2018 මැයි 19 වන සෙනසුරාදා

චොක්ලට් අයිස්ක්‍රීම් නොදී ජින්නා නටවන්න අමාරුයි

 2018 මැයි 19 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 426

ජින්නා...ලංකාවේ ජනප්‍රියම නර්තන කිරුලක්, හිරු සුපර් ඩාන්සර් කිරුළ ඔයා ගමට ගෙනාවා... දැන් මොකද හිතෙන්නේ...?
අම්මෝ... ගොඩාක් සතුටුයි... ඒ සතුට අදටත් මට වචනවලින් කියන්න තේරෙන්නේ නැහැ. ඒ සතුට මට දෙන්න ගොඩාක් අය උදව් කළා. ඒ හැමෝටම ගොඩ ගොඩාක් ස්තූතියි

පසුගිය දිනෙක මේ ලැබුණු ජයග්‍රහණයත් අරගෙන ජින්නා ඔයා ඉගෙන ගන්නා පාසැලටයි ගමටයි ගියා...?
ඔව්... මම ඉගෙන ගන්නේ කිරිබත්ගොඩ විහාර මහා දේවී විද්‍යාලයේ. ඉගෙන ගන්නේ 9 වසරේ. ඉතින් ඉස්කෝලේ විදුහල්පතිතුමිය, ගුරු මෑණිවරුන් වගේම මගේ අක්කලා නංගිලා මේ ජයග්‍රහණය මට ගෙනෙන්න ගොඩාක් උදව් කළා. මුල ඉඳන්ම මට ඒ අය සහයෝගය දුන්නා. මට එස්.එම්.එස්. එව්වා. ඊට පස්සේ මේ ජයග්‍රහණයෙන් පස්සෙත් පාසැලෙන් මාව උත්සවයක් තියලා පිළිගත්තා. ඒ වගේම තමයි මගේ ගමේ වගේම අහල පහල හැමෝම මට උදව් කළා. ඉතින් මේ තරගාවලිය දිනපු දවසේ වගේම ඒ ජයග්‍රහණය අරගෙන ඉස්කෝලෙටත්, ගමටත් ගියපු දවසෙත් මම ගොඩාක් සතුටු වුණා.

කවුද තිනේෂිකා ඔය “ජින්නා* කියන නම දැම්මේ...?
මගේ ගෙදර හැමෝම මට ආදරේට කතා කළේ “තිනේ" කියලයි. ඉතින් මේ තරගයේදීත් මුල් කාලේදී මට හැමෝම කතා කළේ තිනේෂිකා කියලයි. කොහොම හරි පුහුණුවීම් කරද්දී ලලිත් පැරකුම් සර් තමයි මට ජිම්නාස්ටික් එහෙමත් කරන නිසා මට ජින්නා කියලා කතා කළේ. දැන් හැමෝම සර් දාපු ජින්නා කියන නමින් තමයි මට කතා කරන්නේ. ඇත්තටම මම දැන් ඒ නමට ගොඩ ගොඩාක් ආසයි.

පාසැලෙන් යහළුවන්ගෙන් ජින්නට ලැබුණු සහයෝගය කොහොමද...?
ඇත්තටම යාළුවෝ මට ගොඩාක් උදව් කළා. මම ෆැක්ට්‍රිස් කරද්දී ගොඩාක් දවස් ඉස්කෝලේ යන්නේ නැතිව මඟඇරුණා. ඒ කාලවලදී මගේ ඉස්කෝලේ යාළුවෝ තමයි මට එදිනෙදා උගන්වපු පාඩම් පොත් දුන්නේ. සමහර යාළුවෝ එයාලගේ පොත් මට දවස් ගණන් ගෙදර ගිහින් තියාගෙන ඒවා බලාගෙන ලියාගන්න පවා ඉඩ දුන්නා. ඇත්තටම ඒ යාළුවෝ නිසා තමයි ඒ මඟඇරුණු පාඩම් කරන්න පුළුවන් වුණේ. මට උගන්වන ගුරුමෑණිවරුන් පවා මට ගොඩාක් උදව් කළා. ඒවගේම පාසැලේ මගේ නර්තන ගුරුතුමිය මට ගොඩාක් උදව් කළා. ඒ හැමෝම මේ වෙලාවේ ආදරෙන් මතක් කරනවා.

