2018 ජුනි 09 වන සෙනසුරාදා

මගේ නැද්දම්මා පුදුම චිත්‍රපට පිස්සියක්

 2018 ජුනි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 140

අපි ඔබේ ළමා කාලය ඉඳන් මේ කතාව ආරම්භ කළොත්... මුලින්ම ඔබේ ගම්පළාත කොහේද...?
මම කොළඹ මෝදර රජමල්වත්තේ තමයි ඉපදුණේ. මගේ පප්පා රස්සාවක් කළේ නැහැ. මම්මත් රස්සාවක් කළේ නැහැ. හැබැයි මගේ පප්පට මෝදර දේපල තිබුණා. මගේ සීයාට තමයි බෝහෝ දේපළ තිබුණේ. අපේ පවුලේ දරුවන් පස් දෙනෙක් හිටියා. මට ලොකු අක්කලා දෙන්නෙකුයි, මල්ලියි නංගියි තමයි මට හිටියේ. අපි කතෝලික පසුබිමක ජීවත් වුණු පවුලක්.

පුංචි කාලේ හයිසින්ත් දඟ ළමයෙක් ද...?
අම්මෝ ඔව්... දඟ මල්ලක්. පවුලේ වැඩිපුරම දඟ වැඩ කළේ මම තමයි. ඉස්සර මම කොලු ළමයි කරන වැඩ තමයි කළේ. ගස් උඩ නගිනවා, වහලවල් උඩ නගිනවා. කාත් එක්ක වුණත් බයක් නැතිව රණ්ඩුවට යන්නේ මම. පිල්බෝල ගහලා කවුරු හරි හොර වැඩක් කළොත් බිම දාගෙන ගහනවා. අක්කලා දෙන්නනම් කිසිම දඟක් නැහැ. පොඩි නංගි වුණත් දඟ නැහැ. හැබැයි මල්ලිටත් දඟ වැඩේට හවුල් කරගෙන මම තමයි වැඩිපුරම දඟ වැඩ කරන්නේ. මම තමයි මල්ලිට දඟ වැඩ උගන්වන්නේ.

ඔහොම ගැහැනු දැරිවියන් දඟ කරද්දී පප්පාගෙනුයි මම්මාගෙනුයි වේවැල පහර ලැබුණේ නැද්ද...?
නැහැ. මගේ පප්පා හරිම රත්තරන් කෙනෙක්. පප්පා අනිත් අයට හරි සැරයි. හැබැයි දරුවෝ පස්දෙනාට කවදාවත් ගහලා නැහැ. හැබැයි මම්මා අපිට දෙනවා පාර මතක හිටින්න. මම්මා තමයි අපිට ගහන තරමක් ගහන්නේ. හැබැයි ඒ කිසිම දෙයක් පප්පා දන්නේ නැහැ. පප්පා ගෙදර එනවෙලාවට මම්මා ඉන්නේම අපේ වටේම තමයි. මම්මා ගහන පාරවල් හරිම සැරයි. ඉතින් නිල්වෙලා තියෙන ඒ පාරවල් අපි පප්පාට පෙන්නයි කියලා මම්මා අපි වටේම කැරකෙනවා. ඉතින් අපිත් මම්මාව අවුස්සන්න “මම්මා කියන්නද... කියලා බොරුවට අහනවා.

හයිසින්ත් ඉස්කෝලේ ගියේ කොහාටද...?
මම දෙවන පන්තිය දක්වා ගමේ ශාන්ත ජේම්ස් මිශ්‍ර පාසැලට ගියා. ඊට පස්සේ ශාන්ත අන්තෝනි බාලිකා පාසැලට ගියා. පාසැලේදීත් මම හරිම දඟයි. හැබැයි ඒ ගැන සිස්ටර්ලාවත්, ගුරුවරියන්වත් දැනන් හිටියේ නැහැ. මගේ හොඳම යාළුවෝ හය දෙනෙක් විතර හිටියා. අපි තමයි ඉස්කෝලේ දඟ වැඩ ඔක්කොම කරන්නේ. ඒ දඟ වැඩවල මූලිකයා තමයි මම. හැබැයි සිස්ටර්ලා නම් මම දඟලනවා කියලා විශ්වාස කළේ නැහැ. සිස්ටර් මට පුදුම ආදරෙයි. සමහර දඟ වැඩ කරද්දී පොඩි නංගිලා “මේ අක්කා තමයි කළේ කියලා ලොකු සිස්ටර්ට කිව්වම “බොරු කියන්න එපා ළමයි... ඒ දරුවා එහෙම කරන්නේ නැහැ. කියලා කියනවා.

