2018 ජුනි 16 වන සෙනසුරාදා

ඉස්සරලා හූ කියලා පස්සේ මට කැන්ටිමෙන් තේ අරන් දුන්නා

 2018 ජුනි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 113

ඔබේ ගම්පළාත සහ පවුලේ විස්තර ටිකක් කියන්නකෝ...?
මගේ ගම වැඩි ඈතක නොවේ. පිළියන්දල නගරයම තමයි මගේ ගමත් වුණේ. මගේ පවුලේ විස්තර අම්මයි, තාත්තයි, මල්ලිලා දෙන්නයි විතරයි. මම පවුලේ එකම ගැහැනු දරුවා. මගේ අම්මා ගෘහණියක්, තාත්තා ව්‍යාපාරිකයෙක්. නමුත් අද වෙද්දී මගේ අම්මා තාත්තා ජීවතුන් අතර නැහැ.

ළමා කාලය ගෙවුණේ කොහොමද...?
මගේ ළමා කාලය බොහෝම සුන්දර කාලයක්. දැනුත් ඒ මගේ ළමා කාලය මතක් වෙද්දී හරියට සතුටු හිතෙනවා. ඒ දවස්වල අද කාලේ වගේ පිළියන්දල නගරයක් නෙමේ. බොහෝම ගම්බද වටපිටාවක් තමයි පිළියන්දලත් තිබුණේ. මට මතකයි ඒ කාලේ මෙහෙම තාප්පවලින් වටවෙලා තිබුණේ නැහැ. වැටවල් තමයි තිබුණේ. අපි සෙල්ලම් ගෙවල් හදලා සෙල්ලම් කළා. මල්ලිලාත් එක්ක රණ්ඩු කරගත්තා. හැබැයි අපි වැඩිපුරම සෙල්ලම් ගෙවල් තමයි දැම්මේ. මට තාම මතකයි මම මගේ ළමයි විදිහට වැටවල් තමයි හිතාගන්නේ. ඉතින්... මම ඒ අයට උගන්වනවා.

පුංචි කාලෙත් සින්දු කියන්නත් ආසද...?
අම්මෝ ඔව්... මම පුංචි කාලේ සින්දු ගායනා කරනවා නොවේ. සින්දු කිය කියා කෑ ගහනවා. හැබැයි ගෙදර අයට ඒ සින්දු හරි ලස්සනයි. මගේ අම්මටත් ගීත ගායනා කිරීමේ සාමාන්‍ය හැකියාවක් තිබුණා. මගේ පොඩි මල්ලිටත් ගීත ගායනා කරන්නත් පුළුවන් වෘද්‍ය භාණ්ඩයක් ගත්තොත් ඒක ගත්ත සැණින් ගීතයක් අහලා වාදනය කරන්න පුළුවන් හැකියාවක් තිබුණා.

පාසල් ගියේ මොන පාසලට ද...?
මම ඉගෙන ගත්තේ පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයෙන්. පුංචි කාලේ කොහොමත් අපි දඟයි. පාසලේදීත් කෑ ගහනවා. සින්දු කියනවා. එහෙම සින්දු කියලා පාසලේදී දඬුවම් ලබලත් තියෙනවා. පුටු උඩත් අපිව නග්ගලා තියෙනවා. ගුරුතුමියක් නැති පීරියඩ් එකක් ලැබුණොත් පන්තියේ පිරිමි ළමයි ඩෙක්ස්වලට ගහනවා. ගැහැනු ළමයි කිහිපදෙනෙක් සින්දු කියනවා. ඉස්කෝලේදීත් මම සංගීතය විෂයක් විදිහට හැදෑරුවා. මට මතකයි ඒ කාලේ හඬේ කිසිම පාලනයක් නැහැ. ඔහේ මහ හයියෙන් කෑ ගහලා සින්දු කියනවා. ඉස්සර අපේ ඉස්කෝලෙත් ඔය එක එක සමිති තියෙනවා. හැම මාසේම ප්‍රධාන ශ්‍රේණි රැස්වීමක් තිබුණා. ඒ සමිතිවලදී මට සින්දුවක් කියන්න අනිවාර්යයෙන්ම ලැබෙනවා.
ඒ දවස්වල හින්දි සින්දුවලටත් මම හරි ආසයි. ඉතින් ඔය “නොකියාම එදා කියන සින්දුවේ හින්දි සින්දුව මම පුළුවන් තරම් හයියෙන් කෑ ගහලා කිව්වා. මට මතකයි අපේ ඉස්කෝලේ එහා පැත්තේ බිල්ඩිමේ උගන්නපු ගුරුවරු සියලු දෙනාම උගන්වන එක නවත්තලා ළමයිනුයි, ගුරුවරුයි හැමදෙනාම සින්දුව අහගෙන ඉඳලා තිබුණා. ඉස්කෝලේ ඉවරවුණාට පස්සේ ඒ හැමෝම මම ළඟට ඇවිත් කතා කරලා මාව අගේ කළා. එතකොට මම නවය වසරේ විතර ඇති.