ජින්නට ඉන්නේ මල්ලි කෙනෙක් විතරයි නේද...?
ඔව්... මගේ පවුලේ ඉන්නේ අම්මයි, තාත්තයි, මල්ලියි විතරයි. අම්මයි, තාත්තයි මම තරග කරන හැම දවසකම බලන්න ආවා. ඒ වගේම රූපවාහිනී නාලිකාවක් මඟින් පැවැත්වූ මේ තරගයට මම වෙනුවෙන් ඇප්ලිකේෂන් එකක් දැම්මේ මගේ ලොකු අම්මාගේ දුවලා. ඒ අක්කලා මට හරි ආදරෙයි. මාත් හැමෝටම ගොඩ ගොඩාක් ආදරෙයි.

මීළඟට අපි කතාබහ කළේ ජින්නාට පුහුණු කර ජින්නාගේ ආදරණීය ගුරුතුමා වූ ලලිත් පැරකුම් සමඟයි.
ලලිත්... ජින්නව ඔයාට මුණගැහුණේ කොහොමද...?

ඒ හැමදෙයක්ම කියන්න කලින් මම දෙයක් කියන්න ඕනේ. මගේ ජීවිතේ මුලින්ම මගේ Article එකක් පත්තරේක පළවුණේ දේශය පුවත්පතෙන්. මේ තරගාවලියේදී මුල් කාලේදී ජින්නාට කළ නර්තනයන් දැකලා තමයි ඔයාලා ඒ Article එක කළේ. අද මොනතරම් Article කළත් ඒ අතීතය මට අමතක නැහැ. ඒ වෙනුවෙන් අදටත් ස්තූතියි.

ඉතින් ජින්නාව මට මුණගැහුණේ මේ තරගාවලියේදීමයි. මුලින්ම නර්තනය පුහුණු කිරීම සඳහා මේ තරගාවලියෙන් මට දරුවන් හතර දෙනෙක් ලබලා දුන්නා. ඒ අතරේ ජින්නත් හිටියා. ඉතින්... ජින්නා වගේම අනිත් දරුවන්ටත් මම මට පුළුවන් උපරිමයෙන්ම ඉගැන්නුවා. ඒ දරුවන් තුන්දෙනාත් හරිම දක්ෂයි. ඒත්... අවසන් තරගාවලියට සුදුසුකම් ලැබුවේ ජින්නා විතරයි.

නමුත් ජින්නා තුළ සුවිශේෂි දක්ෂතාවයකුත් තිබුණා... එහෙම නේද..?
ඔව්... අනිවාර්යයෙන්ම... ජින්නට හොඳට ජිම්නාස්ටික් කරන්න පුළුවන්කමක් තිබුණා. එයාගේ ඇඟ හරිම නම්‍යශීලීයි. ජින්නා කියන්නේ හරිම සුවිශේෂී දක්ෂ දරුවෙක්. මම ලංකාවේ දක්ෂ දරුවන් විශාල පිරිසක් එක්ක වැඩ කරලා තියෙනවා. ජින්නා කියන්නේ ලෝකේ තියෙන ඕනෑම නර්තනයක් නටන්න පුළුවන්, ගොඩාක් සහජ හැකියාවක් තියෙන දරුවෙක්. ජින්නා තරගාවලියට ඇවිත් මුල් කාලේදී නටද්දී මම මෙයා දිහා බලාගෙන හිටියා. එදා මෙයා කරනම් ගහලා නර්තනය කරද්දී “ජින්නා මට ලැබුණා නම්... මට ඕනේම දෙයක් කරන්න පුළුවන් කියලා.* මට හිතුණා. ඇත්තටම මොකක්දෝ වාසනාවට අවසානයේ දී ජින්නාගේ පුහුණුකරු වන්නට මට අවස්ථාව ලැබුණා.

