2018 ජුනි 09 වන සෙනසුරාදා

හිතට හරියන මාධ්‍යවේදිනියක් තාම හම්බවුණේ නෑ....

 2018 ජුනි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 118

- කුමාර තිරිමාදුර

කුමාර... මේ දවස්වල හඳයා එක්ක හරිහරියට වැඩ.. එහෙම නේද...?
ඔව්.. මේ දවස්වල ඉතින් හඳයා එක්ක තමයි වැඩිපුර කාලය ගෙවෙන්නෙ. කොහොමටත් මම එකපාර ටෙලිනාට්‍ය දෙකක් වගේ තමයි බාරගන්නෙ. මේ දවස්වල හඳයා ටෙලිනාට්‍යයෙත් අහස් මාලිගා ටෙලිනාට්‍යයෙත් වැඩ කරනවා. කොහොමටත් ලංකාවේ ටෙලිනාට්‍ය කලාව දරුණු විදිහට විනාශයට පත්වෙලා ඉතා විශාල අර්බුදයක තමයි තියෙන්නෙ. ඉතින්... මේ අස්සෙ මම මේ ටෙලිනාට්‍ය දෙකේ තමයි මේ දවස්වල වැඩ කරන්නෙ.

ආරංචියේ හැටියටනම් කුමාර ළඟදීම ලොකු වෙනසක් කරන්නයි හදන්නෙ...?
ඔව්... ඇත්තටම ඒ ගැන මුලින්ම මාධ්‍යයකට කියන්නෙ දේශය පත්තරේටයි. සරත් කොතලාවල සහ මම එකතුවෙලා News papers නමින් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්න මේ දවස්වල සූදානම් වෙනවා. ඒක මමයි සරත් කොතලාවලයි තමයි අධ්‍යක්ෂණය කරන්නෙ. අපි දෙන්නා තමයි එහි පිටපත ලිව්වේ. ඒ වගේම අපි දෙන්නා තමයි එහි ප්‍රධාන චරිතත් රඟපාන්නෙ. මම හිතන්නෙ ඒ වගේ දෙයක් ලංකා ඉතිහාසයේ වෙලත් නෑ. ලෝක ඉතිහාසයෙත් ඒ වගේ දෙයක් වෙලා නැතිව ඇති. දෙන්නෙක් පිටපත ලියලා, දෙන්නෙක් අධ්‍යක්ෂණය කරලා, දෙන්නම ප්‍රධාන චරිත රඟපාන චිත්‍රපටයක් මීට කලින් හැදෙන්නෙ නැතිව ඇති. ඒක ගොඩක් දුරට අගෝස්තු මාසේ රූගත කිරීම් ආරම්භ කරනවා. බොහෝ චරිත මේ වෙනකොට අපි තෝරාගෙනත් අවසානයි.

කුමාරගේ ජීවිතයට News papers බොහෝදුරට සමීපයි. වසර ගණනාවක් ඔබ මාධ්‍යවේදියෙක් ලෙස කටයුතු කරපු කෙනෙක්...?
ඔව්... මම අවුරුදු පහළොවක් පත්තර කන්තෝරුවක වැඩ කළා. මාධ්‍යවේදියෙක් ලෙස මම ලබපු අත්දැකීම් සහ තවත් අත්දැකීම් එකතු කරගෙන තමයි News papers නිර්මාණය වුණේ. මේ දවස්වල එහි ප්‍රධාන චරිතයක් වුණු මාධ්‍යවේදිනියකගේ චරිතය සොයමින් තමයි ඉන්නෙ. ඒක දරුණු මාධ්‍යවේදිනියකගේ චරිතයක්. ඉතින් මේ දවස්වල අපේ අලුත් නිර්මාණය වෙනුවෙන් අපි මහන්සි වෙනවා. කොළඹ තමයි රූපගත කිරීම් වැඩිපුරම වෙන්නෙ. ඊට අමතරව මඩකලපුව ප්‍රදේශයෙත් රූපගත කිරීම් කරන්න බලාපොරොත්තු වෙනවා. මගේ ජීවිතෙත් සරත්ගේ ජීවිතෙත් තිබුණු හීනයක් තමයි මේ. අපි නළුවෝ වශයෙන් ආවා. ගායකයෝ විදිහට ආවා. හොඳම පිටපත් රචනය විදිහට තණ්හා රතී රගා සිනමා නිර්මාණයට අපිට සම්මාන ලැබුණා. ඉතින්... අපිටම චිත්‍රපටයක් කරන්න ආසාවක් තිබුණා. අද වෙද්දී ඒ වෙනුවෙන් හොඳ නිෂ්පාදකවරයකු අපිට මුණගැහුණා. ඉතින් දැන් හා හා පුරා කියලා අපිට ඒ අලුත් නිර්මාණය කරන්න තමයි තියෙන්නෙ. 