හින්දි ගීත ගායනා කරන්න පුළුවන් වුණේ කොහොමද...?
අපේ ගෙදර ගුවන්විදුලියක් තිබුණා. ඒ කාලේ රූපවාහිනියක් තිබුණේ නැහැ. ඉතින් මගේ වැඩේම ගෙදර ඉන්න වෙලාවල්වල රේඩියෝව අහනවා. ළමා පිටිය මම හරි ආසාවෙන් අහපු වැඩසටහනක්. ඉතින් ලස්සන ගීත ඇහෙද්දී අපි ඒවාත් එක්ක ගායනා කරනවා. හැබැයි ඉතින් මුල් කාලේදීනම් හින්දි සින්දුවල වචන බොරු දාලත් කනට ඇහෙන වචන දාලත් කිව්වා. හැබැයි ළමා පිටිය යන වෙලාවට කොහේ හිටියත් එතනට ඇවිත් ඒක අහගෙන හිටියා. ඒ අතරතුර නන්දා මාලනී මිස්ගේ, අමරදේව මාස්ටර්ගේ ගීත අහන්නත් හරි ආස වුණා. මට තාම මතක සිද්ධියක් තියෙනවා. දැන් මම ඔය සින්දු කියද්දී ගෙදර අය, මගේ යාළුවෝ මාව අගේ කළානේ. මගේ කටහඬ ලස්සනයි කිව්වනේ. ඉතින් මටත් ඕන වුණා මගේ කටහඬ ලස්සනයි ද කියලා බලන්න.

ඉතින් බැලුවද...?
ඔව්නේ... මම දවසක් කවුරුත් නැති වෙලාවක වත්තේ තිබුණු ලොකු බැරල් එකක් ඇතුළට මගේ ඔළුව දාලා මුලින්ම පොඩි සද්දයක් දැම්මා. දෝංකාරයක් එක්ක මොකක්දෝ අමුතු සද්දයක් ආවා. ඊට පස්සේ මම ඒ බැරල් එක ඇතුළට ඔළුව දාලා සින්දු කිව්වා. ඉතින් හරි ආසයි. ඊට පස්සේ අපේ ගමේ තිබුණු පන්සලකට එච්චරම සෙනඟ නැති වෙලාවක බුදු මැදුරට ගිහින් “බුදු සාධුනේ* කියන ගීතය කියනවා. ඉතින්... දවසක් ඔහොම බුදු මැදුරේ සින්දු කියද්දී අහුවුණා. ඉතින්... ඊට පස්සේ බුදු මැදුරේ සින්දු කීම තහනම් වුණා.

පුංචි කාලේ කවුරු වෙන්නද හීන දැක්කේ...?
මම පුංචි කාලේ ඉඳන්ම සංගීතයට හරිම ආසයි. ඒ නිසා සංගීත ගුරුවරියක් වෙන්න තමයි හිතාගෙන හිටියේ. ඉතින් පාසලේ දී මම සංගීතය හැදෑරුවා. ගාන්ධර්ව අවසානයත් කළා. විශාරදයත් සමත් වුණා. ඒ වුණාට මට කොහොම හරි විශ්වවිද්‍යාලයේ උපාධියක් ගන්න හීනයක් තිබුණා. මම උසස් පෙළට කලා විෂය තමයි හැදෑරුවේ. ඊට පස්සේ මම කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙලා ශාස්ත්‍රාවේදී උපාධියක් කොහොම හරි සමත් වුණා.

