2018 ජුනි 16 වන සෙනසුරාදා

කේක් ගෙඩිය මැද වටේට ඉඳගෙන හති දදා අපි කේක් ගෙඩිය කෑවා......

 2018 ජුනි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 205

Dulika Marapana & Wasanthi Ranwala

මතකද වසන්තිව මුලින්ම මුණගැසුණු ඒ කාලේ?
1998 වසරේදී තමයි මට මුලින්ම වසන්ති අක්කාව මුණගැසුණේ. මම විශ්ව විද්‍යාලයේ ඉගෙනගනිද්දී මට විශ්ව විද්‍යාලයේ හොඳම නිළිය සම්මානය ලැබුණා. ඔය සම්මාන උළෙලට ප්‍රසන්න ජයකොඩි මහතාත් ඇවිත් හිටියා. ප්‍රසන්න අයියාගේ වේදිකා නාට්‍යයක ඒ සම්මාන උළෙලේ මුණගැසීමෙන් පසුව මට ආරාධනා කළා. ඒ නාට්‍යයට ගියපු වේලාවේදී තමයි මට වසන්ති අක්කාව මුණගැහුණේ. මට තාම මතකයි අපි පුහුණුවීම් කටයුතු කළේ මහරගම තරුණ සේවා එකේදීයි.

කොහොමද ඒ පුහුණුවීම් කටයුතු එහෙම? වසන්තිගෙන් ඔබට සහයෝගයක් ලැබුණද?
වචනවලට කියාගන්න බැරි සහයෝගයක් ලැබුණා. ඒ වෙද්දී මම මේ ක්ෂේත්‍රයට හා හා පුරා කියලා අඩිය තිබ්බා විතරයි. ඉතින් මුලින්ම රංගන ශිල්පිනියක් විදිහට මට ඇසුරු කරන්න ලැබුණේ. වසන්ති අක්කාවයි. ඉතින් එයා මට බොහෝ දේවල් කියලා දුන්නා. කොළඹ ගැන ඒ වෙද්දී මම කිසි දෙයක් දැනගෙන හිටියේ නැහැ. අඩුම ගාණේ ගමනක් බිමනක් යන්න දන්නේ නැහැ. කඩේකට ගිහින් කෑමක් බීමක් ගන්න දන්නේ නැහැ. ඉතින් ඒ නිසා වසන්ති අක්කා එක්ක තමයි මගේ මුල්ම ගනුදෙනුව වුණේ. එයා තමයි මාව යූත් එකේ කැන්ටිමට එක්කගෙන ගියේ. කෑම කන්න එළියට එක්කරගෙන ගියෙත් එයාමයි. ඇත්තටම එයා හරිම සුන්දර ගැහැනියක්. එයා හිතන පතන විදිහ හරිම වෙනස්. සාමාන්‍යයෙන් මේ සමාජයේ කාන්තාවන් හිතනවට වඩා වෙනස් විදිහට එයා සමාජය දිහා බලන්නේ.

වසන්තිගේ දුවත් දුලීකාට බොහෝම සමීපයි නේද?
ඔව්.. අනේ.. ඒ කාලේ එයාට ලස්සන චූටි දුවක් හිටියා. මම කියන්නේ දැන් අවුරුදු විස්සකට වඩා අතීතයක කතාවක්නේ. ඉතින් මේ චූටි කෙල්ල හරි කටකාරයි. වසන්ති අක්කා දරුවගේ වැඩකටයුතු කරන ගමන් තමයි රංගනයේ යෙදෙන්න ආවේ. මගේ මව්පියෝ සහෝදර සහෝදරියෝ එක්ක කතා නොකරන මාතෘකා කතා කරන්න පුළුවන් මිතුරියක් බවට වසන්ති අක්කා පත්වුණා. අපි අතරේ හංඟන්න දෙයක් තිබුණේ නැහැ. අපි බොහෝම දේවල් විවෘතව කතාබහ කළා. වසන්ති අක්කා එක්ක බෙදාහදාගන්න, කතා කරන්න බොහෝ දේවල් මට තිබුණා. එයා කොළඹ. නමුත් මම ගමේ ඉඳන් කොළඹට ආවේ. ඉතින් එයා කොළඹ බොහෝ දේවල් මාත් එක්ක කතාබහ කළා.

