම එයා වේදිකාවෙත් පුංචි තිරයෙත් හරි අපූරුවට තම දක්ෂතාවයන් පෙන්නුවා. ඇය තමන්ට ලැබුණු හැම චරිතයකටම වගේ සාධාරණයක් ඉෂ්ඨ කළා. මාත් එක්ක රඟපාද්දී මගේ රංගනයත් සාර්ථක කරගන්න නිමන්තිගෙන් ලොකු සහයෝගයක් ලැබුණා.

නිමන්ති අද ගෙවන ජීවිතේ ගැන මොකද හිතෙන්නෙ...?
සහෝදරියක් තමන්ගෙම සහෝදරියකගේ සතුට දිහා බලලා සතුටුවෙන හැඟීමක් අද මට තියෙන්නෙ. නිමන්ති විවාහ වුණේ අපි හොඳට දන්න මල්ලි කෙනෙක් එක්ක. ප්‍රභාත් වුණත් හරිම හොඳ සහෝදරයෙක්. හැබැයි ඉස්සර නිමන්ති තනිකඩ ජීවිතේ ගතකරද්දී ඒ ගතකරපු සැහැල්ලු ජීවිතයත් එක්ක ඔහොම වගකීම් දරන ජීවිතයක් ගත කරාවියි කියලනම් හිතුවේ නැහැ. ඒ තරමටම නිමන්ති හිටියේ හරිම සැහැල්ලුවෙන්. හැබැයි අද නිමන්ති සැමියා එක්ක, දරුවන් දෙන්නා එක්ක ගතකරන මේ ජීවිතේ ගැන මම ගොඩක් සතුටු වෙනවා. 

ඇය වගේ යාළුවෙක් මේ කලා ක්ෂේත්‍රයේදී මුණගැහුණු එක ගැන මොකද හිතෙන්නෙ...?
මගේ ජීවිතේට බැඳීම් තියෙන අය කිහිපදෙනෙක් ඉන්නවා. ඒ අය අතරින් නිම්මිත් සුවිශේෂීයි. මම නිම්මිට මට දෙන්න පුළුවන් ආරක්ෂාව, රැකවරණය, ආදරය අවශ්‍ය තැනදී ලබලා දුන්නා. ඇත්තටම නිම්මි කියන්නෙ මට හොඳ මිතුරියක්.

 

► Text - Dishani