කාලයක් ඔබ මාධ්‍යවේදියෙක්. තවත් වරෙක රංගන ශිල්පියෙක්. ළඟදීම අධ්‍යක්ෂකවරයෙක්. මේ හැම චරිතය පිටුපසම අපූරු ගායකයෙක් ඉන්නවා..?
ඔව්.. මම පුංචි කාලේ ඉඳන්ම ආසා කළේ ගායකයෙක් වෙන්න. මම ඉගෙන ගත්තේ මොරටුව වේල්ස් කුමර විදුහලේ. අපේ පාසලේම තමයි අසංක ප්‍රියමන්ත පීරිස් ඉගෙන ගත්තෙත්. අසංක මට වඩා පන්තියක් විතර බාලයි. කොහොමහරි ගායකයෙක් වෙන්න හීන දැකපු මම නළුවෙක් වුණා. අසංකත් ගායකයෙක් වුණා.

නමුත් පසු කාලයේදී ඔබේ ගායන හැකියාවත් පෙන්නුම් කරන්න අවස්ථාව ලැබුණා. කුමාර තිරිමාදුර කියන්නෙ ගායකයෙක් කියලා ඈ මට ආදරෙයි, මම බොරුල්ලේ.. ඈ බදුල්ලේ ගීත ඔප්පු කළා...?
ඔව්... අද මට මගේ ජීවිතේ ගැන සතුටුයි. මම විශ්වාස කරන දෙයක් තමයි මේ සොබාදහම මට ඕන කරන හැමදේම මේ වෙද්දී දීලා ඉවරයි. මම මේ සොබාදහමට ආදරේ කරන කෙනෙක්. ගොඩක් අය කියන දෙයක් තමයි මට නැහැ... මට මොනවද ලැබුණේ කියලා. ඒත්... මම කියන්නෙනම් මට හැමදේම ලැබුණා කියලා. මට පිටකොටුවෙන් ගේ කෑල්ලක්වත්, නුගේගොඩින් ගෙයක්වත්, ඕනෙ නැහැ. මම මගේ ගේ ඉස්සරහ ළඟදීම දැන් මට ඇති කියලා තමයි ගහන්නෙ. මේ රටේ බොහෝ ජනතාවක් දුක් විඳිනවා. ඒත්... අද මට යමක් ලැබිලා තියෙනවා. මේ සොබාදහම සාමාන්‍ය ජීවිතයක් ගත කරපු මට බොහෝ දේවල් දීලා තියෙනවා. මේ රටේ හැම කොණකම මම ගිහින් තියෙනවා. ලෝකෙ රටවල් බොහොමයකට ගිහින් තියෙන්නෙ. මට මතක හැටියට මම ලෝකාන්තයට ගිහින් තියෙන්නෙ දෙපාරයි. හැබැයි මම ඔස්ට්‍රේලියාවට නවපාරක් ගිහින් තියෙනවා. ඉතින් මම මගේ රටත් දැක්කා. ලෝකෙත් දැක්කා. ඉතින් දැන් මගෙන් මගේ මිනිස්සුන්ට මොනවද කරන්න තියෙන්නෙ කියලා හොයමින් ඉන්නෙ. 

