2018 ජුනි 09 වන සෙනසුරාදා

සොබාදහමේ සිත්තරා

 2018 ජුනි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 342

අප කොතෙක් අඬගැසුවත් ඔබ යළි නොඑන බව දනිමි

සොබාදහමේ පාට වදන්වලට මුසු කොට රූපකාව්‍යකින් අමුතුම කතාන්දර කී සෞන්දර්යවේදියාණෙනි... සොබාදහම පෑන් තුඩු අගින් නොව ඔබේ ගැඹුරු හෘදයංගම හඬින් කවියට නැගූ අපේ මාධ්‍ය මිතුරාණෙනි... ඉඳින් නුඹ නික්ම ගිය වග අදටත් මට නොම දැනේ....

ඔබ කාගේ කවුරුන්දැයි කියන්නට මම නොවෙහෙසෙමි... විසිපස් වසරක ඔබේ මාධ්‍ය ජීවිතයේ අහුමුලු පිරික්සන්නටද මම නොවෙහෙසෙමි.
ඒ කුමකටදැයි මට සිතේ.... හේම නලින් කරුණාරත්න... ඔබ අදටත් අපේ මාධ්‍ය සගයෙකි... අප පෑනෙන් ජනහදට ආමන්ත්‍රණය කරද්දී ඔබ සුවහසක් ජන හදවත් සරල සුගම ගැඹුරු සුභාෂිතයෙන් ආමන්ත්‍රණය කළේය. මේ දැනුත්... ඔව් මේ දැනුත්... මට හිත නිවන ඒ ස්වරය ඇසෙන නෑසෙන තරම්ය.

සුභාෂිත රසාස්වාදය
සජ්ජන ඇසුර

සොබා සොඳුරු සිරි මෙලොවේ
ඔබේ ඇසිනි මා දුටුවේ..... ඔබට මේ රසානන්දය ගෙන එන්න උත්සාහ කරන්නේ මෙබඳු රසයක් සුභාෂිත රසයක් දනවන්නයි. ඒ නිසා තමයි මේ වැඩසටහනට එන්න තෘෂ්ණාවක් ඇතිවුණේ... රසානන්දයට ඔබ පූර්විකාවක් සැපයුවේ එලෙසිනි... 9.05න් ඔබ මුළුරටක්ම අවදි කළාත් මට මතකය. 

9.05 රූපවාහිනියේ අමුතුම හැඩතලයක් වූයේය. ඔබ ඒ තරම්ම සජීවී විය. කොළඹ රාජකීයයෙන් ශිල්ප සැදුවත් කොළඹ හතේ පාසලකින් උගත්තේ යැයි මානයක් ඔබ ළඟ කෙදිනකවත් මම නොදුටුවෙමි. දිගු දෑස් විහිදා දෙකොපුල් මත මිනිස්කම සිත්තම් වෙන අපූරු සිනහවක ඔබ අයිතිකාරයෙකු විය. ඒ හිනාව පංගු පේරුවකින් තොරව ඔබ කාටත් නොමසුරුව තිළිණ කළේය. මම ඔබේ ජීවිතයේ සියලු දොරගුළු නොහරිමි. ඔබ සමඟ ඔබට ජීවත් වෙන්නට තිබූ අයිතියට ගරුකරනු මිස ඔබේ ජීවිත විනිශ්චයන් හමුවේ අප විනිසුරුවන් වී කුමට... මට මේ දැනුත් දැනෙන්නේ ඔබේ ළෙන්ගතු මිත්‍ර සිතේ සුවඳත් අපේ මාධ්‍ය ක්ෂේත්‍රයට ඔබ තබා ගිය හිස්තැනත් පමණි. ඔබ සොබාදහමට සතා සීපාවට ලෝකයට පෙනෙන්නට නොව ඇත්තටම හදවතින්ම ආදරය කළ මිනිසෙකි. මාධ්‍යවේදියෙකි. ඒ ආදරයේ තීරණාත්මක නිර්මාණ වෑයමක් ලෙස මම HERITAGE TV දකිමි. ඔබ සොබා සොඳුරු තැන් සොයා ගියේය. සොබාදහමට ආදරය කරන්න යැයි ප්‍රේක්ෂක ශ්‍රාවක රසික ප්‍රජාවෙන් ඉල්ලා සිටියේය. ආදරය කරන හැටි ඉගැන්නුවේය. සොබාදහම ගැන ඔබේ දැනුම් සම්භාරය ඔබ අපූරුවට වදන් වියමන් බවට පරිවර්තනය කළේය...