ජින්නා එක්ක පුහුණු වෙද්දී කොහොම ද එයා...? දඟයිද...?
මම ජින්නාට පුහුණු කළේ හොරණ මගේ ක්ලාස් එකේමයි. ගෝලයෝ මට ගොඩාක් උදව් කළා. ජින්නා කිරිබත්ගොඩ ඉඳන් හොරණට ඇවිත් සතියකට දවස් හතරක් පහක් නැවතිලා ඉඳලා තමයි පුරැදු වුණේ. ඇත්තටම ජින්නා මට මගේ දරුවෙක් වගේයි. ජින්නාව අපි පුදුම විදිහට පරිස්සම් කළා. අදටත් එහෙමයි. ජින්නා කියන්නේ හරිම අහිංසක දරැවෙක්. ජින්නා උඩ යන්න ටිකක් බයයි. කේබල්වලට නම් එයා කිසිම බයක් නැහැ. ඒත් අපි උඩ දාද්දී එයා මුලදී බය වුණා. හැබැයි පස්සේ එයාගේ ඒ බය නැති වුණා. ජින්නා මාව ගොඩාක් විශ්වාස කළා. එයාට කිසිම අනතුරක් නොවී අඩුම තරමේ සීරීමක්වත් නොවී මම පරිස්සම් කරනවා කියලා ජින්නා හැමවෙලේ හිතුවා. ජින්නා මම ගැන තිබ්බ ඒ විශ්වාසය මම ඒ අයුරින්ම ඉෂ්ඨ කලා. ජින්නා දෙයක් කිව්වොත් කවදාවත් බැහැ කියන්නේ නැහැ. 

මුලදී මම එයාට කරලා පෙන්නනවා. ජින්නා ඒ දේවල් දිහා බලාගෙන ඉඳලා “අපි කරමු සර් කියලා කියනවා. ඒ අභිමානයට අදටත් මම ගරු කරනවා. මගේ ක්ලාස් එකේ ළමයි ගොඩාක් උදව් කළා. අපි ෆැක්ට්‍රිස් කරද්දී ගොඩාක් අවදානම් දේවල් අපි කළා. හැබැයි ඒ හැම දෙයක්ම මම කළේ හොඳට ඉගෙන ගෙනයි. මම ගොඩාක් පිටරට කට්ටියට උගන්වලා තියෙනවා. මේ හැමදෙයක්ම කරද්දී වටේට දහදෙනෙක් පහළොස්දෙනෙක් විතර අල්ලන්න ඉන්නවා. එයාලා කැමැත්තෙන් ඇවිත් මේ තරගය වෙනුවෙන් උදව් කළා. ලෝකේ නර්තන අංශ ගොඩාක් තියෙනවා. ජින්නා ඒ හැම ස්ටයිල් එකකින්ම නර්තනය කළා.

ඇත්තටම ජින්නා දඟයිද...?
මෙහෙමයි... ජින්නා කියන්නේ ඇත්තටම ටිකක් දඟ දරුවෙක්. හැබැයි කියන දේ කරනවා. සමහරදාට නම් ඉතින් චුට්ටක් විතර අහන්නේ නැති වෙලාලුත් තියෙනවා. ඒ වෙලාවට මම චුට්ටක් සැරෙන් කතා කළොත් ජින්නා ඇස්වල කඳුළු පුරෝගෙන ටිකක් පැත්තකට වෙලා ඉන්නවා. ආයේ ඉතින් ෂේප්. මෙයාට කෑම බීම ගෙනත් දීලා තමයි අපිට ඉවරයක් නැත්තේ. චොකලට් එකක් නැත්නම් මෙයා එන්නෙත් නැහැ. එන්න කලින් එයාගේ චොකලට් එක ලෑස්ති කරලා තියෙන්න ඕනේ. පුහුණුවෙන අතරතුරේ චොකලට්, අයිස්ක්‍රීම් වගේ දේවල්නම් එයාට වරදින්නේ නැහැ.