කොළඹ විශ්වවිද්‍යාලය ඔබට මොනවගේ තැනක්ද...?
හරිම අපූරු තැනක් වුණා... ඒ දවස්වල විශ්වවිද්‍යාල ජීවිතය හරිම සුන්දරයි. අද කාලේ වගේ දරුණු නවක වද ඒ කාලේ තිබුණේ නැහැ. ඒ කාලේ මම සින්දු කියනවා කියලා දන්න පිරිමි ළමයෙක් හිටියා. ඉතින් පිරිමි ළමයි සහ ගැහැනු ළමයි මාව වටකරගෙන මට සින්දු කියන්න කිව්වා. හැබැයි මම කැමති සින්දු කියන්න දුන්නේ නැහැ. ඒ අය කැමති සින්දු තමයි මට ගායනා කරන්න කිව්වේ. ඒ අය මට වේගරිද්ම ගීත තමයි කියන්න කිව්වේ. කොහොම හරි මමත් කිව්වා. හැබැයි මම භාගයක් කියාගෙන යද්දී හූ කියලා කෑ ගහනවා. හැබැයි මාත් අතහැරියේ නැහැ. ලජ්ජාව පෙන්නන්නේ නැතිව මාත් සින්දුව ඉවරවෙනකන් කිව්වා. ඊට පස්සේ මාව කැන්ටිමට එක්කගෙන ගිහින් මට තේ එහෙම අරගෙන දීලා මාව විශ්වවිද්‍යාලයට සාදරෙන් පිළිගත්තා. ඊට පස්සේ විශ්වවිද්‍යාලයේ තිබුණු සංදර්ශනවලටත් මම ගීත ගායනා කළා.

දෑස වසාගමි ඔබ නොපෙනෙන්නට
සිහිනෙක දැවටී ඔබ එනවා  
හිත හිරකරගමි ඔබට නොඑන්නට
සිතුවිල්ලක් වී ඔබ එනවා

අහසට ඔසවන විටකදි නෙත්යුග
හිරු සඳු වී ඔබ හිනැහෙනවා
මිහිමත පියකරු දසුනක් වේ නම්
ඔ‍බ රුව ඒ තුළ දැවටෙනවා

පාළුව ඉවසා මා තනිවෙද්දී
සුසුමක් වී පසුපස එනවා
කල්පිත ලෝකේ ගී පොත පෙරළා
ගීයක් වී ඔබ වැලපෙනවා

අහසත් පොළොවත් ඔබමද මාහට
නැතිවද ඔබ මා හැර යන්නේ 
තහනම් දේසේ බැඳි බැමි බිඳදා
කෙදිනද ඔබ මා හමුවන්නේ

කුඩා කාලේ ගුවන් විදුලිය ළඟටම වෙලා ගීත අහපු ඔබට පසුකාලයකදී ගුවන් විදුලියේ රැකියාව ලැබුණා නේද...?
ඔව්... මම ගුවන්විදුලියේ රැකියාව ලැබුණා. හැබැයි ගුවන්විදුලියට සම්බන්ධ වෙන්නත් කලින්ම මම ගුවන්විදුලි ආධුනික වැඩසටහන්වලට අයඳුම්පත් රාශියක් දැම්මා. ඒ කාලේ “මැලිබන් ගුවන් තොටිල්ල කියලා තරගයක් තිබුණා. මට මතකයි ඒ තරගයට මුලින්ම හයදාහක් විතර හිටියා. කොහොමෙන් කොහොම හරි ඒ තරගයේ දී මම අවසන් තුන්දෙනාටත් තේරුණා. ඒ තේරුණාට පස්සේ නන්දා මාලනී මහත්මියගේ “කරදර පොදි බැඳ ගැලපිට පටවා කියන ගීතය මම තෝරාගත්තා. අවසානයේ දී මම ඒ තරගයෙන් පළමු තැන ගත්තා. ඒ වෙනකොටත් මම ගුවන්විදුලියට ආධුනිකයෙක්. ඊට පස්සේ මම ගුවන්විදුලියේ සරල ගී වැඩසටහන සමත් වුණා. ඊට පස්සේ ගායනය පැත්තෙන් ටික ටික ඉදිරියට ගියා.