පුංචි කාලේ හයිසින්ත්ගේ හීනය වෙලා තිබුණේ කවුරු වෙන්නද...?
පුංචිම කාලේ මම හිතුවේ හෙදියක් වෙන්නයි. ඒකට හේතුවක්ම කියලා නැහැ. හැබැයි ලෙඩ්ඩුන්ට බෙහෙත් දෙන විදිහ වගේ දේවල්වලට මම හරි ආසයි. ඉස්කෝලේදීත් ගුරුවරු කවුරු වෙන්නද ආස කියලා කියද්දී මම කිව්වෙත් “නර්ස් කියලම තමයි. ගෙදර ඇවිල්ලත් මම ලොක්කා වගේ ඕන කිව්වා. ඒ වෙලාවේ අපේ පප්පා “මොනවද ඔය... ඕවා පිස්සු වැඩ... ගැහැනු රස්සාවල් කරන්නේ නැහැ. කියලා කිව්වා. ඊට පස්සේ ඒක එහෙම්ම ඉවරයි. කාලයක් ගියාට පස්සේ මට සිස්ටර් කෙනෙක් වෙන්න ඕන වුණා...

ඒකට ප්‍රධාන හේතුව ඔබේ නැගණියගේ වියෝව නේද...?
ඔව්... ඒකම තමයි. මගේ නංගි අවුරුදු එකොළහේ දී තමයි නැති වුණේ. එතකොට මට අවුරුදු දාහතරයි. නංගියි මායි හරිම එකතුයි. අපිට කලා ඔය ළඟ ලොකු වත්තක් තිබුණා. අපි නිවාඩු කාලේ එහේ යන්න හරි ආසයි. ඉතින් පප්පා අපි පස්දෙනාව අපේ වත්තට අරගෙන ගියා. ඒ කාලේ පප්පාට ඒ පැත්තේ අය හරියට ගරු කරනවා. ඉතින් අලුතින් කඩ කිහිපයක් විවෘත කරන්න පප්පට ආරාධනා ලැබිලා පප්පා අපිට වත්තේ ගෙදර තියලා ගියා. අපි මම්මට කියලා ඒ ගඟට ගියා. ඇත්තටම අපි නෑවෙත් ගොඩ ඉඳන් බාල්දිවලින්. එච්චරම වතුර තිබුණේ නැහැ. නංගියි මල්ලියි ඉස්සරහට ගියපු ගමන් වලකට වැටුණා. මම ඒ දෙන්නා ළඟට ගියා. මාවත් ඒ අය බදාගත්තා. අපි තුන්දෙනාම වලට වැටෙද්දී අක්කටත් තේරිලා එයත් ආවත් අපි හතරදෙනාම වල යට. 
කොහොම හරි අපේ උදව්වට හිටපු සෝමා දැකලා කෑ ගහලා ගමේ අය තමයි අපිව බේරා ගත්තේ. මගේ නංගි කළුයි. ඒ නිසා නංගි හොඳටම කළුවෙලා තිබුණා. මම පුංචි කාලේ සුදුයි. මාව හොඳටම නිල් වෙලා තිබුණා. ගමේ අය හිතුවේ මටයි අමාරු කියලා. අනුරාධපුර රෝහලේදී නංගි නැති වුණා. ඊට පස්සේ නංගිව පිටිපස්සේ හර්ස් එකේ තියාගෙන අපේ වාහනය ඉස්සරහින් පැදගෙන කොළඹ ආවා. නංගීගේ වියෝවත් එක්කම මම ගොඩාක් කලකිරුණා. නංගියි මායි තමයි හැමදාම පූජාවට පල්ලියට ගිහින් යාඥා කළේ. ඉතින්... මට සිස්ටර් කෙනෙක් වෙන්න දෙවියන් වහන්සේ වෙනුවෙන්ම කැපවෙන්න ඕන වුණා. හැබැයි ඒකටවත් පප්පා කැමති වුණේ නැහැ. පප්පා අපිට හරිම ආදරෙයි ඒ නිසා පප්පා නංගි නැති වේදනාව අපේ හිතින් අමතක කරන්න අපි ළඟටම වෙලා හිටියා.