වේදිකා නාට්‍යයෙන් පස්සේ ඔය ඇසුර ඈත් වුණේ නැද්ද?
ඇත්ත... වේදිකා නාට්‍ය අවසන් වුණාට පස්සේ ටික කාලයක් අපි මුණගැහුණේ නැහැ තමයි. නමුත් නැවත වරින් වර මට වසන්ති අක්කාව මුණගැහුණා. අපි එහෙම එළියට ගිහින් කෑම කෑවා. කොහොමෙන් කොහොමහරි ඔය බැඳීම ඈත් වුණේ නැහැ.

ඒ බැඳීමට අසල්වැසියෙක් විදිහට පදිංචියට ඒමත් හේතුවක් වුණා නේද?
ඔව්.. ඇත්තමයි.. කාලයක් ගියාට පස්සේ වසන්ති අක්කාගේ ගෙවල් ළඟම මම නවාතැන්පළක් හොයාගත්තා. ඉතින් ඔය නවාතැන්පළ හොයාගත්තට පස්සේ අපි දෙන්නට සිනමාව ගැන කතාබහ කරන්න බොහෝ දේවල් තිබුණා. ඒ වෙද්දී මම නවාතැන් ගත් කාමරයේ මට රූපවාහිනියක් තිබුණේ නැහැ. ඉතින් මට ඕන කරන චිත්‍රපට බලන්න මම වසන්ති අක්කාගේ ගෙදරට තමයි ගියේ. ඉතින් වසන්ති අක්කා කාගෙන්හරි හොඳ චිත්‍රපට ගොඩාක් හොයාගෙන හොඳ ෆිල්ම්ස් වගයක් තියෙනවා දුලීකා. එන්න. කියලා මටත් කතා කරනවා. ඉතින් අපි දෙන්නා උදේ ඉඳන් රෑ වෙනකම් චිත්‍රපට බැලුවා. උදේ ඉඳන් රෑ වෙනකම් මම චිත්‍රපට බලන්න පුරුදු වුණේ වසන්ති අක්කාගෙනුයි. එයාගේ දුවත් පහු කාලයේදී මගේ හොඳ යාළුවෙක් බවට පත් වුණා. ඉතින් කඩචෝරු කන්න තමයි දුව මගේ හොඳ යාළුවා වුණේ. අපි තුන්දෙනා සමහරදාට කේක් ගෙඩියක් මැද තියාගෙන හැඳි තුනකින් හරි ගෑරුප්පු තුනකින් හරි කේක් එක ඉවර වෙනකම්ම කනවා. හති ඇර ඇර තමයි කේක් ගෙඩියේ අන්තිම හරිය අපි කන්නේ. අපි කිරි කෝපි බොන්න හරි ආසයි. ඒ වගේ හරිම සුන්දර සම්බන්ධතාවයක් තමයි අපිට තිබුණේ. මට වැඩිමහල් සහෝදරියක් ලැබුණා වගේ හැඟීමක් තමයි මට දැනුණේ. ඇය මේ ක්ෂේත්‍රයේ මට වඩා බොහෝම ප්‍රවීණයෙක්. ඒ නිසා නාට්‍ය පිළිබඳ හොඳ දැනුමක් වගේම හොඳ පුස්තකාලයක් ඇයට තිබුණා. ඉස්සරත් මම නිරන්තරයෙන්ම චිත්‍රපට බැලුවා. හැබැයි වසන්ති අක්කාගෙන් තමයි මම චිත්‍රපට පෙරේතයෙක් වුණේ. අපිට අපි ගැන කතා කරන්න බොහෝ කාල වේලාවක් තිබුණා. අපි අත්දකින දේ බෙදාගන්න අපිට පුළුවන් වුණා. ජීවිතය ගැන කතා කරන්න අපිට බොහෝම කාලයක් තිබුණා.

කාලයක් එහෙම අසල්වැසියෙක් වෙලා හිටපු දුලීකා කොට්ටාවට පදිංචියට යාමත් එක්ක ඒ ඇසුර වෙනස් වුණාද?
එහෙම වෙනස් වුණේමත් නැහැ. මම විවාහ වෙනතුරුම වසන්ති අක්කාගේ ගෙවල් ළඟ තමයි හිටියේ. හැබැයි කොට්ටාවට පදිංචිය ගියාට පස්සේ වෙලාවක් අවේලාවක් නැතිව කතාබහ කරන්න ලැබෙන අවස්ථාව අඩු වුණා. වසන්ති අක්කාට යමක් හිතට වැදුණොත් එයාට ඒකේ වේදනාව වැඩියි. හැබැයි මම එහෙම නැහැ. වසන්ති අක්කාට කේන්ති යන ප්‍රමාණය හරිම අඩුයි. හැබැයි නැත්තෙමත් නැහැ. එයා දුවටත් ලොකු නිදහසක් දුන්නු අම්මා කෙනෙක්.