ලෝකය දැකපු ඔබ අනන්තවත් මිනිස්සුන් දකින්න ඇති. බොහෝ මිනිස්සු ඔබ ඇසුරු කළා. ඒ අතරින් ඔවුන්ගේ ආදරයත් ඔබට හිමිවුණා.. එහෙම නේද...?
ඔව්.. ඒක ඇත්ත. අද මනුස්සකම් හරිම අඩුයි. මම වැඩිපුරම හම්බකළේ මේ රටේ මිනිස්සුන්ගේ ආදරය. මම ජීවිතයට ළංකරගත්තෙ මේ රටේ මිනිස්සුන්ගේ ආදරයයි. මගේ ඥාති දියණියක් මාත් එක්ක ඡායාරූපයක් අරගෙන ඒක එයාගේ fb එකේ දාලා තිබුණා. මමනම් ඔය තාක්ෂණය ගැන එච්චර දන්නෙත් නෑ. හැබැයි ඒ ෆොටෝ එක යටින් ඒ දරුවා මිනිස්සු කියලා දාලා තිබිලා. ඒක ගැන බොහෝ දෙනා මට කතා කළා. මම කවදාවත් කිසිම දේශපාලනඥයකුගේ පස්සෙ ගිහින් නෑ. මම මගේ අරමුණ කරා වැඩ කළා මිසක් විශේෂයෙන් දේශපාලනඥයෙක් පස්සෙ ගිහින් නෝණ්ඩි වෙච්ච කලාකරැවෙක් නෙමේ. ඒ ගැන අතිශයින්ම මම සතුටු වෙනවා. මෛත්‍රීපාල මහත්තයට ඡන්දය දීපු අයත්, මහින්ද මහත්තයට ඡන්දය දීපු අයත්, ජනතා විමුක්ති පෙරමුණට ඡන්දය දීපු අයත් ඇතුළුව මේ රටේ හැමෝම මට ආදරෙයි. මම කාටවත් ගැතිවෙලා නෑ. වරදක් දැක්කාම ඒ ගැන කෙලින් කතා කිරීමේ හැකියාව මට තියෙනවා. ඒ මගේ හයියට මම හරි ආදරෙයි.

News papers කතාව ගැන නැවතත් යමක් කිව්වොත්... හැඳින්වීමක් කළොත්...?
මමත් මාධ්‍ය ආයතනයක වැඩ කරපු කෙනෙක්. සමහර මාධ්‍ය ආයතනවලින් වැරදි ප්‍රවෘත්ති යනවා. ඒ ප්‍රවෘත්තියකින් ගමේ අහිංසක පවුලකට වෙච්ච අසාධාරණයක් නිසා ඇතිවුණු අසරණභාවය ගැන කියවෙන කතාවක් තමයි මේ චිත්‍රපටය පුරාම තියෙන්නෙ. ඒ වේදනාකාරී කතාව මේ රටේ සමස්ත මාධ්‍යවේදීන් අනිවාර්යයෙන්ම බලාවි. ඒ අයට දැනේවි. අපි පෑන අතට ගනිද්දිත්, කටින් මොනවහරි කියද්දිත් පරිස්සම් වෙන්න ඕනෙ කියන අදහස ඔවුන්ට දැනේවි. ප්‍රභාකරන් මැරැණු වෙලාවෙදී තමයි අපි තණ්හා රතී රගා පිටපත ලියන්නෙ. ඒත් ඒ චිත්‍රපටය ඊට වසර පහකට පස්සෙ තමයි තිරගත වෙන්නෙ. News papers මීට වසර පහකට පෙර තමයි අපි දෙන්නා අතින් ලියැවුණේ. කොහොමහරි News papers ළඟදීම රූපගත කිරීම් කරනවා. News papers චිත්‍රපටයේ කොතැනක හෝ අපේ රටේ බොහොමයක් මාධ්‍යවේදීන්ගේ චරිත ජීවත් වේවි.


► Text - Jayamali /  Pic – Sumudu