2018 මැයි 05 වන සෙනසුරාදා

අල්ගම මහ කන්දේ පිනි වෑහෙන රාත්‍රියක්

 2018 මැයි 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 1348

අහසට සඳ ඇවිත් තිබුණේ නෑ. එකම එක තරු එළියක්වත් අහසේ අග්ගිස්සකවත් තිබුණේ නෑ. අළු පාට වලාකුළු මත විදුලිය රිදී පාට රේඛාවන් අඳිමින් හිටියා. කන් පතුල් දෙදරවමින් හෙණ හඬින් පිපිරුණේ ඒ රිදී රේඛාවන්. වැස්ස කවියක්. ඒත් ඒ සුන්දර කවිය අපෙන් වින්දනීය රාත්‍රියක් උදුරා ගත්තා. ගල ඉස්මත්තේ ගිනිමැලයක් දල්වාගෙන හැඟුම්බර ගීයක් මුමුණමින් ආ ගිය යාන් හෑලිත් එක්ක මඳ අඳුරේ සඳ එළියේ තරු අතරේ ගෙවන්නට තිබුණු රාත්‍රියක් ඒ වැස්ස අපෙන් උදුරා ගත්තත් බාග මැටි බිත්ති බැඳපු පොල් අතු සෙවිලි කළ අපූරු මන්දිරයකට වී රැයේ වැඩි පැය ගණනක් අල්ලාප සල්ලාප එක්ක ගෙවපු ඒ රාත්‍රිය ඇත්තටම සුන්දරයි. එන්න ඔයත් ඒ රාත්‍රියට අපිත් එක්ක. walk 111 එක්ක අද අපි ඔයාව එක්ක යන්නේ නිට්ටඹුව අල්ගම ශ්‍රී ක්‍රාෆ්ට් කියන අපූරැ නවාතැනට.. ඒ ඉර ගල වැටුණු හැන්දෑවට... වැටි වැටී අපි නැගපු කඳු මුදුන ඉහත්තාවට... ගත සිත හිරිගඬු නැංවූ සීතල දිය ගඟුල අද්දරට... දැන් ඇති කියලා හිතෙනකම් සීතල වතුර නාලා නාලා ඉවර වෙද්දීම අපේ ගමන් සගයා වෙච්ච මංජුල මල්ලී හැල්මේ දුවගෙන ගිහින් අරන් ආව ශ්‍රී ක්‍රාෆ්ට් නවතැනේම උණු උණුවේ උයලා තවපු කෙසෙල් කොළේ ඔතලා තිබුණු බත් මුල් සීතලට වෙව්ලන ඇඟිලි තුඩුවලින් අනලා බඩ පිරෙන්නම කාපු ළෙන්ගතු මොහොතට.. අඳුර එක්ක කෝල කරන රබර් යායට... සුළං සේල අස්සේ කැරකි කැරකි ආව හිතුවක්කාර වැහි බින්දු කෝටියක් විඳින්නට.. එන්න walk 111 එක්ක මතක සමුදායක් හෙට මතකයක් විතරක්ම වෙන අතීතයට එක් කරන්න. 

