2018 ජුනි 09 වන සෙනසුරාදා

ලන්ඩනයම හිනැස්සූ ලී

 2018 ජුනි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 72

රියැලිටි නිර්මාණ අද වනවිට ලෝකයම වසාගත් විනෝදාත්මක වැඩසටහනක් වී අවසන් ය. වරෙක ගායන තරුද තවත් වරෙක නර්තන තරුද ජනතාව ඉදිරියට ගෙන එමින් සැඟවුණු දක්ෂතා ලෝකයටම පෙන්වීමට මෙම රියැලිටි වැඩසටහන්වලට පුළුවන්කම ලැබී තිබේ. මේ කියන්නට යන්නේ අපේ රටේ ඇති රියැලිටි වැඩසටහනක් ගැන නොවේ. මහා බ්‍රිතාන්‍යයේ ජනප්‍රියම රියැලිටි වැඩසටහන වන Britain’s Got Talent (BGT) රියැලිටියෙන් පසුගියදා අලුත් තරුවක් බිහිවිය. Lost voice guy යන නමින් වැඩසටහන අතරතුර ප්‍රසිද්ධියට පත් ඔහුගේ සැබෑ නම ලී රයිඩ්ලි ය. 

ලී උපතින්ම ආබාධිතයෙකි. ස්නායු ආබාධයක් නිසා කුදු ඔහුට කටහඬ ද අහිමි ය. අඩුම තරමේ කිසිදු හඬක් හෝ කටින් පිට නොවේ. එහෙත් ඔහු BGT වේදිකාව ජයගත්තේ කතාවෙනි. මිනිත්තු හතරක් පහක් වැනි කාලයක් වේදිකාව මතට වී ඔහු මුළු රටක් නොව ලෝකයක් හිනැස්සුවේය. ඔහු ඒ සඳහා භාවිත කළේ තමා ටයිප් කරන අකුරු ශබ්දය බවට පරිවර්තනය කරන මෘදුකාංගයකි.

 

ඔයාලා මාව දැකලා නැති වුණාට මගේ කතා අහල තියෙන බව නම් මට විශ්වාසයි. ඔහු වේදිකාවට ගොඩවුණු පළමු දවසේ කීවේය. ප්‍රේක්ෂකාගාරය නිහඬව කල්පනා කරන්නට තත්ත්පර කිහිපයක් දුන් ලී, නැවතත් කතාකළේය.
“ලන්ඩනය බලා යන මීළඟ දුම්රිය දැන් වේදිකාවට පැමිණෙනවා ඇත” ඔහු කීවේ විනිසුරු මඬුල්ල මෙන්ම ප්‍රේක්ෂකාගාරයද සිනා සාගරයක ගිල්වමිනි. මන්ද ඔහු භාවිත කරන කටහඬ බොහෝ පොදු ස්ථානවලදී උපදෙස් ලබාදීමට භාවිත කරන මෘදුකාංග ඇසුරෙන් නිමවූ කටහඬක් විය.

ආබාධිතයෙකු වුවද ඔහු එය තමන්ට ආශීර්වාදයක් බවට පෙරළා ගනිමින් අනෙකුන්ට කළ නොහැකි බොහෝ දෑ තරගාවලිය තුළ කරන්නට සමත්විය. ඔහු තම ආබාධිත බව ද තම විහිළු සඳහා හොඳින් භාවිත කළේය. 
“මම වගේ ආබාධිතයෙක් කරන විහිළුවලට හිනාවෙන්නෙ නැත්තම් ඔයාලා අපායේ යයි” ඔහු වරක් කීවේය. කෙමෙන් කෙමෙන් තවත් අති දක්ෂයින් සමඟ කරට කර හැපෙමින් අවසාන මහා තරගයට ද ඔහු පිවිසියේය. 
ජයග්‍රහණයෙන් අනතුරුව ලීට තවත් අපූරු අවස්ථාවක් හිමිව තිබේ. ඒ බ්‍රිතාන්‍ය මහ රැජන මුණගැසීමේ අවස්ථාවයි. රැජන මුණගැසීමට ද තමා විශාල බලාපොරොත්තුවකින් බලාසිටින බව ලී පැවසීය. මේ අතර ලීගේ රසිකයින් බොහෝ දෙනෙකු පවසන්නේ ලී සමඟ කතාබහ කරන රැජනට ද තම සිනාව නතර කරගැනීමට ලොකු ආයාසයක් දැරීමට සිදුවනු ඇති බව ය. 

BGT වේදිකාවට ගොඩවීමට පෙර ඔහු වෘත්තීය මාධ්‍යවේදියෙකි. සෙන්ට්‍රල් ලැන්කෂයර් විශ්වවිද්‍යාලයෙන් ප්‍රථම සහ පශ්චාත් උපාධියක් ද හිමිකරගෙන සිටින ඔහු ප්‍රාදේශීය පුවත්පතකට සම්බන්ධ වී සේවය කරයි. 
ඩේලිමේල් ඇසුරෙනි

Text — Rajitha