වසන්ති ලස්සනට ඉන්න කැමති කෙනෙක් නේද?
ඔව්.. අනිවාර්යයෙන්ම. එයා ලස්සනට අඳින්න, පළඳින්න, පිළිවෙළට ඉන්න කැමති කෙනෙක්. මේක් අප් කරන්න එයා හරි ආසයි. ඒ වෙනුවෙන් ලොකු වෙලාවක් ගත කරනවා. සමහර දාට අයියෝ අක්කේ... තව මේක් අප් කරනවද? කියලා ළඟට ගිහින් අහනකොට එහෙම තමයි තැනකට යනකොට ලස්සනට පිළිවෙළට යන්න ඕනේ. ඔයා වගේ බාගෙට යන්න මට බැහැ. කියලා කියනවා.

යාළුවෝ දෙන්නා කවදාවත් තරහා වෙලා නැද්ද?
නැහැ. එහෙම අපිට තරහා වෙන්න හේතු වෙලා නැහැ. මම කිසිම කෙනෙක් එක්ක තරහා වෙලා නැහැ. වසන්ති අක්කාටත් මගෙත් එක්ක තරහා වෙන්න කිසිම හේතුවක් හෝ තරගයක් තිබුණේ නැහැ. අඩුම ගාණේ අපි දෙන්නා පැය ගණනකටවත් තරහා වෙලා හිටියද කියලා මතකයක්වත් නැහැ. මගේ අතේ සල්ලි තියෙනවද නැද්ද කියලා මේ ක්ෂේත්‍රයේ කිසිම කෙනෙක් දන්නේ නැහැ. හැබැයි වසන්ති අක්කා මගේ අතේ සල්ලි තියෙනවද නැද්ද කියලා හොඳටම දන්නවා. මගේ ආර්ථිකය පිළිබඳව හොඳ දැනුමක් එයාට තිබුණා. මට සල්ලි ලැබුණොත් මම අත දිගඇරලා වියදම් කරනවා. මගේ අතේ සල්ලි නැතිවෙද්දී මම වියදම් කරන්නේ නෑ. ඉතින් ඔයාගේ අතේ නැද්ද? සල්ලි ඕනේද? කියලා මගෙන් අහපු දවස් අනන්තවත් තිබුණා. ඇය හරිම හොඳ අම්මා කෙනෙක්. එයා ළඟ අම්මාගේ ගතිගුණ තිබුණා. ඒ නිසා යාළුවෙක් විදිහට ඇය මගේ ජීවිතේට බොහෝ සමීපයි.
ඉතින්.... දුලීකා හොඳම යාළුවා ගැන එහෙම කියද්දී වසන්ති දුලීකා ගැන කිව්වෙත් මෙන්න මේ විදිහටයි.

මතකද දුලීකා අක්කාව මුණගැහුණු ඒ අතීතය?
දුලීකාව මට මුලින්ම මුණගැහුණේ ප්‍රසන්න ජයකොඩිගේ සෙවණැලි සහ මිනිස්සු කියන වේදිකා නාට්‍යයේදියි. ඒ වෙනකොට දුලීකාට දුන්නු චරිතය ඊට කලින් දෙදෙනකුත් රඟපෑවා. ඊට සෑහෙන කාලයකට පස්සේ නැවතත් මේ වේදිකා නාට්‍යය වේදිකාගත කරද්දී තමයි ඒ චරිතයට දුලීකාව තෝරගෙන තිබුණේ. එකම කෙනකුගේ හිතට මම රඟපෑවා. දුලීකා ගතට රඟපෑවා. එහෙම තමයි ඒ වේදිකා නාට්‍යය වේදිකාගත වුණේ.

ඒ වෙද්දී දුලීකා හරිම හැඩකාර තරුණියක්. එහෙම නේද?
අම්මෝ ඔව්... ඉතාම ලස්සන හිනාවක් තියෙන, ලස්සන දිග කොණ්ඩයක් තියෙන, හැඩකාර ඇඟක් තියෙන ලස්සන කෙල්ලෙක් තමයි දුලීකා කියන්නේ. ඒ හිනාව මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. ඒ හිනාව හරි අපූරුයි. දුලීකාටයි මටයි ජීවිතේ විඳින්න ඕන වුණා. ජීවිතේ නිදහසට මම වගේම දුලීකාත් ආස කළා. අපේ ජීවිතවල වගකීම් තිබුණා. නමුත් වගකීම් බාරගෙන අපි ජීවිතෙත් වින්දා.
දෙන්නා හරි හරියට ෆිල්ම් බැලුවා කියලත් ආරංචියි.

