2018 ජුනි 16 වන සෙනසුරාදා

හත්මාළුව එක්ක බත් දෙන සීතාවක මිරකල්

 2018 ජුනි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 631

දියඇල්ල පාමුල දෙගොඩ තලා යන දිය කඳ යටින් ඇති මහ කළු ගල උඩ  කොච්චර වෙලා ඉඳගෙන හිටියද කියලා මම දන්නේ නෑ. රූස්ස ගස් අස්සෙන් නැලවි නැලවි එන ඒ දිය දහරාව ගැන ඒ දිය දහරේ සීතල උරාගෙන දලුලන මල්ලන මහ ගස් තුරුලතා සලන සීතල පවන ගැන ලියාගන්න කියාගන්න බැරි කවි සිතුවිලි දියඇලි දියෙන් හිස් මුදුන තෙමෙද්දී හිතට එනවා. දිය ඇල්ල මුදුනේ ඉඳන් එහෙම ඉඳගෙන ඉද්දී දිය ඇල්ලේ උඩ ඉඳන් ගලාගෙන එන සීතල වතුර කඳ ඇද වැටෙන්නේ හිස්මුදුනට. අයිස් කන්දක් දිය කරලා හැරියා වගේ එහෙමත් සීතලක්... පෙර නොවිඳි සිසිලසක්... සීතලක්... සුවයක්.... ඒ සිසිල.... ඒ සීතල... ඒ සුවය සොයාගෙන අපි ගියේ සීතාවකට... සීතාවක මිරකල්..... සොබා දහමේ සදාතනිකත්වය මේ නිමේෂය හා යා කළ අපූරු තෝතැන්නක් විදිහට හඳුන්වලා දෙන්න පුළුවන්.. DAY OUTING එකකට කොළඹට කිට්ටුව මීටත් වඩා සොඳුරු තැනක් තියෙනවද කියලා හිතුණා මට... හැබැයි අපි නම් ගියේ එදා රාත්‍රිය එහි ගත කරන්න.

කියන්න තියෙන සුබම සුබ ආරංචිය තමයි ඔන්න ඔයාටත් තව මාසයකින් විතර DAY OUTING එකකට විතරක් නෙවෙයි වෙනස්ම ආකාරයේ ආනන්දනීය අත්දැකීම් අහුරක්ම විඳින්න සීතාවක මිරකල් යන්න පුළුවන් රාත්‍රියක් ගෙවලම එන්න. දැන් ඔයාට ඇවිත් නවතින්න පුළුවන් විදිහට සුවපහසුකම් එක්ක එහි කාමර ඉදිවෙමින් පවතිනවා. ඝනකමට කළුවර ඉහිරෙන රබර් යායේ සැරින් සැරේ ඇවිත් යන වැස්සත් එක්ක, ඈත අහසේ එහෙන් මෙහෙන් කොණක පායපු තරුවක් එක්ක කතා කරන්න, කදිම කිතුල් රා පොල් කට්ටක රස විඳලා, BBQ සාදයක් එක්ක සින්දුවක් කියලා රබර් ගස් යාය මැද්දේ තියෙන පොල් අතු හෙවිල්ලපු පුංචි පැලට වෙලා පොඩි කයියක් ගහගෙන පහළින් ගලාගෙන යන දිය ඇල්ලේ ශෝකී රාවය හුදෙකලාවම විඳින ගමන් ඈතින් පෙනෙන කොඩි කන්ද දිහා බලාගෙන සීතාවක මිරකල් රැයක් ගෙවන්න ඔන්න ළඟදිම දවසක ඔයාටත් පුළුවන්.