කාලයක් යද්දී හයිසින්ත්ගේ හිත දිනාගත්තු තරුණයෙක්ගෙන් යෝජනාවක් ආවා කියලයි ආරංචිය...?
ඔව්... ඉස්කෝලේ යන ගමන් අයිවන් මාව දැකලා මගේ අක්කගේ මහත්තයාගෙන් මම ගැන අහලා තිබුණා. අයිවනුත් අපේ ගමේම කෙනෙක්. මගේ අක්කාගේ මහත්තයාගේ යාළුවෙක්. අයිවන් මම ගැන අහද්දී මුලදී මම බැහැම කිව්වා. ඊට පස්සේ අයිවන් මගේ පප්පා ළඟට ඇවිත් කෙළින්ම මම ගැන ඇහුවා. පප්පා කෙලින් කතාකරන අයට හරි කැමැතියි. ඉතින් පප්පා අයිවන්ට කියලා තියෙන්නේ “අපි බලමු කියලයි. ඒ බලමු කියන වචනය මට අයිවන් කියද්දී පප්පා මේකට කැමැත්ත දෙන විත්තිය මම දැනගත්තා. ඒ කාලෙදීම පප්පාගේ ලොකු ඔපරේෂන් එකක් තිබ්බා. ඒ නිසාම මගේ පප්පගේ අම්මාත් කිව්වා “මේක කරමු කියලා මගේ කැමැත්තත් ඇතිව යාළුවෙලා අවුරුද්දකින් විතර පස්සේ අපිට කසාද බැන්දුවා.

හයිසින්ත් කලාවට එකතුවෙන්නේ ඔබේ විවාහයෙන් පස්සේ...?
ඔව්... විවාහයෙන් පස්සේ අපිට පුතෙක් ඉපදුණා. එයා ශිරෝෂ් විජේරත්න. ඉගෙන ගත්තේ ශාන්ත පීතර විද්‍යාලයේ. අයිවන්ගේ මමීයි අයිවන්ගේ ලොකු අක්කයි හරියට ෆිල්ම් බලනවා. අයිවන්ගේ මමී තමයි මාව ෆිල්ම් බලන්න එක්කරගෙන ගියේ. මගේ නැද්දම්මා පුදුම චිත්‍රපට පිස්සියක්. එයාලගේ නෑයෝ ෆිල්ම්ස් කරලා තියෙනවා. අයිවන්ගේ මමී මට හරි ආදරෙයි. ඒක පුදුමාකාර ආදරයක්. එයා හැමවෙලේම “ඔයා ඇක්ට් කරන්න හොඳයි. කියලා කියනවා. ඔය අතරේ “නිළියක් ඕනේ කියලා දාලා තිබුණා දැන්වීමක් පත්තරේ දාලා තියෙනවා දැකලා මමී ගොඩාක් සතුටු වුණා. “ඔන්න ඔයාගේ චාන්ස් එක කියලා තමයි මමී කිව්වේ. 

අයිවනුත් අකමැත්තක් තිබුණේ නැහැ. ඉතින්... මමීම අයදුම්පතක් දැම්මා. එන්න කියලා ලියුමකුත් ආවා. හැබැයි ඒ වෙලාවේ මම “අයිවනුත් රඟපානවා නම් විතරයි මම රඟපාන්නේ කියලා කිව්වා. ඉන්ටවීව් හෝල් එකට යද්දීම ඈත තියාම ගොඩාක් සෙනඟක් මම දැක්කා. ඉතින් මම ආයෙත් හැරිලා එන්න හදද්දී “අපි ගිහින් බලමුකෝ කියලා මමීම කිව්වා. ඉතින්... ඒ විදිහට මාව මාලනී, ගීතා එක්ක ප්‍රධාන චරිතයකට තෝරාගත්තා. “පෙම්බර මධු චිත්‍රපටයෙන් පටන්ගත්තු ගමන තමයි මේ. ඊට පස්සෙත් මට ප්‍රධාන චරිත බොහෝමයකටම ආරාධනා ලැබුණා. හැබැයි ඒ හැම එකක්ම මම බාරගත්තේ නැහැ. මම කොටට අදින චරිත බාරගත්තේ නැහැ. දරුවෙක් ඉන්න අම්මා කෙනෙක් විදිහට මම ඇඳුම් ගැන ගොඩාක් සැලකිලිමත් වුණා.

