2018 ජුනි 16 වන සෙනසුරාදා

යුරෝපයේ මනාලියන් වෙළඳපොළක්!

 2018 ජුනි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 83

අපේ රටේ සිදුවන විවාහ මංගල්‍යයකදී සාමාන්‍යයෙන් සිදුවන්නේ නැතහොත් මෙතෙක් බොහෝ විට සිදු වූයේ මනාලියගේ පාර්ශවයෙන් මනාල පාර්ශවයට දෑවැදි දීමය. සිංහල සමාජයට වඩා දෙමළ සමාජය තුළ මේ දෑවැදි කාරණය හොඳින්ම පෙනෙන්නට තිබේ. එහෙත් යුරෝපා රටක් වන බල්ගේරියාවේ ජීවත්වන රෝමා ජනතාව අතර ඇත්තේ ඊට හාත්පසින්ම වෙනස් සම්ප්‍රදායකි. එනම් මනාලයා විසින් මුදල් ගෙවා මනාලියක් කැන්දාගෙන යාමයි. 

බල්ගේරියාවේ රෝමා ජනතාව තඹ කර්මාන්තයෙන් තම ජීවිකාව සරිකරගන්නා සුළු ජන කොටසකි. මුළු බල්ගේරියාවේම වෙසෙන රෝමා ජන සංඛ්‍යාව 18,000ක් පමණ වෙතැයි ද කියැවේ. එනිසාම සෙසු බල්ගේරියානුවන්ට සාපේක්ෂව ඔවුන්ගේ අතමිට එතරම් සරු නැත. 

මේ රෝමා ජනතාවගේ ප්‍රධාන ඇදහිල්ල වන්නේ ඕර්තඩොක්ස් කතෝලික ආගමයි. එය අප දන්නා රෝමානු කතෝලික ආගම මෙන් නොව දැඩි විනය නීති පද්ධතියකින් සමන්විත එකකි. එනිසාම කාන්තාවන්ට වැඩිදුර අධ්‍යාපනය ලබා දීමක් සිදුනොකරන අතර වයස අවුරුදු දහ තුන, දාහතර පිරෙද්දීම ඔවුන් විවාහ කරදීමට මව්පියෝ යුහුසුළු වෙති. 

ඒ හැරුණු විට කාන්තා පිරිමි ප්‍රේම සබඳතාවලට හෝ විවාහයට පෙර ඇසුරු කිරීම්වලට මේ ජනකොටස තුළ ඉඩක් නැත. එනිසා රෝමා කාන්තාවක් හා රෝමා පිරිමියෙක් අතර විවාහයට පවතින එකම ක්‍රමය වන්නේ අවුරුද්දකට සිව්වරක් පැවැත්වෙන ‘මනාලියන්ගේ වෙළෙඳපොළයි. 

බල්ගේරියාවේ ප්‍රසිද්ධ නගරයක් වන ස්ටාරා සැගෝරාහි පැවැත්වෙන මේ මනාලියන්ගේ වෙළෙඳපොළට රෝමා ජනතාව එකතු වන්නේ තම දුවට හෝ පුතාට සුදුසු සහකරුවකු, සහකාරියක තෝරාගැනීමේ අරමුණ මෙන්ම ගෙවුණු මාස කිහිපය තුළ ගොඩගැසුණු ඕපාදූප කතා කිරීමටය. 

මුහුණට පුයර දමා, විවිධ ආලේපන උලා ලස්සන කරන ලද යුවතියන් කැඳවාගෙන එන මව්පියෝ වැඩිම ලංසුවක් තබන පිරිමියාට තම දියණිය විවාහ කරදෙති. රෝමා තරුණයන් ද සාප්පු සවාරියේ ඇවිද යනවාක් මෙන් යුවතියන් අතරින් ගමන් කරමින් තමන් හිතගත් එකියක හා මඳක් කතාබහ කරයි. රූපය දෙස බැලීමෙන් පසු කතාවෙන් ද ඈ පිළිබඳ තෘප්තිමත් නම් පිරිමියා ඈව විවාහ කරගැනීම වෙනුවෙන් ඇගේ මව්පියන්ට ගෙවිය හැකි මුදල පිළිබඳ දැනුම් දෙයි. 

සාමාන්‍යයෙන් එම මුදල යුරෝ 2000ත් 4500ත් අතර අගයක් ගනී. එය ලංකාවේ මුදලින් රුපියල් 375,000ත් 850,000ත් අතර අගයකි. කෙසේ වුවද ඉතාම ලස්සන තරුණියකගේ මිල ඊට වඩා වැඩිවිය හැක. 
එහෙත් දැන් දැන් රෝමා ජනතාවගෙන් නැඟෙන අඳෝනාවක් වන්නේ සාම්ප්‍රදායානුකූල මෙම මනාලියන්ගේ වෙළෙඳපොළට ඇදෙන පිරිමි පාර්ශ්වයේ පිරිස ක්‍රමයෙන් අඩුවෙමින් තිබෙන බවය. රෝමා තරුණයන් වෙනත් ජන කොටස්වලට අයත් තරුණියන්ට හොර රහසේ විවාපත් කරගැනීමට ඊට හේතුවයි.

Text — Rajitha