ඉදිකළ පිහිණුම් තටාකය ඇරෙන්න මෙහි ස්වභාවික පිහිණුම් තටාකයක් වගේම මම අර ඉස්සරවෙලා කියපු දිය ඇල්ලත් තියෙනවා ඔයාට හිතේ හැටියට නා ගන්න. රාත්‍රියට පිහිණුම් තටාකය තද නිල් කොළ වර්ණවලින් බබළද්දී පිහිණුම් තටාකයේ පතුල ආකාසේ තරු ඉහිරවපු මෝස්තරයකින් අහසක් මවනවා පතුලක් ඇතුළෙ. සීතාවක මිරකල් එන අයට මේ පිහිණුම් තටාක දෙක වගේම දිය ඇල්ලත් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම බැඩ්මින්ටන් සෙල්ලම් කරන්න බෝල ගහන්න කට්ටිය එකතුවෙලා සෙල්ලම් කරන්න ඕනතරම් ඉඩ මෙතන තියෙනවා. WEL COME DRINK එකක් ඔයාගේ පවසට වගේම සීතාවක මිරකල් අයිතිකාර අසේලගේත් දිස්නාගේත් අනිත් සේවකයන්ගේත් ළෙන්ගතු පිළිගැනීම පෙන්වන්න තමා ඔයාට ලැබෙන්නේ. කොළ කැඳ, පැෂන්, අන්නාසි, තැඹිලි, කොමඩු මේ අතුරින් මොනවා හෝ දෙයක් ඔයාට WEL COME DRINK එක විදිහට ලැබෙනවා. දවල්ට සප්පායම් වෙන්න තරුපහේ BUFFET එකක් තියෙනවා. BUFFET එක ලෑස්ති කරලා තියෙන තැනත් හරි අපූරුයි. පොල් අතු සෙවිලි මැද්දෙන් පේළියට එල්ලෙන්නේ පරණ තාලේ ලාම්පු. කෑම පිඟන් තියාගන්න ඉඳගන්න තියෙන්නේ කුඹුක් ලීයෙන් හදපු අමුතුම පුටු මේස පෙළක්. කුෂන් පුටුවක ප්ලාස්ටික් පුටුවක ඉඳන් ඉන්නවා වගේ නෙවෙයි කුඹුක් පුටුවක ඉඳගෙන ඉද්දී ඇඟම සීතල වෙලා යනවා. කෑම ශාලාවේ විදුලි බුබුළු සවිවෙලා තියෙන්නේ උණ බට පතුරු දිගේ. උණබට පතුරු වහලයට බැඳලා තියෙන්නේ කොරස වැල් වලින්. ශාලාවේ කණු වටේත් කොහු ලණු එතී තියෙනවා. අක්කර දහයක් වෙච්ච භූමියේ ඉහළ අක්කර හතරක භූමි ප්‍රමාණයක් රබර් වගාවටත් පහළ අක්කර දෙක තුනක් තේ වගාවටත් වෙන්වෙලා තියෙනවා. ඉතුරු භුමි බාගයේ තැනින් තැන පාට පාට මල් ගොමු. උදේට කුරුල්ලෝ රෑන් රෑන් ඒ පුංචි මල්ගොමු අස්සේ සැරිසරනවා. මල් ගොමු අස්සේ රඳවපු පුංචි මුට්ටියක් ගේ කුරුල්ලන්ගේ ගෙයක් වෙලත් තිබුණලු.

කොළඹ ඉඳන් නැත්නම් වෙන කොහේ හරි ඉඳන් සොබාදහමේ සුනදරත්වයත් එක්කම සිතට නිවනක් ගතට සුවයක් හොයාගෙන එන ඔයාට සීතාවක මිරකල් දෙන හුඟක් දේවල් අතරේ තව අපූරු දේකුත් තියෙනවා. ඒ තමා කදිම රා පොල්කට්ට. තද වැස්ස නිසා මේ දවස් කිහිපයේ නම් රා පෙරුවේ නැතිලු. එහෙම නැත්නම් මේ භුමියේ තියෙන කිතුල් ගස් දහය පහළොවෙන් හැමදාම වගේ රා පෙරනවා. රා රසත් විඳින්න හිතුණොත්... ඒකයි ලේසියෙන් නවාතැනකදී අත්විඳින්න නොලැබෙන ඒ පානය ගැන ඔන්න අපි ඔයාලට කීවේ. නාන්න ගියාම මට චිප්ස් එකක් ඕන කියලා ඔයා ORDER එක දීලා ගියොත් දියඇල්ල ළඟට හරි රන්වන් පාට වෙන්න බැදපු ලොකු චිප්ස් පළඟනාවක් ඔයාට සීතාවක මිරකල් සේවකයෙක් ඉක්මනට ගෙනත් දෙනවා. SERVICE එක හරිම QUICK. ඒ වගේම හරිම FRIENDLY. අවුරැදු පහට අඩු පුංචි අයට නම් හැමදේම FREE OF CHARGE. අවුරුදු 10ට අඩු නම් PACKAGE එකේ ගාණෙන් බාගයයි. PACKAGE එකට ඕනෑම කෙනෙකුට WELCOME DRINK එක BUFFET එක වගේම හවසට උණු උණු පොල් රොටී එක්ක තේ කහට ලැබෙනවා. ඊට අමතරව පිහිණුම් තටාක දියඇල්ල වගේම අනිත් හැමදේම පාවිච්චි කරන්න පුළුවන්. කන්න විතරක්ම එනව නම් PACKAGE එකේ ගාණ තවත් අඩුයි. සැර පාන ඕන නම් ඔයා ඒවා ගේන්න ඕන. කටගැස්මට ගන්න දේවල්වලට වෙනම ගෙවන්න ඕන. නාන ගමන් බැදපු අලපෙති රසවිඳින්න ඕන වුණොත් ඒවත් වෙනම ගෙවලා ගන්න පුළුවන්. ඒත් මේ හැමදේම පොකට් එකට නම් ලොකු බරක් නෙවෙයි කියලා සීතාවක මිරකල් ගියොත් ඔයාලටම තේරෙයි.

