2018 ජුලි 21 වන සෙනසුරාදා

කසාදය කැඩුණු එකෙන් හො‘ඳක් මිස නරකක් වුණේ නැහැ

 2018 ජුලි 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 307

සංගීත් මේ දවස්වල රජවෙලා කියලයි ආරංචිය...?
රජවෙලා...? මම...? ආ... ඔය කියන්නේ මේ දවස්වල විකාශනය වෙන ටිකිරි රත්නායකයන්ගේ දෝන කතිරිනා ටෙලිනාට්‍යය නිසානේ... මේ ටෙලිනාට්‍යයට මට මුලින්ම ආරාධනා ලැබෙද්දී ඇත්තටම මට ගොඩාක් සතුටු වුණා... ඒ වෙනකොට මම එවැනි චරිතයක් කරලා තිබුණේ නැහැ. ඉතින් මේ නාට්‍යයේ ප්‍රධාන චරිතයක් රඟපාන්න අවස්ථාව ලැබීමත් මගේ වාසනාවක් විදිහටයි මම හිතන්නේ. මගේ රංගන ජීවිතේ මුලින්ම කළ ඓතිහාසික කතා පුවත තමයි මේ. ඒකේ අපි කතා කරන විදිහ වෙනස්. අඳින ඇඳුම්, හැසිරෙන්න ඕනේ විදිහ වෙනස්. ඉතින් ඒ වෙනම හැඩයකට නිර්මාණය වුණු නාට්‍යය මම සතුටින් බාරගෙන මේ වෙනකොට රූගත කිරීම් කරගෙන යනවා.

පසුගිය කාලේදී සංගීත් කරපු ගීතයක් නිසා ආයෙමත් සංගීත් ගැන කට්ටිය කතා කරන්න පටන් ගත්තා නේද...?
ඔව්... ඒ හිත මගෙයි කියන ගීතය. ඒක මගේ මුල්ම ගීතයයි. ඒ කරපු විෂුවල් එක නිසා තමයි සමහරු ආයෙත් කතා කරන්න පටන් ගත්තේ. ඒ ගීතයේ විෂුවල් එකට හිටියේ විදුෂි. ඇත්තටම ඒ විෂුවල් එකට විදුෂිව තෝරාගත්තේ නම් මම නොවේ. ඇයව තෝරාගත්තේ නම් වාසලයි. 

රඟපෑමට අමතරව සංගීත් මේ දවස්වල එක එක අභියෝග බාරගන්නත් ලොකු කැමැත්තෙන් ඉන්නවා කියලයි ආරංචියි...?
ඔව්... දෙරණ නාළිකාවෙන් අලුතින් පටන් ගත්තු “තාත්වික කියන වැඩසටහනටත් මම සහභාගි වුණා. ඒක ඇත්තටම අභියෝගයක්. ඒ වුණාට හරිම කැමැත්තෙන් ඒ අභියෝගවලට මුහුණ දෙනවා. ඊට අමතරව මම තවත් නාට්‍ය දෙකකට සම්බන්ධ වුණා. ඒවායේ ඉදිරියේදී විකාශනය වේවි.

අද ගෙවන පෞද්ගලික ජීවිතේ ගැන සංගීත්ට මොකද හිතෙන්නේ...?
මේ දවස්වල ගෙවන ජීවිතේ ඉතාම සතුටුදායකයි. ඉතාමත් සතුටින් දැන් මම කාලය ගෙවනවා.

පසුගිය කාලයේදී සංගීත් සහ උදාරි අතර තිබුණු බැඳීම් නැති වුණානේ... ජීවිතේට බලාපොරොත්තු නොවුණු සිදුවීමක් වෙද්දී සංගීත් කොහොමද ඒවාට මුහුණ දුන්නේ...?
පසුගිය කාලයේදී සිදුවුණු ඒ කිසිම දෙයක් මගේ ජීවිතේ කඩාවැටෙන්න හේතුවක්වත් මට පසුතැවෙන්න හේතුවක්වත් දුක් වුණු හේතුවක්වත් වුණේ නැහැ. ඒ වෙච්චි හැමදේම මගේ ජීවිතේ ඉතා හොඳ කාලයක් කරා ගෙනියන්න උදව් කළා. ඇත්තටම ස්වභාව දහමට අනුව ඒක එහෙම වෙන්න තිබිච්චි දෙයක්. එහෙම වුණේ නැත්නම් මේ ජීවිතේ වෙනස් වෙන්නේ නැහැ. ජීවිතවලට ලැබෙන්න තිබුණු නියම සාධාරණීකරනය වෙච්චි තීරණය තමයි ලැබුණේ. ඉතින් ඒකෙන් මගේ ජීවිතයට හොඳක් මිස නරකක් වුණේ නැහැ.

