2018 ජුලි 14 වන සෙනසුරාදා

ඒ එක මොහොතක්වත් ආයෙත් එන්නෙ නෑ.......

 2018 ජුලි 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 1414

Art එකේ කැරට්ටුව..

- Thumidu

තවත් එක දවසක අන්තිම පැය කිහිපය...
හැමදාම මුණගැහුණත් කවදාවත් එක් නොවෙන සොබාදහමේ අපූරු දසුන මගේ ඉස්සරහා.. මම එහෙම කිව්වේ ක්ෂිතිජය ගැන. ගල්කිස්ස වෙරළේ පුංචි පැටවු දෙතුන් දෙනෙක් මහ මුහුදේ රැළි අල්ලන්න මුහුදත් එකක් ඔට්ටු වෙනවා... අහුවෙච්ච විදියට ජීවිතය ගෙවලා දාන යාචක යුවළක් දුම් දාන කඩල ගොට්ටක් කන ගමන් හිනාවෙවී මොකක්දෝ ලොකු කතාවක. සමහරු ප්‍රශ්න ජීවිතයම කරගෙන විඳවද්දි, ජීවිතයම ප්‍රශ්නයක් වෙච්ච මිනිස්සු අඩුම තරමින් හිනාවෙන්න හරි උත්සාහ කරනවා... 
හරි මම කිව්වනේ ගල්කිස්ස බීච් එකේ ඉන්නේ කියලා... 

හම්බවෙන්න ආපු ගේම්කාරයා තාමත් නෑ වගේ.... ආ හරි මේ ඉන්නේ... 
මම කලින් ආවට.. ඔහු කියපු වෙලාවටම ඇවිත්... 
ආයුබෝවන්... ඉතින්... 

ඔහුගේ ළෙන්ගතු හිනාව ඉහටත් උඩින්..  
හැබැයි බොහොම අමාරුවෙන් තමා වැඩේට අල්ලගත්තේ.. 
ඔහු මේ දවස්වල ජනප්‍රිය වගේම.. පට්ටම ටැලන්ට් එකක් තියෙන සුපිරි පොරක්.. ඒ වගේම තමා ඒකාකාරී ටෙලිනාට්‍ය රැල්ල කුඩුපට්ටම් කරපු ඉලක්කය හොයාගෙන ඇදෙන ස්නයිපර් උණ්ඩයක් තමා. වේදිකාවයි ඔහුගේ ජීවිතයයි අතර හිඩැසක් නැති තරම්... එච්චරටම ඔහු වේදිකාවේ හතරකොණ අඳුනනවා.. දෙබස් කියනවා නිකම් පපුවට ගහනවා වගේ.. සමහර අය මොහු ගැන එහෙමත් කියනවා. ඒ තමා තුමිඳු දොඩන්තැන්න.. සුසන්ත සාගර චන්ද්‍රසිරි හෙවත් ජෙහාන් ප්‍රනාන්දු කිව්වත් ගොඩක් අය දන්නවා... ඇයි ඒ තරම් කූඹියෝ නැගලා ගියානේ...

අනම් මනම් වැල්වටාරම් බයිලා නැතුව ලේසි තැනකින් අපි පටන් ගන්න හිතුවා... ඒ  තුමිඳුගේ ජීවිතයෙන්ම... කියමුද එහෙනම් ඔබේ ජීවිතය ගැන... 
ජීවිතය පැත්තෙන් ගත්තොත් ජීවිතේ අලුත් වෙනසක් වුණා.. අපේ පවුලට පුංචි පැටියෙක් එකතු වෙලා තාම මාස කිහිපයයි.. තාත්තා කෙනෙක් වීමේ ඉතා මිහිරි, වෙනස් අත්දැකීම අත්විඳින ගමන්ම කැම්පස් එකේ වැඩ සහ කලා කටයුතුත් එකක් ජීවිතේ ඉස්සරහට යනවා... 

ජීවිතයම සාරංශගත කරලා.. කෙටියෙන් දුන්නා... උත්තරයක්.
නමෝ විත්තියෙන් දැන් වැඩේට අත දාමු...
තුමිදුගේ කලා නිර්මාණ අපි දන්නවා... ඔයා රඟපාපුවත් අපි ඕන තරම් දැකලා තියෙනවා...  ඒවා ගැන නෙමේ..  මගේ නොවන මගේම නිර්මාණයක් කියලා හිර කරලා පරිස්සමින් තියාගන්න තරම් හිතුණ නිර්මාණයක් ගැන කතාකරමුද... මගේ වචනයෙන් කියනවනම් බොක්කට වැදුණ නිර්මාණයක්!