BUFFET එක ගැනත් ඔයාට කියන්නම ඕන. දෙල් පොළොස් කිරි කොස් වෑංජන තුනෙන් එකක් හැමදාම අනිවාර්යයි. ඒ වගේම කජුත් දාපු හත්මාලුව හැමදාම තියෙන රස ගුණ වෑංජනයක්. එදා දවල්ට අපිට මොනවද දන්නවද කන්න තිබුණේ... සුදු බත් වගේම ෆ්‍රයිඩ් රයිස් තිබුණා. කුකුළු මස්, මාළු ඩෙවල්, වල් ඌරුමස්. ලස්සනට කොළපාට රැඳෙන විදිහට පිළියෙළ කළ බෝංචි වෑංජනයක්, කිරි කොස් මාළුවක්, එළවළු චොප්සියක්. හොඳට ලුණු මිරිසට උයපු ඇම්බරැල්ල මාළුවක්, බැදපු වම්බටු සලාදයක්, කංකුන් ඩෙවල් එකක්. චිලි පේස්ට් අච්චාරු පපඩම් තවත් මොන මොනවාදෝ තිබුණා. ඉස්සරහට මැල්ලුම් වර්ග පහක කලවම් මැල්ලුමකුත් දෙනවා කියලා තමයි අසේල අපිට කීවේ... රස ගැන නම් කියන්න වචන නැති තරම්. සරලවම කියනව නම් පට්ට රහයි. කාලා ඉවරවෙලා අපි අතුරුපස ගද්දී මොනවද තෝරා ගන්න ඕන කියලා හිතෙනවා. අයිස්ක්‍රීම්, කිරිපැණි, කොමඩු, පැපොල්, අන්නාසි, කස්ටඩ් පුඩිම් මේ ඔක්කොම එදා අතුරුපසට තිබුණා.
හැන්දෑවට කට දැවිල්ල දනවන ලුණු මිරිස් එක්ක උණු උණු පොල් රොටී. ඊට පස්සේ කදිම කහට කෝප්පයක්. අපි රෑට කෑවෙත් කෑලි මිරිස් දැවිල්ල වෙන්නම දාපු අල බැදුම් එක්ක තව රස රස වෑංජන කිහිපයක් සුදුබත් සහ ෆ්‍රයිඩ් රයිස්. උදේට නුඩ්ල්ස් බිත්තර චිලි ෆේස්ට් අලකිරි හොදි.

දිය ඇල්ලට කිට්ටුවෙන්ම පහළින් ආදරයෙන් මධු සමය ගෙවන්න එන ආදරවන්තයන් වෙනුවෙන්ම වීදුරු කුටියක් ඉදිවෙනවා. ඒ වීදුරු කුටිය ආවරණය වෙන්නේ තිර රෙදි වලින් විතරමයි. ඈතින් කොඩි කන්ද. පහළින් ගලාගෙන යන දිය ඇල්ල. අතරින් පතර රෑ රැහැයියන්ගේ හඬ. කොඩි කන්දට මුදුනින් සඳ එන දවසක නම් සඳ. එදා පලින් පල මලානික එළියක් විහිදවපු තරු. අපි ගියේ අහස සැරින් සැරේ හඬන දවසක. සුළං කැරකි කැරකි විදගෙන ඇවිත් දෙපතුල් හිරිවට්ටන දවසක. ඒකයි එදා තරු හරි මලානික වෙලා තිබුණේ. ඒත් ඒ සියල්ල මැද ඉමිහිරිම මධුසමයක්.... ගෙවන්න තියෙනවා නම් ජීවිතේ ගෙවපු සුන්දරම රාත්‍රිය ඒ රාත්‍රිය කියලා ඔයාට නොහිතුණොත් තමයි පුදුමේ. 

මැදින් පොඩ්ඩක් නැමුණු රබර් ගස් අග්ගිසි අගින් එකට ගැටි ගැටී එයාලගෙම කතාවක. ඒ රාත්‍රීෙය් ගසුත් කතා කරද්දී අපිත් බැදපු අලපෙති රස විඳින ගමන් පිහිණුම් තටාකයේ පැය ගණනක් ගෙව්වේ සීතල වතුර එක්ක. අහස හිටපු ගමන් වැස්සක් එක්ක ඇවිත් නොකියම කරබා ගන්නවා. ඒ වැස්සේ තෙමි තෙමී අපි නාපු නෑමක්... ඒ නෑම ඉවර වුණේ රබර් ගහක් පාමුලින්. පිහිණුම් තටාකය අද්දරම රබර් ගහක එතුණු බටයක් දිගේ එන වතුර ගල් පතුරක් දිගේ පෙරීගෙන එනවා. අපි නෑම අවසන් කළේ ඒ පෙරීගෙන එන දියෙන්.

ජීවිතය හරි ලස්සනයි... සොබා දහමත් එක්ක කරට අතදාගෙන යන ගමනක් යන්න පුළුවන්නම්... මගේ ආදරණීයම සොඳුරු මිත්‍රයා කියන දෙයක් ඒ රාත්‍රියේ ආදරණීය කටහඬක් එක්කම මගේ මතකයට ආවා.

(ඉතින් එන ඉරිදාත් හමුවෙමු සීතාවක ඉඳන්ම.... Walk 111අපි එක්ක.)

 

► Text - Sanju /  Pic-  Channa Kassapa Koralearachchi