2018 මැයි 19 වන සෙනසුරාදා

මං එනතුරු ඉදිකඩ ළඟ ඉන්නවාද අම්මේ

 2018 මැයි 19 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 512

දවසක් පැළ නැති හේනේ
අකාල මහ වැහි වැස්සා
තුරැලේ හංඟාගෙන මා ඔබ තෙමුනා අම්මේ
පායන තුරු හිටි පියවර හිටියා ඔබ අම්මේ

නුවර වීදි යට කරගෙන නින්දා වැහි වැගිරුන දා
බිරිඳකගේ සෙනෙහේ ගියා යෝධ ඇළේ නැම්මේ
ඔබෙ සෙනෙහස සුවඳ දිදී දැනුණා මට අම්මේ

කොළඹ අහස කළු කරගෙන මුහුදු හුළඟ හඬලන කොට
ඔටුන්න බිම දා දුවගෙන එන්නද එක පිම්මේ
මං එනතුරු ඉදිකඬ ළඟ ඉන්නවාද අම්මේ

පද රචනය - රන්බණ්ඩා සෙනෙවිරත්න
සංගීතය සහ ගායනය - ගුණදාස කපුගේ

 

ලෙයක් කිරට හැරවූ අනුහස අම්මාය. එහෙයින්ම ඒ සෙනෙහසට උපමා රූපක නැති තරම්ය. සඳ එළියටත්, මහා සාගරයටත්, මේ මහා විශ්වයටත් දිගක් පළලක් සීමාවක් තිබුණත් අම්මාගේ සෙනෙහසේ තරම අනන්තයක්ම මිස අන් කවරක්ද? ඒ සෙනෙහස විඳි මේ මිහිපිට හැම මිනිස් හදවතක්ම ඒ වගට සාක්ෂි දරනු ඇත. එසේ වූ අම්මාවරුන් ගැන ලියවුණු ගී කවි සංකල්පනා කොතෙකුත්ය. ඒ ගී අතරින් අධි නීතිඥ රන්බණ්ඩා සෙනෙවිරත්න ලියූ දවසක් පැල නැති හේනේ ගීතය මට සුවිශේෂී ලෙස දැනෙන්නේ මේ ගීතයේ පද මාලාව අම්මා ගැන මෙන්ම තාත්තා ගැන කියන්නටද දරා ඇති සාර්ථක ප්‍රයත්නයක්ය යන සිතුවිල්ලයි.

දවසක් පැල නැති හේනේ
අකාල මහ වැහි වැස්සා
තුරුලේ හංඟාගෙන මා ඔබ තෙමුණා අම්මේ
පායන තුරු හිටි පියවර හිටියා ඔබ අම්මේ

ගී පද රචකයා අරුත් ගන්වන මේ පැල නැති හේන තාත්තා නැති ගෙදරය. හේනකට පැලක් අවැසි වෙන්නේ මහ වැස්සෙන් තද අව්වෙන් මුවා වෙන්නටය. වෙහෙසකර ගත සිත ගිම් නිවා ගන්නටය. වග වලසුන්ගෙන් බේරී රැකවරණය සදා ගන්නටය. එහෙත් තාත්තා හැර ගිය ගෙදරක තනි වුණු වැන්දඹු බිරියකට ජීවිතේ ගිම් නිවන්නට උරහිසක් නැත. ඒ උරහිස තම සැමියාය. ඒ සැමියා ජීවිතය හැර ගොසිණි. දරුවන්ට සැනසිල්ලේ වැතිරෙන්නට පියකුගේ ළය මඬලක් නැත. තාත්තා ජීවිතය හැර ගොසිණි. පැලක් නැති හේනක ඇති අතරමං ස්වභාවය, අනාරක්ෂිත ස්වභාවය තාත්තා කෙනෙක් නැති ගෙදරක සියලු හිස්තැන් අර්ථ ගන්වයි. අකාල මහා වැහි වසින්නේ ඒ අනාරක්ෂිත අතරමං නිවෙස වට කරගෙනය. එහෙත් තාත්තා ගෙදර නැතත් මේ මහ පොළොව තරම් හයියක්  පපුවේ සඟවා ගත් අම්මා ඒ හැම අකාල වැස්සකටම තෙමෙමින් තමන් තෙමෙන මුදු එකම එක වැහි බිඳුවකින්වත් තම දරු පැටවුන්ට තෙමෙන්නට නොදී රැකගෙන සිටියි. සමාජය නැමති විසල් අහස කළු කරගෙන ඒ වහින වැහි මොනවාද? ආර්ථික, භෞතික, සමාජයීය පීඩන නැමැති මහ වැස්සය ඒ ඇද හැලෙන්නේ. තාත්තා නැති දුප්පත්කම අක් මුල් විහිදුවා වැඩුණු ගෙපැලක ජීවිතය හා ඔට්ටු ඇල්ලූ අම්මා ගැන හෘද සංවේදී කතාවක් කියන ගී පද රචකයා පටාචාරා වස්තුවේ පටාචාරාව ළඟට අප කැඳවාගෙන යයි. ඔබට මතකද ඇගේ සෙනෙහස? ඇය ඊරියක සේ වැතිරී තම කුස යහනත තුරුලේ හොවාගෙන තම දරු පැටවුන් රැක්කේලු! ඒ පැටවුන් රකින්නට මහා අසෙනිය වරුසාවට ඇය නිම් නැති සෙයින් තෙමුණේලු..! ප්‍රාණය සදිසි ස්නේහයේ තරම එහෙමය.