මෙච්චර වෙලා මුහුදේ ගිලුණු ඔහුගේ ඇස්... මොහොතට හැරුණා මගෙ පැත්තට.. 
එවැනි නිර්මාණ නම් මට ගොඩක් තියෙනවා.. ඒත් කතා කරන්න පුළුවන් එකක් ගැන නේද? මෑත කාලේ... දැනට අවුරුදු තුන හතරක් තිස්සේ ඉඳන් නැවත නැවත මම කියවන පොතක් තමා ආරියවංශ රණවීරගේ දෝතක් කවි කියන පොත.. ළඟ තියාගෙන විටින් විටි හිතුණාම පිටුවක් දෙකක් පෙරළලා ආයි ආයිත් කියවන කවි පොතක්. අලුත් විදියට හිතන්නත් වෙනස් විදියට දේවල් දිහා බලන්නත්, කල්පනා කරන්නත්, රසවිඳින්නත් හුරුකරපු පොතක් තමා දෝතක් කවි කියලා කියන්නේ...

බලන බලන හැම තැනම පොත් කඩවල්.. ඒවායේ රාක්ක පුරෝලා ඕනතරම් කවි පොත්... ෆේස් බුක් එකෙත් ඕනතරම් කවි තියෙනවා... ඇයි මේ ආරියවංශගේ දෝතක් කවි පොතටම මෙච්චරම ළෙන්ගතුකමක්...?
කවිය කියන්නෙ.. නිකම්ම නිකන් වචන ටිකක් නෙමේ... කවිය කියන්නේ හරිම දාර්ශනික සිතුවිලි සම්භාරයක්... මම මෑතකාලීනව ලක්ෂාන්ත අතුකෝරාල, මහින්ද ප්‍රසාද් මස්ඉඹුල වැනි කවියන්ගෙ කවි පොත් බොහොම ආසාවෙන් කියවනවා.. ඒ අතරේ තමයි මේ ආරිවංශ රණවීර කියන කවියාට මට විශේෂ කැමැත්තක් ඇති වුණේ.. ඒ ඔහු ඉතාම දාර්ශනික අදහස් කවිය ඇතුළට ගේන නිසා.. උදාහරණයක් විදියට ගත්තොත් එක කවියක්.. 
ඇයි කුරුල්ලෝ උඹ කෙටි ගීතම ගයන්නේ... 
මගේ ජීවය කෙටි නිසා 

මට කියන්නට බොහෝ දේ ඇති නිසා..
කියලා කුරුල්ලා කියනවා...  ඔය වගේ විශේෂ කවි ගොඩක් ඒ පොතේ තියෙනවා..
නැවත නැවතත්, ජීවිතය විඳින්න, අලුත් අදහස්වලින් අපිව පෝෂණය කරන්නට ආරියවංශ රණවීරගේ කවියට පුළුවන් වෙලා තියෙනවා. ඒනිසා තමා.. මම තාම මේ කවිපොතට ඇබ්බැහි වෙලා ඉන්නෙ...

ඇයි කුරුල්ලෝ.. කියන කවියද ඔබ මේ පොතේ කැමතිම කවිය...? 
මගේ හිතට එකපාරට ආපු ප්‍රශ්නය එවලේම කතාව මැද්දෙන් තුමිදුට තල්ලු කලා... 
ඒකත් කැමතිම කවියක් තමා.. දෝතක් කවිපොතේ ගොඩක් කවිවලට මම කැමතියි. මම ඉතා ආශා කරන මට කටපාඩම්ම අපූරු කවියක් තියෙනවා.. එකේ නම තමා ලෝකාන්තයෙන් බිමට පැන පහළට ඊයක් සේ වැටෙන තරුණායාගේ සිතුවිල්ල..
ඒක ටිකක් දිග මාතෘකාවක්...  හැබැයි කවිය ඉතා පොඩි කවියක්... 
මේ වා කැරුලි 

මේ තුරු වදුළු
මේ දිය පඳුරු 
කොහේ තිබුණිද ඇත්තට මෙතෙක් කල්
මනුස්සයෙක් තමන්ගේ අවට ලෝකය දකින්න විඳින්න බැරි හිස් මනසකින් ලෝකාන්තයෙන් පහළට පනිනවා.. ඒ මරණය ඉල්ලගෙන. මිනිස් ජීවිතය ගතවෙන විදිය ගැන, අප අවට ලෝකය අපට මඟඇරිලා යන විදිහ ගැන, ඒ කවිය නැවත නැවතත් අපට ගොඩක් දේවල් සිහිපත් කරවනවා. මෑතකාලයේ මට සමීප වෙච්ච කලා ලොවේ මිත්‍රයෙක් දසුන්. ඔහු අකාලයේ මියගියා.. මේ මරණය මොහොතෙදිත් මට මතක් වුණේ ආරියවංශ රණවීරගේ මේ කවිය.. දසුන්ට යාළුවෝ ගොඩක් හිටියා.. ඒ එක්කෙනෙක්ටවත් ජීවිතේ අවසාන මොහොත ගත වෙලා යන වෙලාවේ ඔහු කතා කළේ නෑ... ජීවිතයේ විඳින්න තියෙන ගොඩක් දේවල් දසුන්ට අහිමි වුණා කියලා මට හිතෙනවා. මගේ මිත්‍රයා මේ කවි පොත හෝ මේ කවියවත් කියවලා තිබුණානම් ඔහුගේ තීරණය වෙනස් වෙන්නත් ඉඩ තිබුණා කියලත් මට හිතුණා.

