2018 ජුනි 16 වන සෙනසුරාදා

වයලීනයෙන් මතුවූ ලස්සන කටහඬවල්

 2018 ජුනි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 342

වර්තමානයේ හතු පිපෙන්නාක් මෙන් බිහිවෙන ගායක ගායිකාවන් මෙන් නොව අතීතයේදී ගායන ලොවට පා තබා නමක් හදාගන්නට හැකිවූයේ සැබෑ දක්ෂයාට පමණි. එදා අප රටේ තිබුණු එකම එක ගුවන් විදුලිය හරහා බිහිකළ ගායක ගායිකාවන් අද මේ රටේ සුවහසක් සංගීත රසකාමීන්ගේ ආදරයට හා ගෞරවයට පාත්‍ර වී තිබීම ඒ සඳහා දිය හැකි හොඳම නිදසුනකි.

ගායකයකු හෝ ගායිකාවක වීමට එදා තිබුණේ දැඩි තරගකාරී පසුබිමකි. එනිසා ගායනයට පිවිසි බොහෝ ශිල්පීන් ශිල්පිනියන් තුළ සංගීතය පිළිබඳ හොඳ දැනුමක්ද තිබුණි.  අද මෙම විශේෂාංගයෙන් අප විමසා බලන්නේ සංගීත ශිල්පීන් ලෙස, විශේෂයෙන්ම වයලීන් වාදකයන් ලෙස කලා ක්ෂේත්‍රයට අවතීර්ණ වී පසු කලෙක ජනප්‍රිය ගායකයන් ලෙස කිරුළු පලන් අතිදක්ෂ කලා ශිල්පීන් කිහිපදෙනකු පිළිබඳවය. වයලීනය මිනිස් කටහඬට ඉතා සමීපතම සංගීත භාණ්ඩය ලෙස සැලකීම ඊට ආසන්නතම හේතුව විය හැක. 

ටී.එම්. ජයරත්න


මහනුවර දොඩන්වල උපන් තෙන්නකෝන් මුදියන්සේලාගේ ජයරත්න අප කවුරුත් හඳුනන්නේ ටී.එම්. ජයරත්න ලෙසය.
දශක පහකට අධික කාලයක් දේශීය සංගීත කෙත පෝෂණය කළ ටී.එම්. ජයරත්නයන්ද තම සංගීත දිවියේ ආරම්භක යුගයේ දක්ෂ වයලීන වාදකයකු ලෙස කැපීපෙනුණු ශිල්පියෙකි.

දොඩන්වල කනිටු විදුහල, කටුගස්තොට ශාන්ත අන්තෝනි හා කුරුණෑගල මලියදේව යන විදුහල්වලින් අධ්‍යාපනය ලැබූ ටී.එම්. උසස් පෙළ සඳහා විද්‍යා විෂයන් තෝරාගැනීමට අදිටන් කර සිටියද ඔහුගේ පාසල් සංගීත ගුරු සමරබන්දු එදිරිමාන්නගේ බලකිරීම මත ඔහු කලා අංශයෙන් අධ්‍යාපනය හැදෑරීය. පාසල් කාලය තුළම ඔහු අතිදක්ෂ වයලීන වාදකයකු ලෙස ප්‍රකටව සිටියේය. 1966 දී ගුරු පත්වීමක් ලැබීමෙන් අනතුරුව ඔහු පාසල් කිහිපයකම සංගීත ගුරුවරයකු ලෙස කටයුතු කළේය.
ගුරු අභ්‍යාස විදුහලේ එක්තරා ප්‍රසංගයකදී ටී.එම්. වාදක මඬුල්ලේ වයලීන වාදකයකු ලෙස කටයුතු කරමින් සිටියේය. එක්තරා ගීතයක් ගායනා කිරීම සඳහා අදාළ ගායකයා පැමිණ සිටියේ නැත. එහි සංගීත කථිකාචාර්යවරයකු වූ සී. ද එස්. කුලතිලක මහතා එම ගීතය ගායනා කළ හැකි අයෙක් සංගීත කණ්ඩායමේ සිටීදැයි විමසීය. වයලීනය පසෙක තබා ටී.එම්. එම ගීතය ගායනා කළේ කවුරුත් මවිතයට පත් කරමිනි. ජන සංගීතයට වැඩි ඇල්මක් දැක්වූ ටී.එම්. එදා සිට ගායනයටද ප්‍රවිශ්ට වී 70 අග භාගයේ හා 80 දශකයේ සිට මෙරටේ ජනප්‍රිය ගායකයෙක් බවට පත් විය.

රත්තරන් නෙත් දෙකින්, එක සිත දෙතැනක නතරවෙලා, සිතට දැනෙන මේ ලතැවුල්, හිරුට හොරෙන්, සොඳුරු අතීතයෙ, කෝමා පැතූ, වලා තීරයෙන් එහා, සිතින් මා නොසැලී වැනි ගීත රැසක් ගැයූ ටී.එම්. ගේ ජනප්‍රියත්වය එදා මෙන්ම අද ද නොනැසී පැවතෙන්නකි.

