2018 ජුනි 09 වන සෙනසුරාදා

මහ වෙරළේ හැන්දෑවක්

 2018 ජුනි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 2415

අපි නම් මුහුද අද්දර... ඉර හැංඟෙන්න ඔන්න මෙන්න... වලා කැරලිත් ඉරේ පාට ඉල්ලගෙන... හඳ කොහේ හරි වලාකුලකට මුවාවෙලා ළා රන්වන් සාරිය අඳිනවා ඇති රෑ අහස හැඩ කරන්න... ඒ වෙරළ ඉමේ තනි වුණාම කොච්චරනම් කල්පනා හිතේ ඇඳී මැකී යනවද? ගෝල්ෆේස් හෝටලයටත් ගිහින් මුහුදු තීරයේ ලස්සනත් විඳලම එන්න යමුද මේ සති අන්තයේ අපි ගෝල්ෆේස්....

ගෝල්ෆේස් හෝටලයේ නවතින සංචාරකයන්ට ඇත්තටම ගෝල්ෆේස් කියන්නේ හරිම සුන්දර අත්දැකීමක්... සුඛෝපභෝගී හෝටල් කාමරයක සැප විඳින ගමන් හැන්දෑවට වගේම උදේට මුහුදු වෙරළක චමත්කාරය, මුහුදු හුළඟක ලුණු සුවඳ විඳගන්න තියෙනවනම් නේද? බිත්ති ගොඩනැගිලි අතරේ නැති අමුතුම සුන්දරත්වයක්  අපූර්වත්වයක් සොබා දහමේ ගහ කොළ අතරේ තියෙනවා. මුහුද කියන්නේ කියාගන්න බැරි තරම් ලස්සන කවියක්. අපි ගෝල්ෆේස් යද්දී වෙලාව හැන්දෑවේ හය පහුවෙලා. ගිය ගමන් අපි කළේ බැදපු අල පෙති ගොටු දෙකක් අරගෙන ඒ වෙද්දිත් කඩින් කඩ වැස්ස වැස්සට තෙමුණු බැංකුවක ඉඳගෙන අලපෙති රස වින්ද එක. ගිනි අව්ව වැටුණු හැන්දෑවකට වැඩිය අඳුර ඉහිරෙන්න ඔන්න මෙන්න වෙලාවට මුහුද අද්දර සෞන්දර්ය හරිම හැඟීම්බරයි. ළෙන්ගතුයි. කට්ටිය සෙල්ෆි ගහනවා. කෑම කනවා. ඉස්සෝ වඩේ, රොටී, කොත්තු, අච්චාරු තව තව කෑම ජාති මහා ගොඩක් මුහුදේ ලස්සන විඳින ගමන්ම හුළඟ වැදි වැදීම කන්න පුළුවන්. ඒ වගේම යාළුවොත් එක්ක මුහුදු රැල්ල පාගලා නටලා සෙල්ලම් කරලා ඇති තරම් විනෝද වෙන්න. මේ මුහුදු තීරය කියාපු තැනක්. ඉතින් කොළඹ බලන්න ආවොත් ගෝල්ෆේස් එන්න ඔයත්.. එන සතියෙත් අපි යමු කොහේ හරි ඇවිදින්න. 
 

► Text -Saa /  Pic-  Channa Kassapa Koralearachchi