පප්පා හයිසින්ත් රඟපානවට කැමති වුණාද...?
නැහැ... මුලදී පප්පා දැනගෙන හිටියේ නැහැ. මම රඟපාන්න ගියා. සද්ද නැතිව රඟපෑවා. ඊට පස්සේ සද්ද නැතිව හිටියා. ඔය කාලේදීම මගේ කවරයක් පුවත්පතක පළවුණා. අපේ පප්පාට සිංහල හොඳට කතා කරන්න පුළුවන් වුණාට සිංහල කියවන්න බැහැ. හැබැයි කවුදෝ කෙනෙක් මගේ පින්තූරේ පළවුණු පත්තරේ ගෙනත් පප්පට පෙන්නලා තිබුණා. ඒක දැකපු ගමන් පප්පා ඒ මනුස්සයාටම කියලා මගේ ආටිකල් එකත් කියවලා. එදාම පත්තරේත් රෝල් කරගෙන අපේ ගෙදරට ඇවිත් “මේ මොනවද කරන පිස්සු වැඩ. කියලා ඇහුවා. මම කිව්වා “පප්පා... පප්පා... එහෙම කියන්න එපා... අයිවන් එක්ක මම ගියේ. ආයේ යන්නේ නැහැ. කියලා ෂේප් කළා. ඊට පස්සේ එක දෙක කරද්දී පප්පා මුකුත් කිව්වේ නැහැ. මම රඟපාපු ෆිල්ම් පප්පා හොරෙන් බැලුවද දන්නේ නම් නැහැ. හැබැයි පප්පා මැරුණට පස්සේ පප්පාගේ කබඩ් එකක් අස්කරද්දී මම ගැන ලියපු අර පත්තර පිටුව හරි අපූරුවට පප්පා පරිස්සම් කරලා තියලා අපිට ලැබුණා.

හයිසින්ත් වේදිකා නාට්‍යවලටත් සම්බන්ධ වුණා නේද...?
ඔව්... අයිවන්ගේ අශෝක පෙරේරා කියන යාළුවා වේදිකා නාට්‍යයක් කළා. අශෝක මට මේ වේදිකාවට කතා කළා. ඒ “කාල යක්ෂණී කියන නාට්‍යයයි. මුලින් අකමැත්තෙන් තමයි මම වේදිකා නාට්‍යය සම්බන්ධ වුණේ. ඊට පස්සේ දිමුතු මුතු  ටෙලිනාට්‍යය කරද්දී මට ආරාධනා ලැබුණා. ඉස්සර ඉඳන්ම ගස්වටේ දුවන, ආදර දෙබස් කියන චරිත කරන්න මම ආසා වුණේ නැහැ. මුල ඉඳන්ම මම ආස කළේ අම්මා කෙනෙක්ගේ, අක්කා කෙනෙක්ගේ චරිත කරන්නයි. දරුවෙක් ඉන්න අම්මා කෙනෙක් විදිහට පෙම් චරිත කරන්න මම ආස කළේ නැහැ. ඉතින් දිමුතුමුතු නාට්‍යයේ උඩුකිඳ මැතිනියගේ චරිතය මම රඟපෑවා. පළමු ටෙලිනාට්‍යය වුණු දිමුතුමුතු ටෙලිනාට්‍යයට සම්බන්ධ වීමත් සමඟම ටෙලිනාට්‍යය බොහෝමයකට මට ආරාධනා ලැබුණා.

අද ඔබේ ආදරණීය පුතනුවන් ඉන්නේ විදේශ ගතවෙලා... එහෙම නේද...?
ඔව්... පුතා දැන් ඉන්නේ එංගලන්තයේ. මගේ ලේලි කුරුණෑගල දුවක්. දැන් ඒ දුවටයි පුතාටයි දරුවන් දෙන්නෙක් ඉන්නවා. ඉතින්... පුතායි ඒ දුවයි දරුවෝ දෙන්නා එක්ක ඒ රටේ ජීවත් වෙනවා... එයාලා අපි දෙන්නව බලන්න එනවා. ඒ ආවේ නැති අවුරුදුවල අපි එයාලා බලන්න යනවා. ඒ දරුවන් ගැන ඇත්තටම හරිම සතුටුයි. ළඟ නැතිවුණත් ඒ දරුවන් දෙන්නා හැමවෙලේම අපි ගැන හොයලා බලනවා. අපිට කතා කරනවා. ළඟ නැතත් ඒ තනිකම අපිට දැනෙන්න ඒ දෙන්නා ඉඩදෙන්නේ නැහැ.

 

► Text - Dishani  /  Pic – Sumudu