අපි ශ්‍රී ක්‍රාෆ්ට් නවාතැනට යද්දී මධ්‍යහන හිරු එළිය හිටු න්‍යායෙන් පොළොව රත් කරන්න පටන් අරගෙන. නවාතැනට ඇතුළු වෙද්දීම අපිව පිළිගන්න පෙරමඟට වෙලා හිටියේ ඒ කාලේ ලොරි බාගයක්. ලොරි බාගෙ බුම්මගෙන බලාගෙන ඉද්දී සමීර අව්‍යාජ හිනාවකින් මූණ එළිය කරගෙන අපි ඉස්සරහට දුවගෙන ආවා... සමීරත් එක්ක කතා කර කර ගිහින් අපි හිමිහිට ඈඳී ගත්තේ පොල් අතු සෙවිල්ලෙන් හිරු දහර මුවා කළ පුංචි ගෙපැලක.. මැට්ටේ සීතල ඒ ගෙපැල පුරාම රැඳිලා තිබුණා. ගිය ගමන් අපිට බොන්න ලැබුණේ පිරිසිදු කළ පොල්කටුවලට වත් කරපු ගිනි රස්නෙට බෙලිමල් වතුර රස හකුරුත් එක්ක. ඉන් පස්සේ දිග කලිසමෙන් කොට කලිසමට මාරු වෙලා අපි ඒ මහ කන්ද නගින්න පටන් ගත්තා. ඊට පෙර දවසේත් වැස්ස වැස්සට තෙමුණු පොළොව හොඳ හැටියට ලිස්සුවා. අපේ photographer චන්න එක තැනක බරාස් ගාලා ලිස්සලා ගියේ ලිස්සන පොළොවේ අඩි තිය තියා කන්ද නගිද්දී. කන්ද ඉස්මත්තට යන පාර වැටී තියෙන්නේ මහ කැලෑවක් මැද්දෙන්. ඒ යද්දි අඹ, කජු,වෙරළු ගස් ළඟ අපි නැවතුනේ ආසවට ගෙඩියක් දෙකක් කාලා යන්න.  හඬ කාගෙද කියලා වෙන් කරගෙන හඳුනාගන්න බැරි විදිහට එක පොකුරට කුරුලු කොමලය කිචි බිචිය. ඒ අමුතු අමුතු කුරුලු කතා මැද්දේ කන්ද නගිද්දී අපිට හමුවුණේ ගල් පර මැද්දෙන් ගලා යන පුළුල් දොළ පාරක්. ඒත් එතැන නැවතිල්ල අපි මඟ හැරියේ එතැන එකම දළඹු විමානයක් නිසා. කන්ද ඉස්මත්ත කෙළවර වෙන්නේ ලොකු ගල් තලාවකින්. ඒ ගල්තලාවේ තමයි කුඩාරම් ගහගෙන අපිත් නවතින්න ලෑස්ති වුණේ. සමීරයි එයාගේ කට්ටියයි නවතින අයට වුවමනා අඩුම කුඩුම රෑ හත විතර වෙද්දී අරන් එනවා. රෑ කෑමට අමුමිරිස් දාපු රොටී පුච්චන්නේ ගල් තලාවෙදීමයි. රොටි මිශ්‍රණය අරන් ගිහින් ගලේදී ගිනි ගහලා තැටියේ දාලා පුච්චන්නේ රෑ කළුවරත් එක්ක. ඈත ඈත කඳුවැටිවල ගුප්ත සුන්දරත්වය ඝනකම් කළුවරේ භාවාත්මක චමත්කාරය විඳින රසවතුන්ට BBQ සහ ලුණු මිරිස් එක්ක උණු රොටි සප්පායම් වෙන්න දෙන්න. ගිනිමැලය වටකරගෙන කළුවරටම ගැලපෙන සින්දු ගැයෙද්දී ආ ගිය ළෙන්ගතු කතා අතීත මතක දිගහැරෙන්නෙත් හරිම සුන්දර විදිහට. මොකද හුඟක් වෙලාවට රැයත් එක්ක මේ සියල්ල විඳින්න එන හුඟක් අය කාලෙකින් හමුවුණු යාළු මිත්‍රයෝ. ගල ඉස්මත්තට නගින්න ඉස්සර පැරුණි ගුහාවක් හමුවෙනවා. ඒ ගුහාවට යන්න ඕනේ ලනුවක එල්ලිලා. ලණුවේ එල්ලිලා පහත බලද්දී මහා ප්‍රපාතයක්. ගල මුදුනත නිස්කාන්සු සුවයෙන් ඉඳගෙන ඈත බලද්දී යායෙන් යායට නීල කඳු. ඒ ගස් - ගස් කතා කරනවා. ඇස් දෙක පියාගෙන අහන් ඉද්දී සොබාදහමේ ඒ රිද්මය ඇහෙන තරම්. ආපහු එන ගමනේදී රබර් යාය පහු කරගෙන ඇවිත් අපි නැවතුණේ සීතල වතුර පිරුණු ගඟ ඉහත්තාවක. හිතේ හැටියට නාගෙන අපේ ගමන් සගයා වෙච්ච මංජුල මල්ලි අරන් ආව කෙසෙල් කොළේ රස බත් කාලා එන්න පිටත් වුණා විතරයි වැස්සා වැස්සක් අපේ හිත්වල දාහය කොහේදෝ අරන් යන්න ඇවිත් වගේ. අපි අපේ නවාතැනට ආවේ ඒ වැස්සේ දියවීගෙන. ඒ විදිහට වැස්සේ දියවෙන එකත් හරිම ආස්වාදනීයයි. මොහොතක් විඳලා බලන්නකෝ. රූට ලන්තෑරුම් එළිය මැද්දේ උණු රොටී කන ගමන් පොඩි කයිවාරුවකුත් ගහගෙන අන්තිමේදී සීතල දරාගන්නත් එක්ක දුම්දමන ඉඟුරු තේ බීව අපි එදා රෑ පහන් කළේ බාග මැටි තාප්පවලින් වට කර පොල් අතු සෙවිලි කළ කුටියක ගුලි ගැහී වැස්සක ලස්සන වගේම ඝනකම් කළුවරේ නිහඬ සුන්දරත්වය ඉසියුම් ලෙස විඳගනිමින්.

උදෑසන අපිව අහැරෙව්වේ කුරුලු කිචි බිචිය. නිදි සුවය නන්නත්තාර කළ සල්ලාල කුරුලු කූජනත් අතරින් පතර ඇහුන ද කොහෙද? නාලා කරලා සුදු හාල්පිටි ඉඳි ආප්ප එක්ක රතු පොල් සම්බෝල, සැර සැමන් හොද්ද, සැර නැති පරිප්පු හොද්ද අපේ බඩගින්න අපට අමතක කෙරෙව්වා. අපි යන්න වෙලාව ළං වෙද්දී අපි සමීර එක්ක කතාවේ පැටලුනා. හරිම සහෘද විදිහට සියල්ල බෙදා හදා ගත්තත් අපි එන්න ලෑස්ති වෙච්ච ඒ දවසේ අපි වින්ද අත්දැකීම් විඳින්න රිසියෙන්ම 26 දෙනෙක්ගේ කණ්ඩායමක් එහෙ එන නිසා සමීරට වැඩ ගොඩයි.

