2018 ජුනි 09 වන සෙනසුරාදා

තව ඩිංගෙන් අපි දෙන්නා පරලොව

 2018 ජුනි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 230

චිලී.. කියමුකෝ සාලියව මුලින්ම මුණගැහුණේ කොයි කාලේදිද කියලා?
සාලියව මට මුලින්ම මුණගැහුණේ මීට අවුරුදු නවයකට විතර උඩදියි. මට මතක විදිහට අපේ යාළුවෙක්ගේ පාටියකදී තමයි අපි මුලින්ම මුණගැහුණේ. එතකොට එක්තරා නර්තන ප්‍රසංගයකටත් සාලිය සම්බන්ධ වෙලා හිටියා. ඒ වෙනකොට නර්තනයෙන් සාලිය ගොඩක් ජනප්‍රිය වෙලයි හිටියේ. ඉතින්... ඒ වෙද්දී සාලියගේ නර්තන මම දැකලා තිබුණා. ඒ නිසා අපි එදා පාටියේදී ඒ නර්තන ගැන කතා කළා. මම ඇත්තටම ඒ නර්තනයන් අගේ කළා. මම ආස කරපු නර්තන අංග ඒ තරගාවලිය පුරාම සාලිය කළා. ඉතින් ඒකට මම හරි ආසයි. ඉතින් මුලින්ම අපේ මුණගැසීම තමයි ඒ.

ඉතින් පස්සේ ඒ මුණගැසීම අපූරු යාළුකමක් වුණාද?
ඔව්.. ඒ මුණගැසීමෙන් පස්සේ සාලියයි මමයි ඉඳලා හිටලා දුරකථනයෙන් කතා කළා. කොහේ හරි දැක්කත් අපි ළඟට ගිහින් කතා කළා. ඔය කාලේදීම තවත් මාධ්‍ය ආයතනයකින් පවත්වපු රියැලිටි වැඩසටහනක සාලිය නිවේදනය කළා. මම ඒ තරගාවලියට සහභාගී වුණා. ඉතින් ඒ හරහා අපි නිතර නිතර මුණගැසුණා. විහිළු තහළු කළා. අවුුරද්දකට විතර කාලයක් ඒ වැඩසටහන තිබුණා. ඉතින් ඒ කාලයක් පුරාවට අපි හොඳ යාළුවෝ වුණා.

ඔය කාලයේදීම නේද චිලියි සාලියයි මාතර ට්‍රිප් එකක් එහෙමත් ගියේ?
ඔව්නේ.. අපි යාළුවෝ වුණාට පස්සේ අපිටම හිතුණා ට්‍රිප් එකක් යන්න ඕනේ කියලා. ඉතින් මමයි සාලියයි, රංජන් අයියයි (රන්ජන් රාමනායක) මාතර පැත්තේ ට්‍රිප් එකක් ගියා. ඒක හරිම විනෝදජනකයි. වාහනයේ යද්දි සින්දු කිය කියා විනෝද වෙවී ගියපු ඒ සැහැල්ලු ගමනේදී අපේ යාළුකම තවත් වැඩි වුණා.

