2018 ජුනි 16 වන සෙනසුරාදා

ගවුම නිසා පොල්ලක් තියලා

 2018 ජුනි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 92

අපේ සමහර නළු නිළියෝ මාධ්‍යත් එක්ක කරන ගනුදෙනුවලදි නම් හරිම දුර්වල බව අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. අලුත් පරපුරට විශේෂයෙන්ම අපේ පෙර පරපුරෙන් ගොඩාක් දේවල් ඉගෙනගන්න දේවල් තියෙනවා. ඒත් තරුණ පරපුර ඉන්නේ සියල්ල දත් අය වගේ නිසා කවදාවත් ඒ අය හැදෙන්නෙත් නැහැ.

එක්තරා තරුණ චිත්‍රපට නිළියකට ඇගේ අලුත්ම චිත්‍රපටයක් තිරගත වන කාලෙදී එක්තරා රූපවාහිනී නාලිකාවක සජීවී වැඩසටහනකට ආරාධනා කරලා තියෙනවා. ඒත් වැඩසටහනට පැයක් විතර තියෙද්දී මෙයාගේ ෆෝන් එක ඕෆ් කරලා අල්ලා ගන්නම බැහැ. මෙයා අදාළ නාලිකාවට කතා කරලා එන්න බැරි කතාවක් කියලත් නැහැ. ඔන්න මේ සිද්ධියෙන් සති දෙකකට පස්සේ එක්තරා උත්සවයකදී අර නාලිකාවේ කට්ටියට මේ නිළියව හම්බවෙලා.
ඔයා නම් අපිට මාර පොල්ලක් තිබ්බා නේද?

අනේ පොල්ලක් නෙවෙයි. ඒ ප්‍රෝග්‍රෑම් එකටම කියලා මහන්න දීපු ගවුම ලොකුවට මහලා. ඒක අන්දම හරියට මම තාර පීප්පයක් වගේ. ඒකයි අනේ මම නාවේ. හැබැයි පොල්ලක් නෙවෙයි. ඇය කිව්වලු.
පොල්ලක් නෙවෙයි? අඩුම ගාණේ එන්නේ නැහැයි කියලවත් නොකියා ෆෝන් එකත් ඕෆ් කරගෙන හිටියා. හරිම කැතයි වැඩේ.

 

ඒ කාලේ තිබුණ බැඳීම් අද නැහැ

මෑතකදී අප අතරින් වියෝවුණු ප්‍රවීණ මාධ්‍ය සොයුරකුගේ අවමඟුල් උත්සවයට පැමිණි සිටි බොහෝ දෙනකුගේ ඇස්වල කඳුළු පිරිලා තිබුණා. ඒ අතර ගොඩක්ම හිටියේ ඔහුත් එක්ක විවිධ මාධ්‍ය ආයතනවල වැඩ කරපු ඔහුගේ සහෘදයෝ වගේම ඔහු බිහිකරපු ගෝලයෝ.

අවමඟුලට ඇවිත් හිටිය මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක් කිව්වේ එදා ආයතනවල වැඩ කරද්දී තිබුණු කණ්ඩායම් හැඟීම, ළෙන්ගතුකම්, කැපවීම් අද දකින්න ලැබෙන්නේ නැහැයි කියලා.
ඒ අසල සිටි ප්‍රවීණ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂකවරයකුත් ඒ කතාව සනාථ කළා.

ඉස්සර නළු නිළියෝ රඟපාන්න ආවම පුළුවන් තරම් උත්සාහ කළේ තම තමන්ගේ චරිත හොඳට කරන්න. සීමිත පහසුකම් මැද වුණත් ඒ අය කැපවීමෙන් වැඩ කළා. අද රඟපාන්න බැරි බොහෝ දෙනෙක් කැපවෙන්න කැමති නැති වුණත් උපරිම සැප පහසුකම්නම් බලාපොරොත්තු වෙනවා. ඔහු කිව්වලු.

 

සත්තු හොඳයි බං මිනිස්සුන්ට වඩා

එක්තරා අධ්‍යක්ෂකවරයකු ඔහුගේ තිරගත වීමට නියමිත චිත්‍රපටයක් ගැන මාධ්‍යවේදියකු සමඟ සාකච්ඡාවක් පැවැත්වූවාලු.
කතාව අතරතුර අද නළු නිළියන්ගේ කැපවීම් සහ දක්ෂතා ගැනත් විවේචන ඉදිරිපත් කරන්න පටන් ගත්තලු. මේ චිත්‍රපටයේ අලි වගේම අශ්වයොත් යොදාගෙන තිබුණා.

මට හැබැයි එක දෙයක් කියන්න පුළුවන්. මේකේ රඟපාපු සමහරු නළු නිළියන්ට වඩා සත්තු ටික නම් හොඳට රඟපෑවා. කියලා. ඔහු කියලා තියෙන්නේ විහිළුවට. ඒත් මේ කොටස එක්තරා පත්තරේක ලොකුවට ගිය නිසා ඔහුට මල පැනලා.
මාධ්‍යවේදියා මේක පටිගත කරපු ටිකත් මකලා ඉවර නිසා දැන් ඔප්පු කරන්න විදිහකුත් නැහැ. මේ කතාව ගැන දන්න අයත් දැන් කියනවලු සත්තු හොඳයි බං මිනිස්සුන්ට වඩා කියලා.

 

සිවුරු ඇඳන් බොරු කියන්න එපා

මෑතකදී විකාශය වුණු එක්තරා ටෙලි නාට්‍යක බෞද්ධ භික්ෂූන් වහන්සේ නමකගේ චරිතයක් රඟපාන්න ප්‍රවීණ රංගන ශිල්පියකු තෝරා ගත්තා. කොටස් කීපයකම ඔහුගේ චරිතය දිව යන නිසා, ඔහු අධ්‍යක්ෂවරයාත් එක්ක දීර්ඝ ලෙස මේ ගැන සාකච්ඡා කළාලු. වැඩේ පටන් ගන්න කළින් මාසයක කාලයක ඉඳන් ඔහු පේවෙලා මේ වෙනුවෙන් දැඩි කැපවීමක් කළාලු.

දවස් 40කට වැඩි කාලයක් රෑපගත කිරීම් තිබුණේ අනුරාධපුර පැත්තේ. මේ කාලය තුළ ඔහු කොටින්ම කියනවානම් ජංගම දුරකථනයවත් පාවිච්චි කළේ නැහැ. උදේට මේකප් දාගෙන සිවුර ඇන්දට පස්සේ වැඩ ඉවර වෙන්නේ රෑ වෙලා.
ඔන්න දවසක් මේ නළුවා සිවුර පිටින්ම අධ්‍යක්ෂවරයා ළඟට ආවේ ඔහුගේ ජංගම දුරකථනයත් අතැතිව.

සති දෙකකින් විතර නෝනට කතා කළේ නෑ. කෝල් එකක් අරන් මම එයාට ආදරෙයි කියලා කියන්න ඕනේ. සිවුරු ඇඳගෙන එහෙම කිව්වට කමක් නැද්ද? ඔහු අධ්‍යක්ෂකගෙන් ඇහුවලු.
අධ්‍යක්ෂවරයත් ඔහුට අපූරු පිළිතුරක් දීලා තියෙනවා.

එහෙම කියන එකනම් ප්‍රශ්නයක් නැහැ. ඒත් ඉතින් සිවුරු ඇඳගෙන බොරු කියන එකනම් හොඳ නැහැ.  

 

► Text - Mithra