ඔබ ගුවන්විදුලියේ තනතුරු කිහිපයක්ම දැරුවා නේද...?
ඔව්... මුලින්ම මම ගුවන්විදුලිය සම්බන්ධ වුණේ පුස්තකාලයටයි. ඉතින් වැඩිපුරම මම ගීතත් එක්ක තමයි කාලය ගෙවුණේ. ඊට පස්සේ මම සහාය නිවේදිකාවක් ලෙසත්, වැඩසටහන් නිෂ්පාදිකාවක් ලෙසත්, ජ්‍යෙෂ්ඨ සංවිධායකවරියක් ලෙසත් කාලයෙන් කාලයට වැඩ කළා. වැඩසටහන් නිෂ්පාදිකාවක් ලෙස විවිධ වැඩසටහන් මම කළා. ඇත්තටම ගුවන්විදුලි ජීවිතය හරිම රසවත්. විවිධ ක්ෂේත්‍රයේ අය හඳුනාගන්න මට පුළුවන් වුණා. ඒකත් මගේ ජීවිතේ එක්තරා වාසනාවක් වෙන්නත් ඇති.

ගුවන්විදුලිය ඇසුරේ ජීවත් වුණත් ඔබ විසින් ගායනා කළ ගීත ඉතා සීමිතයි නේද...?
ඔව්... ඇත්ත... සංගීතයත් හදාරලා විභාගත් සමත් වෙලා ඇයි මෙහෙම නිහඬ කියලා බොහෝ දෙනෙක් මගෙන් ඇහුවා. මම ශාස්ත්‍රවේදී උපාධිය කරද්දීත් මම ගුවන්විදුලියේ සේවය කරනවා. රැකියාව කරන අතරතුරේදී මට සින්දු කිය කියා ඉන්නම වෙලාවක් ඒ කාලේ තිබුණේ නැහැ. මම සරල ගී කරද්දී ගීත ගායනා කළා. ගීත ගායනා කළත් මම ගීත බොහෝමයක් නම් ගායනා කළේ නැහැ. හැබැයි මම ගායනා කරපු ගීතවලට බොහෝ දෙනෙක් කැමතියි.

දෙනුවර මින් පසු එක නුවරක් මෙනි
ඔබේ හදවත මහදෙහි සෙවණැල්ලකි
යළි හෙට දිනයෙත් අපි හමුවන්නෙමු
අපි සක්විති රජ කිරුළු පැළැන්දෙමු

ළිංතොට ගංතොට ආදි තැනේයා
මල්මඳ බිසවුණි ඔබ හමුවූවා
සෙනෙහස් අරුනළු කිරණ ගෙනාවා
නොදනිමි ඔබ මගෙ හදවෙත ආවා

දැහැනකි ඔබ මගේ හදවත බන්දන
සෙනෙහස මිතුරෙකි දුක්ගිනි සින්දන
දිනයක් එළඹෙනු ඇත මන නන්දන
අසිනිය මල්මද සිරිකත කැන්දන

(යුග ගායනය - සෝමතිලක ජයමහ)

අද ඔබ දවස ගෙවන්නේ කොහොමද...?
අද අපි විශ්‍රාම සුවෙන් පසුවෙනවා. හැබැයි ගෙදරට වෙලා වැඩක් නොකර නිකම් ඉඳීමේ පුරුද්දක් මට නැහැ. මම තවමත් සංගීතය, ගීත ගායනය අතහැරලා නැහැ. ඒ නිසා තවමත් මම සංගීත පුහුණුවීම් කටයුතු කරනවා. ඒ වගේම කුඩා දරුවන් වගේම වැඩිහිටියන්ද සංගීතය ඉගෙන ගන්න මගේ ගෙදරට එනවා. ඒක ඇත්තටම මානසික තෘප්තියක්. මේ හැමදෙයක් නිදහසේ කරගෙන යන්න මගේ සැමියාගේන් ලොකු සහයෝගයක් ලැබෙනවා. විජයානන්ද තමයි මගේ සැමියා. ඉතින් ඔය අතරතුරේ සංස්කෘතික දෙපාර්තමේන්තුවෙන් අපිට සංගීත සංදර්ශනවලටත් ආරාධනා ලැබෙනවා. ඊට අමතරව මම නිදහස් වෙලාවට මගේ ගෙදර මල්වවනවා. සංගීතයත් මල්වැවීමත් කියන්නේ හරි අපූරු කලාවක්ම තමයි.

 

Text - Dishani  /  Pic – Sumudu