හැබැයි ඒ ගමනේදී සාලියයි, චිලියි ඇති පදමට පීනලා ගමේ මිනිස්සුන්ගේ ඔරැවල බයටම ආවා කියලයි ආරංචිය?
ඔව්.... ඔව්.... ඒ කතාවනම් ඇත්ත. ට්‍රිප් එක ගිහින් රන්ජන් අයියා හොටෙල් එකේ නිදාගෙන ඉද්දි අපි දෙන්නටම කම්මැලි හිතිලා අපි දෙන්නා ටිකක් ඒ පළාතේ ඇවිදිද්දී ලස්සන ගඟක් තියෙනවා දැකලා දෙන්නටම ඒකේ පීනන්න හිතුණා. ඉතින් ආයේ දෙපාරක් හිතුවේ නැහැ. අපි දෙන්නම පීනුවා. ගඟ මැද කුඩා දූපතක් තියෙනවා. ඒකටත් ගියා. ඊට පස්සේ ආයෙත් කොහොමහරි දෙන්නම එගොඩටම පීනුවා. කොහොමහරි මෙගොඩ ඉඳන් එගොඩටම පීනුවා කියලා කියන්නකෝ.. අපි දෙන්නව දැක්ක ගමන් අර ගමේ මිනිස්සු හොල්මන් දෙකක් දැක්කා වගේ අපි දෙන්නා දිහා පුදුමයෙන් බලාගෙන ඉන්නවා. දැන් මේක අපිටත් ප්‍රශ්නයක්. ටික වෙලාවක් අපි දිහා බලාගෙන හිටපු මනුස්සයෙක් කොහොමද මහත්තයෝ මෙගොඩට පීනුවේ? ඔය ගඟේ මැද හරිය බිලි ගන්න තැනක්නේ. පසුගිය සුමාන දෙකෙත් දෙන්නෙක්ම බිලි ගත්තා. පුදුමයි ඔය මහත්තුරු දෙන්නා බේරුණේ. කියලා කිව්වා. නාපු සීතලටත් වඩා වේගෙන් බයටම අපි දෙන්නව ගැහුණා. ඊට පස්සේ ඒ ගමේ මිනිස්සු එකතු වෙලා ඔරුවකින් තමයි ආයේ සාලියවයි, මාවයි මෙගොඩට ගෙනාවේ. එහෙම වුණේ නැත්නම් අපි දෙන්නා මෙගොඩ නොවේ.. පරලොව තමයි යන්න වෙන්නේ.

සාලිය කොයි වගේ කෙනෙක්ද?
සාලිය විනෝදකාමී කෙනෙක්. සතුටින් ඉන්න ආස කෙනෙක්. අපි මුණගැහුණාම හොලිවුඩ්, බොලිවුඩ් නිර්මාණ ගැන කතා කරනවා. සින්දු ගැන කතා කරනවා. සාලිය බොලිවුඩ් පැත්තට හරි කැමති කෙනෙක්. අපි කාගෙන් හරි දෙයක් බලාපොරොත්තු වෙද්දී ඒ දේ නොලැබුණාම සාලියට කේන්ති යනවා. මමත් කේන්ති යන චරිතයක් තමයි. නමුත් මම සාලිය වගේ කලබල නැහැ. ඉවසන්න මට පුළුවන්කමක් නැහැ. හැබැයි වැඩක් ඇතුළේදී සාලියට ඉවසන්න බැරිකමක් තියෙනවා. හැබැයි යම් වැඩක් බාරගත්තොත් ඒ වෙනුවෙන් උපරිමයෙන්ම සහයෝගය චිලීගෙන් ලැබෙනවා.

මෑත කාලයේදී නැවතත් චිලීටයි, සාලියටයි රියැලිටි තරගයකට සහභාගී වෙන්න අවස්ථාව ලැබුණා?
ඔව්.. මුලින්ම මට තමයි එම නාලිකාවෙන් ආරාධනාව ලැබුණේ. ඊට පස්සේ මගෙන් ඇහුවා ඔයාගේ පාට්නර් කවුද කියලා. ඒ වෙලාවේ මගේ ඔළුවට ආවේ සාලියගේ නමයි. හැබැයි ඔය කාලයේදී සාලිය මේ ක්ෂේත්‍රයෙන් ටිකක් නිහඬ වෙලයි හිටියේ. කාලයක් තිබුණ යාළුකම මොකද්දෝ හේතුවක් නිසා අවුරුදු දෙකක් විතර නිහඬ වෙලයි තිබුණේ. ඒකට හේතුව  අපේ යාළුකමේ පළුදුවීමක් නෙවේ. සාලිය ක්ෂේත්‍රයේ නිහඬකමක් තිබුණා. ඉතින් මට සාලියට කතාකරගන්න බැරි වුණා. කොහොමහරි FB එකෙන් එහෙම මැසේජ් දාලා ඒවා දැකලා එයා මට කතා කළා. ඊට පස්සේ තමයි අපි දෙන්නා මේ තරගයට ඉදිරිපත් වුණේ. සාලිය මේ නර්තන තරගයට ‍ලොකු සපෝට් එකක් දුන්නා. සාලිය හැමෝම දන්න විදිහට විනෝදකාමී කෙනෙක් වගේම හරිම සංවේදී කෙනෙක්. විනෝද වෙන්න ගියාම සාලිය උපරිමයෙන් විනෝද වෙනවා. සංවේදී තැනකදී සාලිය ගොඩක් සංවේදී වෙනවා.