තුරුලේ හංඟාගෙන මා ඔබ තෙමුණා අම්මේ

අනේක විධ පීඩාවන් මහ වැස්සක් වී ජීවිතය දිය කරද්දී සීතලෙන් ගල් කරද්දී මා වෙනුවෙන් ඔබ තෙමුණාය. මා නොතෙමන්නට ඔබ හිටි පියවර නොසෙල්වී නොසෙල්වී උන්නාය. හිටි පියවර යන්න ඒ ගීතයේ හමුවන මහා ගැඹුරක් සහිත යෙදුමක් සේ හැඟේ. පායන තුරු හිටි පියවර හිටියා ඔබ අම්මේ.... හිටි පියවර යන වචනය අපට පෙර කී පටචාරා කතා වස්තුවේදී ද හමුවේ. ජීවිතය නැමැති මහ පොළොව මත ඉන්ද්‍රඛීලයක් සේ නොසැලී ඔබ නොසිටියේ නම් අම්මේ දසතින් හැමූ මහා වැහි කුණාටු නන්නත්තාර කර දමන්නට තිබුණේ මාය. එහෙත් ඔබ මාතෘත්වයේ ඇති පරාර්ථය මට බිඳුවෙන් බිඳුව වදනින් නොව ස්නේහයෙන්ම කියා දුන්නේය. පුතු හද ගැහෙන්නේ ඒ සිතුවිල්ලෙන් යැයි සිතේ.

හිතුවක්කාර විවාහයක ඔහු පැටලෙයි. කාලයේ වැලි තලා මතින් ජීවිතය ගලාගෙන ගලාගෙන ගලාගෙන යද්දී ඒ බැඳීම් දියාරු වී යයි. බොහෝ විට ජීවිතයේ අවසානය දක්වා සංසාර හමුවීම ප්‍රාර්ථනයක් කරගෙන අප ළඟ රැඳෙන්නේ ජීවිතයේ අප සතු භෞතිකයන්ට නොව අධ්‍යාත්මික වටිනාකම්වලට හදවතේ ගැඹුරින්ම පෙම් කළ උන්ය. එසේ වූ ප්‍රේමයක් හඳුනා නොගත් බිරිඳක් ඔහු හැර ගියේය.

නුවර වීදි යටකරගෙන නින්දා වැහි වැගිරුණු දා
බිරිඳකගේ සෙනෙහෙ ගියා යෝධ ඇලේ නැම්මේ

නුවර වීදි යටකරගෙන වැස්සේ අහසින් වැටෙන මහා වැහි නොවේ. අහස නමැති සමාජයෙන් නින්දා වැහි වැස්සේ ජීවිතය නැමැති මහ පොළොව මත්තටය. බිරිඳකගේ අධ්‍යාත්මික නොවූ ප්‍රේමය, සෙවණැල්ලක් සේ නොරැදුණු සෙනෙහස දියාරු වී ගලා හැලෙද්දී සියලු නින්දා, අපහාස, සිත් රිදවීම්, අකම්පාව දරා ඉන්නට හයියක් තවත් නැති ගාණය.

 ඔබෙ සෙනෙහස සුවඳ දිදී දැනුණා මට අම්මේ...

ඒ සියලු නොසලකා හැරීම් සිත් රිදවීම් අබිමුවේ ඔහුගේ හදවත සිපගත් එකම ආදරය අම්මගේ ආදරය පිළිබඳ අතීත මතකයයි. සුවඳ දිදී දැනුණා මට අම්මේ... ඒ සෙනෙහස සිහිපත් වූයේ නිකම්ම නොවේ. සුවඳ දිදී... දැනුණා මට.... මතකය වුවත් සුවඳ අවුළුවන්නට තරම් භක්තිමත්නම් ආදරණීයනම් ඒ ප්‍රේමය ගැන තවත් කියනු කුමටද? බිරියකගේ සෙනෙහස අඩු වී වෙනත් ඉවුරක් සොයා ඇදී යන "යුරු" ගී පද රචකයාගේ සියුම් ගී විඥානයට හසු වූ අපූරු රූපකයකි. නුවර වැව කලා වැව තිසා වැව එකට එක් වී සැදුණු ජල පෝෂක ප්‍රදේශය නුවර කලාවියයි. කලා වැවේ දියවරින් යෝධ ඇල පන්නරය ලබයි. එහි දිය බැස්ම හැතැප්මකට අඟලකි. ඒ වතුර ගලා යන්නේ රජරට තැනිතලාව හරහා ඒ මේ අත වංගු ගනිමිණි. බිරියකගේ වෙනස් වූ සෙ‍ෙනහස ගීපද රචකයා උපමාකර දැක්වූයේ ඒ දිය බැමිවල වැදෙමින් රළ නැගෙමින් කළහ කරන ස්වරූපයටයි.