වික්ටර් රත්නායක


කඩුගන්නාවේ උපන් ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ පියා දක්ෂ නූර්ති ගී ගායකයකු ලෙස ප්‍රකටව සිටියද ඔහු දේශීය වෙදකම පිළිබඳ හසල දැනුමක් තිබූ අයෙකි. සංගීත භාණ්ඩයක් හැටියට වික්ටර්ට පියාගෙන් ලැබුණු මුල්ම තෑග්ග සර්පිනාවකි. ඒ වික්ටර්ගේ 11 වැනි උපන් දිනය වෙනුවෙන් ලැබුණු තෑග්ගය. සර්පිනාව දක්ෂ ලෙස වාදනය කරමින් ගායනය කළ වික්ටර් 1958 හා 1959 වසර දෙක තුළ දීපව්‍යාප්ත අන්තර් පාඨශාලීය ගායනා තරගයෙන් මුල්තැන දිනා ගත්තේය.
මුල්ගම්පොළ එම්.ජී.පී. ආයතනයේ සිරිල් පෙරේරා ඇදුරුතුමන් යටතේ සංගීතය හැදෑරූ වික්ටර්ට, ඒ වන විට පියාගෙන් වයලීනයක්ද ලැබිණ. වයලීන වාදකයෙක් ලෙස සංගීත කණ්ඩායම් රැසක කටයුතු කළ වික්ටර්ට 1966 දී ගුරු පත්වීමක් ලැබිණ.
මේ කාලය වන විට වික්ටර් ගායනයටද පිවිසියේය. දශක 5කට අධික කාලයක් තුළ සංගීත ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා සුවිශාල මෙහෙවරක් ඉටුකළ වික්ටර් ගැයූ ජනප්‍රිය ගීත මෙතෙකැයි ලියා නිමකරන්නට බැරි තරම්ය.

මර්වින් පෙරේරා


1940 වසරේදී කුඩා පයාගල උපන් සංගීතවේදී හා ගායක මර්වින් පෙරේරා තම පියා වූ හර්මන් පෙරේරාගෙන් සංගීතය හැදෑරීය.
1960 දශකයේ සංගීත ගුරැවරයකු ලෙසද කටයුතු කළ මර්වින් පෙරේරා දක්ෂ වයලීන වාදකයකු ලෙස ප්‍රකටව සිටියේය.
1969 දී ඔහු ගැයූ මුල්ම ගීතය ඔබ දේදුන්න ආකාසයේ පටන් ඔහුගේ සෑම ගීතයක්ම රසික රසිකාවියන් ආදරයෙන් වැළඳගත්හ.

අමරසිරි පීරිස්


1940 දශකයේ ගුවන් විදුලි ශිල්පියෙකු වූ ඇල්බට් පීරිස්ගේ පුත් අමරසිරි පීරිස් ගුවන් විදුලියට බැඳුණේ A ශ්‍රේණියේ වයලීන වාදකයකු ලෙසටය. පසු කලෙක සංගීත අධ්‍යක්ෂක ලෙසද කටයුතු කළ අමරසිරි පීරිස් ගුවන් විදුලි සංස්ථාවෙන් විශ්‍රාම යන විට සංගීත අංශයේ අධ්‍යක්ෂක ලෙස කටයුතු කළේය.
ළඳුනේ, හන්තානට පායන සඳ, ඔබ ඇපල් මලක් වාගේ, මගේ පුංචි රෝස මලේ, මට මගේ නොවන ආදරයක් තිබුණා වැනි අතිශය ජනප්‍රිය වූ ගීත ගණනාවක් ගායනා කළ අමරසිරි පීරිස් තවමත් ප්‍රේක්ෂක ආකර්ෂණයට බඳුන් වී සිටින ගායකයෙකි.

බණ්ඩාර ආතාවුද


රුවන් තාරකා - නුවන් පායලා, සිතුවිලි සිරවී, සිහිනයකි ඔබ නිහඬ මැදියම් රෑ, ආශාවේ මල්, කොහේ යන්නෙද වැනි ජනප්‍රිය ගීත රැසක් ගැයූ බණ්ඩාර ආතාවුද අතිදක්ෂ වයලීන වාදකයෙකි. වසර 50කට ආසන්න කාලයක් ඔහු දේශීය සංගීත ක්ෂේත්‍රය පෝෂණය කිරීමෙහිලා මහඟු දායකත්වයක් ලබාදී තිබේ.

ප්‍රින්ස් උදය ප්‍රියන්ත


පසුගිය වසරේ අප අතරින් අකාලයේ සමුගත් ප්‍රින්ස් උදය ප්‍රියන්තද වයලීන වාදකයකු ලෙස දස්කම් දැක්වූ සංගීත ශිල්පියෙකි.
ඔබ පෑ පෙම් සිනා, සුදු මල් පොකුරක්, සමුදෙන්න සමුගන්නනම්, පෙම්වතුන් සිනාසේ, සීගිරියේ කුරුටු ගීත ලස්සනයි, මහද ප්‍රේමාදරේ වැනි ප්‍රින්ස් ගැයූ ගීත අදටත් ජනප්‍රියව පවතී.

නිමල් ගුණසේකර


ප්‍රේම මායා දැලේ, ආවාට තිබුණත්, ඉර නෑ වෙනස්වෙලා, මට නොවේ ඔබ ආදරේ කළේ, නංගිලාට වාසි බෝ වගේ වැනි ජනප්‍රිය ගීත ගැයූ නිමල් ගුණසේකරද ප්‍රකටව සිටියේ අතිදක්ෂ වයලීන වාදකයකු ලෙසටය.

 

► Text — Ramesh Uavis