සාලිය වගේ යාළුවෙක් ලැබීම ගැන මොකද හිතෙන්නේ?
ඇත්තටම සතුටුයි. සාලිය ගොඩක් හොඳ යාළුවෙක්. අපේ අවුරුදු ගාණක් තිස්සේ තිබුණ යාළුකම තාමත් තියාගෙන ඉන්නවා. ඇත්තටම ගොඩක් සතුටුයි. 

මීළඟට අපි කතා කළේ චිලීගේ හොඳම යාළුවා වුණ සාලිය සත්‍යජිත් සමඟයි. බලමුද සාලිය මොකද කියන්නේ කියලා?
චිලිනම් කිව්වේ සාලියයි, චිලියි මුලින්ම මුණගැහුණේ එක්තරා පාටියකදී කියලා. ඇත්තද ඒ කතාව?

ඔව්. ඒකනම් ඇත්ත. හැබැයි චිලීගේ මුල්ම ගීතය ඒ වෙද්දිත් මම අහලයි තිබුණේ. ඒ වීඩියෝ එකේදිත් චිලීව දැකලයි තිබුණේ. ඒක දැක්කට පස්සේ ඒ සින්දුවට ඇත්තටම මට ආස හිතුණා. ඒක එයා හොඳට ගායනා කරලා තිබුණා. ඊට පස්සේ තමයි අපි පාටියකදී හමුවුණේ. ඒ වෙද්දී මම සිරස ඩාන්සින් ස්ටාර් කරලයි තිබුණේ. ඒ අතරේ ඒ පාටියේදී චිලීත් මාව දැකලා අපි දෙන්නම එක පාරටම දැකලා අපි දෙන්නම ළඟට ගිහින් කතා කළා. ඇත්තටම ඒක නිහතමානී හමුවීමක්. එදා අපි බොහෝ දේවල් කතාබහ කළා. ඒක තමයි අපේ යාළුකමේ ආරම්භය වෙන්නේ.

චිලී මොන වගේ කෙනෙක්ද?
චිලීගේ සැබෑ ජීවිතේ ගත්තොත් චිලී හරිම සංවේදී කෙනෙක්. එයාට ගොඩාක් ආදරේ ඕනේ. එයා ඇත්තටම පොඩි ළමයෙක් වගේ. ගොඩාක් උස මහත වුණාට එයා හදවතින් පොඩි දරුවෙක් වගෙයි. කිසිම දෙයක් එයා ඇත්තටම ඔළුවට ගන්නේ නැහැ. කිසි දෙයක් ගණන් ගන්නේ නැහැ. බොහෝම සරල ජීවිතයක් තමයි චිලී ගත කරන්නේ. ඉක්මණටම හිනාවෙන, 

ඉක්මණටම කේන්ති යන, ඉක්මණටම ඒ කේන්තිය නිවෙන අපූරු යාළුවෙක් තමයි චිලී කියන්නේ. මේ ක්ෂේත්‍රයේ මම දැකලා තියෙන බොහෝ දෙනෙක් ජීවිතේ උඩින් මවා ගත්ත ප්‍රතිරූපයක තමයි ජීවත් වෙන්නේ. තිරය ඉදිරියේ විතරක් නෙවේ ඔවුන් තිරය පිටුපසත් රඟපානවා. ඒ චරිත එක්ක ගනිද්දි චිලී හරි වෙනස්. ඕනෑම තැනක සෙරප්පු දෙකක් වුණත් දාගෙන බැහැලා ඕනෑම සමාජයක ඇසුරු කරන්න පුළුවන් හරිම සරල මිතුරෙක්. එයා ඇත්තටම යාළුකමට හොඳ මිතුරෙක්.

චිලී වැඩිපුරම කන්න එහෙම කැමති මොනවද?
එයා ඔය ඉන්දියන් කෑමවලට හරි කැමතියි. සමහර වෙලාවට මචං අපි ගිහින් තෝසේ එකක් කමුද? කියලා මාවත් එක්කගෙන ඔය නළුකම් ඔක්කොම පැත්තකට දාලා තෝසේ කඩේකට රිංගලා සාම්බාරු එහෙම බෙදාගෙන බඩ පැලෙන්න තෝසේ කනවා. ඔය වගේ හිටපු ගමන් අපි දෙන්නට මොනවා හරි දෙයක් හිතෙනවා. යන්ද පොඩි ට්‍රිප් එකක්? මචං අපි කන්න එළියට යමුද? කියලා මොනවා කිව්වත් අපි එහෙම ගිහින් විනෝද වෙන අවස්ථා අනන්තවත් තියෙනවා.