ඈත පිටිසර ගමක හිඳ කොළොම්තොටට ආ මේ තරුණයාගේ ජීවිතය මහා වැහි තුනකට තෙමී ගිය වග මේ ගීතයෙන් කියයි. දුප්පත්කම නැමැති වැස්ස, බිරියකගේ ගැඹුරක් නොවූ ස්නේහයෙන් විඳි අවමානය නැමැති වැස්ස, කොළඹ සමාජය නැමැති මහා අහසින් කඩා වැටුණු නින්දා වැස්ස යන මහා වැහි තුනටම ඔහු හොඳ හැටි තෙමුණේය. මේ සියලු විඩාපත් කළු වැහි හමුවේ ඔහුට සිහිපත් වූයේ කොළඹ අහස යට හමු වූ මිතුරන් නොවේ. ඉහළ පැලැන්තියේ ධනවතුන් නොවේ. ටයි කෝට් සගයන් නොවේ. අකාල මහ වැහි මැද තුරුලේ හංඟාගෙන ඔහු නොතෙමූ අම්මාය. අරුත් නැති සෙනෙහස් හමුවේ ඔහු හද විකසිත වූයේ පෙම්බර මවු ගුණයේ විචිත්‍රත්වත් මතක සෙවණැලිය. මවකගේ හද මඬලේ නිදන් වූ මව්ගුණ කන්දරාවක් අතුරින් මේ ගීය ඔස්සේ ඉස්මතු කරන්නට වෙහෙසෙන්නේ අසරණ අවස්ථාවකදී කවුරුන් තමන් හැරගියත් මවුවරුන් දරුවන් හැර නොයන නොසැලෙන උත්තරීතර ගුණයයි. කොළඹ අහස යටදී සාර සුබාවට පිරුණු ජීවිතයක් වෙනුවෙන් හරි හම්බ කරගත් සියල්ල, හිස පැළඳගත් සියලු කටු ඔටුණු හැරදමා නැවතත් ඔහුට යන්නට සිත්වෙන්නේ දෑත තොටිල්ලේ ඔහු නලවාලූ අම්මාගේ අනන්ත සෙනෙහස සොයාගෙනය. ගත හැඳි පාටක් කියන්නට බැරි තරමට පාට සේදී ගිය චීත්ත රෙද්දේ දහදිය සුවඳ, ඉඳුල් සුවඳ, දුම් සුවඳ කැටි වූ අම්මාගේ ආත්මීය සුවඳ දහසකුත් එකක් සමාජ පෙළීම් වෙනස්කම් හමුවේ සුවඳ දිදී දැනෙද්දී ඔහු අසන්නේ එකම එක පැනයකි.

ඔටුන්න බිම දා දුවගෙන එන්නද එක පිම්මේ.... සිරස රඳවා ගත් මිණි ඔටුණු කටු ඔටුණු වී ජීවිතයම වේදනාවන්ගෙන් දවද්දී, සියල්ල අත්හැර ජීවිතේ ගැඹුරටම සෙනෙහස දැනෙන ඉසව්වකට දුවගෙන යන්නට තරම් අසරණකමක් හිතට එබෙද්දී අතීත මතකයක් පමණක්ම වූ මව් සෙනෙහස හමුවේ ඔහු හඬ දුක්බර අයැදුමකි.

මං එනතුරු ඉදිකඩ ළඟ ඉන්නවාද අම්මේ....

සියල්ල අත්හැර සෙනෙහස සොයා එමි. ඉන්නවාද..... අම්මේ....
ඉන්නවාද........ යන හැඟුම්බර ඇදිල්ල වචනයෙන් විවරණය කළ නොහැකි තරමට ගැඹුරු වූ හැඟුම් සමුදායක් එක් වචනයකින් ප්‍රකාශ කිරීමකි.

► දන්ත ශල්‍ය වෛද්‍ය අසේල විජේසුන්දර

අපේ විචාරයට ලක්වෙන ගීත ගැන ඔබටත් කියන්නට දෙයක් ඇත්නම් අපට ලියන්න.ඔබ කැමති ගීතත් අපට කියන්න.
Deshayanews@gmail.com
Deshayalayout@gmail.com
හදසර - සංස්කාරක, දේශය කතෘ මණ්ඩලය, 
විජය පුවත්පත් සමාගම, අංක 08, හුණුපිටිය හරස්පාර කොළඹ 02