කැලණිය විශ්ව විද්‍යාලයෙන් විශේෂවේදි උපාධියක් ලබාගෙන ජීවිතයේ අනේක කටු කොහොල් අභියෝග මැද්දෙන් එයා ආව ගමන මට හිතුණේ සමීර නන්දසිරි මට කීවේ වචනවලින් නෙවෙයි ඇස් ඉස්මත්තේ දිලිසුණු කඳුළුවලින්. ඒ හින්දම සමීර තමන්ගේ ව්‍යාපාරවලින් එන ආදායම්වලින් කොටසක් නැති බැරි දරුවන්ට ඉගෙන ගන්න අතහිත දෙන්න උදවු කරන්න යොදවනවා. දිනෙක වනස්පතියක් වෙන්නේ අද ඉපදෙන ළපල්ලක්. එසේ කියමින් එතෙකින් මම නවතිමින් ඉතුරු ටික කියන්න මම සමීරටම ඉඩ දුන්නා.

මගේ අම්මා සම්මානලාභී අත්කම් නිර්මාණ ශිල්පිනියක්. අම්මා ඒ හරි හම්බ කළ මුදල්වලින් තමයි අපි ඉගෙනගත්තේ ජීවත් වුණේ. මම රැකියාවෙන් අයින් වෙද්දී මම හොඳ වැටුපක් ලැබුවා. ඒත් මේ මගේ හීනය වෙනුවෙන් මම රුකියාව අත්හැරියා. මට වුවමනා වුණා අම්මා අපේ ජීවිත ගොඩ දාන්න කළ කර්මන්තයට අලුත් අර්ථයක් දෙන්න. අතරමැදියන් හරහා කුණුකොල්ලෙට විකිණෙන දේවල්වලට අපේම වෙළඳපොළක් නිර්මාණය කරගන්න. අද මෙතෙන්ට විදේශීය සංචාරකයනුත් එනවා. ඒ අය හරහාත් අත්කම් භාණ්ඩවලට වෙළෙඳපොළක් නිර්මාණය වෙනවා. ඒ වගේම ඒ සංචාරකයන්ට රබර් ගසකින් කිරි ටිකක් කපාගන්න, කුඹුරකට බැහැලා හාන්න, අපි ඒ අය කැමතිනම් ඉඩ දෙනවා. වරක් ස්විට්සර්ලන්ත සංචාරකයෙක් කන්ද උඩ වතුර වලේ සර්පයෙක් මැරිලා හිටියා. ඒ සර්පයා අතින් අරන් පැත්තකට දාලා සර්පයෙක් හිටියනම් ඒ වතුර බොන්න හොඳයි කියලා ඒ වතුර වලෙන් වතුර බීවා.  ඔවුන් හරියට මේ සොබාදහම විඳිනවා.
මම අල්ගම ශ්‍රී ක්‍රාෆ්ට් පටන් ගත්තේ ගිය වසරේ අගෝස්තුවේ. මේ තැන හැරැණු විට හබරණ, මීමුරේ, යාල, මාවනැල්ල අපේ නවාතැන් තියෙනවා. බුබුල කියන්නෙත් ස්වාභාවික පිහිනුම් තටාකයක් සහිත අලේම තැනක් . මේ අත්දැකීම් මීට සමාන හා වෙනස් විදිහට ඒ ඒ තැන්වලදී විඳින්න පුළුවන්. මේ ව්‍යාපාරයේ ප්‍රධාන ආයෝජකයා මම වුණත් අපි ඔක්කොම ආයෝජකයෝ 10දෙනෙක්. උදේට කිරිබත්, මඤ්ඤොක්කා වගේ දෙයක් තමා අපි සංචාරකයන්ට කෑමට දෙන්නේ. සුප් කැටයක් තරම් රසකාරයක්වත් අපි කෑමට මුහු කරන්නේ නෑ. BBQ එකට ඉඟුරු, සුදුලූනු, කරපිංචා ටික දාන්නෙත් වංගෙඩියේ කොටලා අරගෙන..

මට හිතෙනවා මීට වඩා කීවොත් ඔයාට විඳින්න දෙයක් නැතිවෙයි කියලා. ඒ ලෝභ හිත දරාගෙන වෙනස්ම අත්දැකීමක් මගේම කරගෙන විඳින්න කැමතිනම් ඔන්න ඔයත් ගිහින් එන්න ඒ ගල ඉහත්තාවට.

► Text -Saa /  Pic-  Channa Kassapa Koralearachchi