දෙන්නා එහෙම තරහා වෙලා නැද්ද?
ඇයි නැත්තේ? අපි ඕනෑම දෙයක් කතා කරනවා. ඒ කතා කරද්දී අපි ඒ දේ ගැන ඉවරයක් වෙනකම්ම කතා කරනවා. හොඳ හා නරක දෙපැත්තම අපි කතා කරනවා. බොහෝ වෙලාවට යාළුවෙක් තව යාළුවෙක්ගේ හිත රිදෙයි කියලා නරක කියන්නේ නැතිව ඉන්නවනේ. හැබැයි අපි එහෙම නැහැ. සමහර වෙලාවට අපි දෙන්නා බැණගන්න වෙලාවලුත් තිචයෙනවා. එහෙම බැණගෙන දෙන්නා දෙපැත්තට  ගිහින් ආයේ අපිම කතා කරන වෙලාවල් තියෙනවා. අපි දෙන්නට කිසිම දෙයක් හංඟන්න ඕනේ නැහැ. අපි ගොඩක් අදහස් හුවමාරු කරගන්නවා. සමහර වෙලාවට එයාට හොඳ දේ මට නරකයි. මට නරක දේ සමහර වෙලාවට එයාට හොඳයි. හැබැයි අපි හොඳ යාළුවෝ. ඒ හැමදේම අපි කතාබහ කරනවා.

පසුගිය කාලේදී චිලියි, සාලියයි හරි හරියට නැටුවනේ.. කොහොමද ඒ නැටුම්?
ඔව්... ඒ නර්තන තරගාවලියට අපි දෙන්නා සහභාගී වුණා. මම මේ ක්ෂේත්‍රයට ආරම්භය පැත්තෙන්ම හිටියේ නර්තනය පැත්තෙනුයි. චිලීගේ ආරම්භය ගායනය පැත්තෙනුයි. හැබැයි චිලී මුල ඉඳන්ම එක රාමුවක තමයි හිටියේ. නමුත් චිලී මාව හම්බෙලා කතා කරද්දී ඔහු තුළ වෙනස් දක්ෂයකු සිටින බව මට වැටහුණා. ඒ දක්ෂයාව මට එළියට ගන්න ඕන වුණා. අපි ඒ තරගාවලියේ බොහෝ දුරක් ආවා. සමහර තැන්වලදී මචං.. මට මේක ගැලපෙන්නේ නෑ නේද? මට මේක හරියන්නේ නෑ නේද? කියලා අහද්දී නැහැ මේක ඔයාට කරන්න පුළුවන්. කියලා වෙනස් කරපු තැන් තිබුණා. චිලී ගොඩාක් දක්ෂ කෙනෙක්. යාළුවෙක් හැටියට විතරක් නෙවේ.. කලාකාරයෙක් විදිහටත් චිලීගේ වෙනස් දක්ෂතා එයාගෙන් මඟහැරෙන තැන් තිබුණා.

චිලී වගේ යාළුවෙක් ජීවිතයට ළංවීම ගැන සාලිය මොකද හිතෙන්නේ?
හොඳයි. මම යාළුකමට මුලින්ම මුල් තැන දෙන්නේ විශ්වාසයටයි, ඇත්තටයි. මමත් නළුවෙක්නේ. ඉතින් තව කෙනෙක් රඟපාද්දී මට තේරෙනවා. චිලී සැබෑ ජීවිතයේදී රඟපාන්නේ නැහැ. චිලී කවදාවත් මගේ හොඳ විතරක් දැක්කේ නැහැ. චිලී කවදාවත් මාව ඇන්දුවේ නැහැ. මගේ නරකත් චිලී දැක්කා. යාළුවෙක් විදිහට ඒ නරක දේ චිලී පෙන්නලා දුන්නා. ඒ යාළුකම හරි අපූරුයි.

► Text — Dishani  /  Pic -  Sumudu & Internet