ජින්නා... සර් සැරයිද...?
(මම ජින්නාගෙන් එහෙම අහද්දී ජින්නා හිටියේ නම් තව අයිස්ක්‍රීම් එකක සිහියෙන් තමයි.)
සර් ටිකක් සැරයි. හැබැයි හැමවෙලේම නෙමේ... සර් මට බැනලත් තියෙනවා. හැබැයි කවදාවත් ගහලානම් නැහැ. සර් දෙපාරක් කියන්නේ මාර සැරෙන්. ඉතින් එහෙම කියද්දීනම් පැත්තකට වෙලා අඬලත් තියෙනවා. හැබැයි ඒ හැම දෙයක්ම සර් මට කළේ මේ ජයග්‍රහණය ගන්න කියලා මම දන්නවා.

හිතපු විදිහටම අපි ඒ බෝම්බේ ගැහුවා

ලලිත්... ජින්නට පුහුණු කරද්දී හිතට තිගැස්මක් ඇති වුණු, වැරදුණු තැනක් එහෙම ඇතිවුණේ නැද්ද...?
නැහැ... ඔය කේබල් ඩාන්ස් එකක් පොඩ්ඩ වැරදුණොත් ඒක වැරදුණාම තමයි. ලංකාවේ ගොඩාක් ඒ ගැන දියුණුවක් නැහැ. අපි පුහුණුවීම් කරන්නේ අපට තියෙන සීමිත සම්පත්වලින්. උඩට ගිහින් මේ කකුල අල්ලගන්නවා. එහෙම අල්ලලා අත්දෙක අතහරිනවා කියලා අපි සැලැස්මක් ඇඳගන්නවා. බෙල්ට් දෙකක් අපි කේබල්වල දානවා. එක බෙල්ට් එකක් අපේ අතට හිරවෙන විදිහට තමයි දාගෙන යන්නේ. නර්තනයක් කරද්දී පළවෙනි බෙල්ට් එක පැනපු අවස්ථා තියෙනවා. දෙවැනි බෙල්ට් එකේ හිරිවෙලා ඉන්න පුළුවන් වුණා. එහෙම පැනලා දෙපාරක් විතර දණහිස බිමට තදින් වැදුණු අවස්ථා දෙකක් තියෙනවා. ඒ හැර වෙන කිසිම ප්‍රශ්නයක් වුණේ නැහැ.

මේ වගේ අවදානම් නර්තන අංග කරද්දී ජින්නාගේ අම්මා තාත්තා මොනවද නර්තනයන් ගැන කිව්වේ...?
ජින්නාගේ අම්මයි තාත්තයි ගොඩාක් හොඳයි. ජින්නා වෙනුවෙන් ගොඩාක් උනන්දු වුණා. ඒ අම්මගෙයි, තාත්තගෙයි හිතේ මම ගැන ලොකු විශ්වාසයක් තිබ්බා. මම අවුරුදු එකොළහක් තිස්සේ නර්තනය ගුරුවරයකේ. අද වනතුරු මගේ අතින් මගේ දරුවෙක් එහෙම ලොකු ඩැමේජ් එකක් වෙලා නැහැ. ඒක මම අදහස ආගම දහමත් එක්ක වෙන දෙයක්. ඒ නිසා දරුවන්ටත් ආරක්ෂාව තියෙනවා.