ඉතින් කෝ අද ඔබ.... ඔබ කතා කරන්නට එනතුරු ඒ ගහකොළ මල්, දිය ඇලි, ගංඟා, කඳු මිටියාවත් සතා සිව්පාවුන් බලා හිඳිතැයි මට සිතේ. අහස කොයි මොහොතක හෝ හඬන්නට ඉඩ ඇතැයි මට සිතේ... මිතුර අතීතය මට තාමත් මතකය. පරිසරයේ සෞන්දර්යය දකින්නට විඳින්නට රූපවාහිනියේ කැමරාව මැදිරියෙන් එළියට රැගෙන ගොස් රූප රාමු සොයා යෑමේ ප්‍රවණතාවට මඟ කී මාධ්‍යවේදියා ඔබය. සීත කාමර තුළ සමාජය මහපොළව ස්පර්ශ නොකර පරිගණකයෙන් ලෝකය සොයායන කෘත්‍රිම මාධ්‍ය කලාව ඔබ කවදත් ප්‍රතික්ෂේප කළේය. මතකද අයියේ යැයි අසන්නට ඔබ  අද නැත. ඒත් මට මතකය.

මලක් සේ පිපෙන්නට... මලක විෂුවල් එක දාලා පටන් ගමු. පරිසරය කොච්චර ලස්සනද අපේ රටේ මෙච්චර ලස්සන පරිසරයක් තියෙනවා. අපේ රටේ හැමකෙනාටම ළඟට ගිහින් ඒ පරිසරය විඳින්න විදිහක් නෑ. ඒ අයට මේ පරිසරය විඳින්න අපි ඒක ඒ අයට ළං කරන්න ඕනෑ. ඒ ඔබ ඔබේ සගයන්ට දුන් උපදෙස්ය.

මිතුර... ඔබටත් සොඳුරු වූ අද මටත් සොඳුරැ මගේ හෘදයාංගම මිත්‍රයෙක් මට කතාකළේ ඉකුත් පස්වැනිදා සවස් වරුවේය. ඒ වේදනාත්මක හඬින් ඔබේ සමුගැනීම ඔහුට දැනුණු හැටි මට කියන්නටය. දුක සැප දෙකෙහිම හැර නොයන මිතුරු සිත් එහෙමය. ප්‍රාණය නිරුද්ධ ඔබ සිරුර ඔහු හැඬවූ බවද ඔහු මට කීවේය. සමුගැනීමක් අවසන සිත්හි ජනිත වෙන වේදනාව එහෙමය. එහෙත් නියත දහමට අවසඟව යන්නට කාට නම් හැකිද? මරණයේ දිනය ඉරණමේ ලියාගෙන අපි මෙලොවට පැමිණෙන බව මම විශ්වාස කරමි. මතකද එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ මළගිය ඇත්තෝ - මළවුන්ගේ අවුරුදු දා... ඔබත් කියවන්න ඇති එදවස... දෙවෙන්දරෝ සං නොකියම ගියාම නොරිකෝ මොනවද කීවේ.... ආවොතින් යා යුතුය. නොගොසින් යළි එන්නට බැරිය. ලොව ඇත්තේ යාම්-ඊම් පමණි. 

මිතුර.... සංසාරය හරි දුරයි... කොහේ කොතැනකදී හෝ මඟතොටකදී අපි මින් ඉස්සරත් හමුවෙලා ඇති... ආයෙත් හමුවෙයි... ආවේ යන බව දැනගෙනනම්... ජීවත්වුණේ යන්න වෙන බව දැනගෙනනම්... උපේක්ෂාවෙන් ජීවිත යථාර්ථය අත්විඳිනු මිස හඬනු කුමටද? ඉතින් මිතුර හෙට ඔබ නැත. යන්නටම... ඔව් යන්නටම ගොසින්ය. ඔබට ආයුබෝවන් කියන්නට පෙර මම ඔබට කියමි.

ලෝකයේ පවතින ජීව ගුණය හා සෞන්දර්ය වූ කලී සදාතනිකත්වයයි. එය යුග යුග ගණන් පුරා පවතින අතීත උරැමයකි. සොබා සොඳුරු මහපොළොවට ආදරය කළ මාධ්‍යවේදියෙකු ලෙස ඔබ ඒ සදාතනිකත්වය සහ වර්තමානය යා කරන්නට නොහිම් ප්‍රශංසනීය උත්සාහයක් ගත් බව මම විශ්වාස කරමි.
එනයින් ඔබ සදාතනිකත්වය සහ මෙම නිමේෂය යා කළ තීර්ථ යාත්‍රිකයෙකි. 
මිතුර...
අප කොතෙක් අඬගැසුවත් ඔබ යළි නොඑන බව දනිමි. 
යන්න.... 
ඔබ වෙනුවෙන් තරු මල් පාවඩ එලා තිබේ.....

 

► සංජු