තුමිඳුගේ මේ දීර්ඝ කතාවට පුංචි සද්දෙකින්වත් බාධා කරන්න මට හිතුණේ නෑ... 
රණවීරගේ කවි මට හරී සමීප ජීවිතේ එක දේකට නෙමේ.. මට අදාළ දේවල්වලට විතරකුත් නෙමේ.. වෙනත් අය අත්විඳින, මම අත්දකින මට පේන ගොඩක් දේවල් රණවීරගේ කවි ඇතුළේ ගැබ්වෙලා තියෙනවා..

ආරියවංශ රණවීරගේ කවි ඔබේ ඇසගැටුණේ මොන විදියටද...?
මට මතක හැටියට ඉස්සෙල්ලාම මම කියෙව්වේ ඔහුගේ මඟ දෙපස මල් කියන පොත.. ඊට පස්සෙ මම ඔහුට ගොඩක් ඇළුම් කළා. එක වෙලාවක මට හිතෙනවා.. ආරියවංශ රණවීරගේ ඔක්කොම කවි මම කියවන්න ඕනෙ කියලා.. ඔහොම ඉන්නකොට ඔහුගේ කවි ජීවිතේ තෝරාගත් කවි කිහිපයක් එකතු කරලා එක පොතක් කළා.. ඒ උත්සවයටත් මම සහභාගි වුණා.. ඒ තමා දෝතක් කවි.. ඒක මම බලාපොරොත්තුවෙන් හිටපු දෙයක්..

මුදල මූලික වූ ආර්ථිකයේ මිනිස්සු ගොදුරු බවට පත්වෙලා.. සල්ලි පස්සෙ දුවන්න වෙලා..  ඒ මිනිස්සුන්ට අවට ලෝක විඳගන්න අමතක වෙලාද මන්දා.. ඒ අයට තුමිඳුගෙ වචනවලින් දෙයක් කියමුද?
ගොඩක් මිනිසුන් අවසාන මොහොතෙදි තමා දකින්නේ ලෝකේ කොච්චර ලස්සනද කියලා. අහසේ තියෙන වා කැරුලි, මේ ගස් කොළන් කොච්චර මිහිරිද සුන්දරද කියලා.. පුංචි වතුර පිරුණු පොකුණක තියෙන සෞන්දර්ය. මේවා කොච්චර අපූරුවට විඳින්න පුළුවන් දේවල්ද කියලා. නමුත් ඒ වෙන කොට මිනිස්සු ප්‍රමාද වැඩියි. අපි මේ ගතකරන මොහොත ආයි මගේ ජීවිතයට කවදාවත් එන්නෙ නෑ.. අපි මේ කරන කතාබහ ආයි ජීවිතේ කවදාකවත් කරන්න හම්බවෙන්නෙ එකක් නෑ.. එච්චරටම මේක වැදගත්.. අපි මේක විඳිනවා... අපි අපේ ජීවිතේ සුන්ඳර තැන් කොච්චර මඟහරිනවාද... ජීවිතේ විඳවනවට වඩා විඳින්න දේවල් ඕනතරම් අප අවටම තියෙනවා.. ඒවා හොයාගන්න.. ජීවිතය මඟහැරෙන්න පෙර ජීවිතයට ඇවිදින්න පාරක් හොයාගන්න. පා පැටලුණත් නොවැටී ඇවිදින්න හැකි පාරක් හොයාගන්න.
තුමිඳු එයාගේ කතාවෙන් මාව වෙන තැනකට අරගෙන ගිහින් කතාව නැවැත්තුවා...

ජීවිතය දිගේ මේ සංසාර ගමන යද්දී කොයිතරම් අය මුණ ගැහෙනවාද? කොච්චර අය අපේ ජීවිතවලට එනවද? යනවද? සමහරු මුණගැහෙන්නේ එකම එක දවසයි.. නැත්නම් පැයක් දෙකක්. එහෙමත් නැත්නම් තප්පර දෙක තුනයි... ඒත් මේ හැම බැඳීමක්ම අහම්බයක්ම නෙවෙයි. සංසාර පුරුද්දක්ද කියලත් ගැඹුරට හිතද්දී හිත කියනවා.
ගල්කිස්ස වෙරළට මම ගිහින් එන්නම් කීවේ ඒ සිතුවිල්ලත් එක්කමයි.

► Danushka

   Pic -Sumudu