ලලිත් කියන්නේ දුක්මහන්සියෙන් ජීවිතය ජයගත් නර්තන ගුරුවරයෙක්...? එහෙම නේද...?
ඔව්... අනිවාර්යයෙන් මම ඒ අතීතයට හරි ආදරෙයි. ඒ අතීතය අමතක කරන්න මට බැහැ. අවුරුදු පහේ ඉඳන් මම නුගේගොඩ බඩු වික්කා. වැලිගොඩ දාලා තියෙනවා. මේසන් බාස්ලට ඇතිතරම් අත්උදව් දීලා තියෙනවා. නර්තනයට පොඩි කාලේ ආස හිතුණට මම ක්ලාස් ගිහින් නර්තනය හදාරන්න සල්ලි තිබුණේ නැහැ. ඒ නිසාම සමහර නැටුම් ක්ලාස්වලට ගිහින් බලාගෙන ඉදිද්දී සමහර ගුරුවරු මාව පන්නලා පවා තියෙනවා. සමහර නැටුම් පන්ති ළඟට ගිහින් ගුරුවරු පන්තිය ඇතුළේ ළමයින්ට උගන්වද්දී එළියේ ඉඳන් මම බලාගෙන නටලා තියෙනවා. ජීවිතේට කවදාවක් සිගරට් එකක් බියර් එකක්වත් බීලා නැහැ. මම ජින්නාටත් හැමවෙලේම කිව්වේ “මහන්සි වෙන්න... දුක් විඳින්න...* ජීවිතය සතුට ලැබේවී කියලා... ජින්නා තමයි මට ලැබුණු හොඳම දරුවා. ජින්නා වගේ දක්ෂම දරුවන් ඉදිරියේදී බිහිවේවි. ඒත්... අද වනතුරු එහෙම දරුවෙක් බිහිවෙලා නැහැ.

තරගයේ ප්‍රතිඵල කියද්දී මොකද හිතුණේ... ලලිත් අර කොහේද දුවන්න ගියේ...?
ඇත්තටම මුල ඉඳන්ම අපි තරගයට ගියේ ප්ලෑන් කරලයි. කරපු නර්තනයක් අපි ආයෙත් කළේ නැහැ. අපි අනිත් අයගේ හොඳ නැත් බැලුවේ නැහැ. අපි ඒ අයගේ දුර්වල තැන් තමයි බැලුවේ. ඒ දුර්වල තැන් බලලා තමයි අපි මේ තරගයට පුරුදු වුණේ. අපි දෙන්නට ඕන වුණා අන්තිම නැටුමේදී බෝම්බයක් වගේ ගහන්න ඕනේ කියලා. ඉතින් ඒ හිතපු විදිහටම අපි ඒ බෝම්බේ ගැහුවා. මිනිසුන්ගේ ඇස් දෙක දකින නර්තනය හොඳ නම් අපිට හොඳ ප්‍රතිඵලය ලැබෙනවා කියලා අපි විශ්වාස කළා. ඇත්තටම එදා ප්‍රතිඵල කියද්දී දුවන්න ගියේ කොහාටද කියලවත් මම දන්නේ නැහැ. මට හිතාගන්න බැහැ එදා මම ජීවිතයේ වැඩියෙන්ම සතුටු වුණු දවස. මම නර්තනය නිසා ජීවිතේ ගොඩාක් දේවල් කැප කළා. ඇතැම් දේ නැතිවෙලාත් තියෙනවා. ඒත්... කවදාහරි දවසක නර්තනයෙන් ඉදිරියට යන්න හිතුවා. මේක ලැබුණු ලොකු අත්වැලක්. මේක අපිට හීනයක්.

ජින්නා... මොනවද දැන් ඉස්සරහට කරන්න හිතාගෙන ඉන්නේ?
සර් එක්ක එකතුවෙලා හොඳ වැඩක් කරන්න ආසයි. ඒ වගේම මම ඉගෙනත් ගන්නවා. ඒවා මඟ හරින්නේ නැහැ.

ලලිත්... මොකද ඒ ගැන කියන්නේ...?
අපි දෙන්නා හිතාගෙන ඉන්නේ ජාත්‍යන්තර තරගයකට ඉදිරිපත් වෙන්නයි. මේ වෙනකොට ඉතාලියෙන් ප්‍රසංග තුනකට දැනටමත් අපිට ආරාධනා ලැබිලයි තියෙන්නේ. ලංකාවේ වගේම පිටරට මිනිස්සුත් ගොඩාක් ජින්නාට ආදරෙයි. ඉතින්... ජින්නා අධ්‍යාපනය කටයුතු කරන අතරතුර ඉදිරියේදීත් නර්තනයෙන් අපූරු වෙනසක් කරාවී.

 

► Text — Dishani  /  Pic - Sumudu