ඔව්නේ... උදේ ඉඳන් රෑ වෙනකන් අපි ෆිල්ම් බැලුවා. එයා ෆිල්ම් තොගයක් තෝරගෙන එනවා. මාත් තොගයක් තෝරගන්නවා. ඊට පස්සේ අපි දෙන්නා ෆිල්ම් බැලුවා. ඔය බලන ගමන් අපි ෆිල්ම් ගැන කතා කළා. මම දුලීකාට short film එකක් කරන්න කියලත් යෝජනා කළා. ඇත්තෙන්ම මට හරි සතුටුයි පහු කාලයේදී දුලීකා සාර්ථක ෆිල්ම් එකක් කළා. දුලීකා එක්ක කාලය ගත කරද්දී හරිම විනෝදකාමියි. ජීවිතේ බොහෝ දේවල් අපි කතා කළා. සුජීව මුණගැසීමත් එක්ක දුලීකා ගොඩක් හොඳ වැඩ කොටසක් කළා. තනියම ඉඳිද්දී කරන්න ආස කළ බොහෝ හීන සුජීවත් එක්ක එයා හැබෑ කරගත්තා. ඇත්තටම එයාට ගැලපෙන සුන්දර මනුස්සයෙක් ලැබීම ගැන මම ගොඩාක් සතුටු වුණා. දුලීකාට පොඩි දරැවෙක් එක්ක පවා හිතවත් වීමේ මොකද්දෝ හැකියාවක් තිබුණා. වයස සීමාවල් එයාට අදාළ නැහැ. එයාට පොඩි දරුවන් එක්ක වගේම එයාට වඩා වයසින් හුඟාක්ම වැඩි අය එක්ක වුණත් ඇසුරු කිරීමේ හැකියාවක් තිබුණා. පුංචි දරුවන් එක්ක වුණත් හරි හරියට එයා සෙල්ලම් කරනවා. මගේ දුවත් එක්ක වුණත් දුලීකා හරි සමීපයි.

දුලීකාට කේන්ති යනවද?
කේන්තිත් යනවා. හැබැයි ඒ නොගිය බැරි තැනකදී විතරයි. සමහර වැඩවලට, අසාධාරණයක් වෙන තැනකදී එයාට අහක බලාගෙන ඉන්න බැරි තත්ත්වයක් තියෙනවා. ඒ වෙනුවෙන් දුලීකා කතා කරනවා.

දුලීකා.... තමන්ගේ ආදරණීය මවට ආදරණීය දුවක් නේද?
ඔව්..... අම්මෝ...... ඒ ගැනනම් කියන්නම ඕනේ. දුලීකා අම්මා ගැන හැමවෙලේම බැලුවා. පුළුවන් හැමවෙලේම අම්මා බලන්න ගියා. අම්මාට ඉතාම ආදරෙයි. වෙලාවකට මේ දෙන්නා යාළුවෝ දෙන්නෙක් වගෙයි. තව වෙලාවකට ඒ අම්මා දුලීකාගේ දරුවෙක් වගෙයි.

දුලීකා වගේ යාළුවෙක් ජීවිතේට ළංවීම ගැන අද මොකද හිතෙන්නේ?
දුලීකා කියන්නේ වෙනස්ම චරිතයක්. ඒ චරිතය අති විශේෂයි. එයා කතා කරන දේවල්, යම් තැන්වලදී හැසිරෙන විදිහ ආදිය හරි විශේෂයි. ගෑනු චරිතයක් ඒ තරම් විවෘත වෙන්න, ඒ තරම් නිදහස්ව හැසිරෙන්න, විවෘතව කතා කරන්න, විවෘතව ආදරය කරන්න පෙළඹෙන අවස්ථා හරිම අඩුයි. හැබැයි දුලීකා එහෙම නැහැ. අපේ සංස්කෘතියට, අපේ ධර්මයට අනුකූලව ජීවත් වෙමින් දුලීකා ජීවිතේ නිදහසේ හැසිරෙනවා. වෙලාවකට දුලීකා මට දරුවෙක් වගේ හිතෙන අවස්ථාත් තිබුණා.

Text - Jayamali