කාලයක් සංගීත් ලංකාවේ හිටියේ නැහැනේ. විදේශගතවෙලා මොකද කළේ? අධ්‍යාපනය ලැබුවාද...?
නැහැ. මම අමෙරිකාවට ගිහින් අධ්‍යාපනය ලැබුවේ නම් නැහැ. මගේ පෞද්ගලික කටයුතුවල තමයි නියැලුනේ. ඔය අතරේදී රැකියාවල් කිහිපයක්ම කළා. ලංකාවෙන් අමෙරිකාව වැනි රටකට කුමක් හෝ වෘත්තීය සුදුසුකම් ඇතිව යනවානම් ඒ රටේ මුල ඉඳන්ම ගෙවන ජීවිතේ සුන්දර වෙන්න පුළුවන්. අමෙරිකාව කියන්නේ ලෝකේ තියන හොඳම රට. ඒවගේම සුන්දර රටක්. නමුත් අපේ යම් යම් වෙන කාරණා නිසා අපි ඒ රටට ගිහින් යැපෙන්න රස්සාවක් කරනවා කියන්නේ ඒක හරි සන්තෝෂයෙන් ඉන්න පුළුවන් කාරණාවක් නොවේ. ඒක ඇත්තටම හරිම කටුක ජීවිතයක්. ඒ කටුක ජීවිතේට මම මුහුණ දුන්නා. ඒවා කාගෙන ඉන්න පුළුවන් හයියක් මට තිබුණා. ඉතින් ඒ රටවල්වලට යන ඕනෑම කෙනෙක්ට ඒවාට මුහුණ දෙන්න සිද්ධ වෙනවා.

අකමැත්තක් නැත්නම් සංගීත් ඒ රටේ කරපු රස්සාවල් මොනවද කියලා කියනවාද...?
බාර් එකක සේවකයෙක් විදිහට වැඩ කළා. රෙස්ටූරන්ට් එහෙක වැඩ කළා. ඔය හැම තැනකදීම ජීවිතේ හරිම කටුකයි. ඒක ඕනෑම කෙනෙක්ට කරන්න වෙන දෙයක්. ඒවා හරියට දන්නේ එවැනි රටවල්වලට ගිහින් රුකියා කරන අයට පමණයි. කටුක ජීවිතයක් මම ගෙව්වා කියලා කියන්න අද ලජ්ජා වෙන්නෙ නැහැ. 

සංගීත් විදේශගතවෙන්න පළමුව සතරසිංහ පවුලත් එක්ක එකතුවෙලා නිර්මාණ කළා. හිතුණේ නැද්ද විදෙස්ගත නොවී තාත්තා එක්ක කලා කටයුතුවලට සම්බන්ධ වුණානම් හොඳයි කියලා...?
ඇත්තටම එහෙම හිතුණේ නැහැ කියලා කියනවානම් ඒක බොරුවක්. නමුත් අපේ ජීවිතේ යම් පෞද්ගලික කැමැත්තක් තියෙනවානේ. ඒ කාරණා කටයුතු නිසා මට රට යන්න සිදුවුණා. කොහොම හරි ලංකාවට ආවට පස්සේ ආයෙමත් කලා නිර්මාණ තාත්තා එක්ක කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. හැබැයි තාත්තා කොමඩි නිර්මාණ කරන කෙනෙක්නේ. මටත් එක කාලයකදී එයා වෙනුවෙන් ප්‍රහසන රංගනයේ යෙදෙන්න සිදුවුණා. මම තාත්තා වෙනුවන් නිර්මාණ පවා රචනා කළා. ඒ ලියපු ඒවාවලත් මම රඟපෑවා. හැබැයි මගේ ආසාව වෙන්නේ ඒක නෙමේ. මම චරිතාංග නළුවෙක්. මම තාත්තාගෙන් උදව් අරගෙන මේ ක්ෂේත්‍රයට ආවේ නැහැ. තාත්තාගේ කලා හැකියා මගේ ජානවල තියෙන්න පුළුවන්. නමුත් තාත්තා නිසා මට නිර්මාණවලට ආරාධනා ලැබුණේ නැහැ. මම මුලින්ම නිවේදකයෙක් වෙලා, එතනින් නිරූපණයට සම්බන්ධවෙලා. ඒ තරගවලින් දිනලා තමයි ටෙලිනාට්‍ය කලාවට එකතුවුණේ ඒ නිසා මම ආයෙත් කොමඩි චරිත නම් නොකරාවි. ඒත්... තාත්තාට අවශ්‍ය හැම තැනකදීම මම ඉන්නවා.

සංගීත් අද මොකද හිතෙන්නේ... හිතට ළංවුණු කෙනෙක් දැන් ඉන්නවාද...?
නැහැ. දැන්නම් එහෙම කෙනෙක්ට මේ හදවතේ ඉඩක් නැහැ. මගේ ජීවිතේ දැන් වෙන අරමුණු තියෙනවා. ඒවාට සෑහෙන කාල සීමාවක් ගතවේවි. දැන් ආදරය කරපු දේ තමයි මගේ මේ රංගනය. ඉතින් ඒක තුළ මට යන්න ඕන ගමනක් තියෙනවා. ඒ ගමන යාමට තාමත් මම ඉගෙන ගන්නවා. ඒ හැරුණාම මගේ ඊළඟ බලාපොරොත්තුව වෙන්නේ ආදරණීය මව්පියන් දෙන්නා බලාගැනීම පමණයි.

 

► Text – Dishani  /   Pic - Sumudu