2018 අප්‍රේල් 21 වන සෙනසුරාදා

අංකය දිහා බලද්දී මගේ ඇස්වලින් කඳුළු වැටුණා

 2018 අප්‍රේල් 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 81

මොහොමඩ් හනීෆා මොහොමඩ් සුනේර්දීන්

මුස්ලිම් අවුරුදු කුමාරයාගේ සංවේදී මතකය

මොහොමඩ්... පසුගියදා පැවැති එක්තරා රූපවාහිනී නාලිකාවක අවුරුදු කුමාරයා තරගයකින් ඔබට අවුරුදු කුමාරයා වෙන්න අවස්ථාව ලැබුණා. කොහොමද එයට ඉදිරිපත් වුණේ...?
මම නිරූපණ ක්ෂේත්‍රයට ආසා කළා. ඒ නිසා මම Mr. බ්‍රයන් ළඟ නිරූපණ ශිල්පියෙක් විදිහට තමයි හිටියෙ. ඒ අතරතුර තමයි මගේ යාළුවෙක් මේ අවුරුදු කුමාරයා තේරීමේ තරගය ගැන කිව්වෙ. ඉතින් මටත් යන්න හිතුණා. හැබැයි මහ ලොකු බලාපොරොත්තුවක් තිබුණේ නෑ. නමුත් මම ඉදිරිපත් වුණා.

ඒ තරගයට බොහෝ දෙනා ඉදිරිපත් වුණා නේද...?
ඔව්... පළමු වටයේ එක්දාස් ගාණක් විතර හිටියා. ඒකෙන් දෙවැනි වටයට තේරුණා. ඒකෙන් අවසන් දහසය දෙනෙක් තේරුවා. එදාම අවසන් දොළොස් දෙනෙකුත් තේරුවා. විශ්වාස කරන්න... එදා මම නොහිතුව විදියට මාවත් තේරුණා. එදා මම හිතාගත්තා මේ යන ගමනේ මට දෙයක් කරන්න පුළුවන් වෙයි කියලා.

ඔය කාලයේදී රටේ පැවැති වාතාවරණයත් ඔයාගේ හිතට බලපෑවා නේද...?
ඔව්.. අනිවාර්යයෙන්ම. දෙවැනි වටයට එද්දී ඔය නුවර කලබල සියල්ල වෙලා ඉවරයි. ඒ නිසා මට හිතුණා සමාජයේ මිනිස්සු දකින කෝණයත් එක්ක මට මෙතන පොඩි හරි දෙයක් කරන්න පුළුවන් වෙයි කියලා. මට ඒ දේ කරන්න ආසාව තිබ්බා. අවසන් දොළොස් දෙනාට තේරුණාට පස්සෙ පුහුණුවීම් කළා. ගයාන් ශ්‍රීමාල් සර් යටතේ ගොඩක් පුහුණුවීම් කළා. ගොඩක් මහන්සි වුණා. ඒ දේවලුත් එක්ක මා ගැන මම සතුටු වුණා.

ඒ කියන්නෙ ඔබ ගැන ඔබට ලොකු විශ්වාසයක් තිබුණා..?
ඔව්... හැමවෙලේම ප්‍රතිපත්තියක් මම විදිහට මාවම සතුටු කරවනවා. මම නර්තනයකට වේදිකාවට නැග්ගනම් ඒක ඉවරවෙලා වේදිකාවෙන් බහිද්දී මා ගැන මට තෘප්තිමත්නම් මට ඒ ඇති. එතැනදී මම පළවෙනියා වුණත් කමක් නෑ. අන්තිමයා වුණත් මට කමක් නෑ. හැබැයි මගේ ජයග්‍රහණය තියෙන්නෙ මගේ හිතට දැනෙන තෘප්තිය විතරයි. වේදිකාවෙන් බහිද්දී මොහොමඩ් උඹ ඒ දේ හරියට කළා කියලා හිතෙනවා නම් ඒක තමයි මගේ සතුට. ඒ තෘප්තිය මට මේ තරගය පුරාම තිබ්බා.

බොහෝ අවුරුදු කුමාරයන් වන්නෙ සිංහල තරුණයන්. මුස්ලිම් ජාතිකයෙක් වුණු මොහොමඩ් අවුරුදු කුමාරයා වෙද්දී මොකද හිතුණෙ...?
එදා මම අවුරුදු කුමාරයා වෙයි කියලා ලොකු විශ්වාසයක් මට තිබු‍ණේ නෑ. මට කිසිම අනුකිරුළු ලැබුණේ නෑ. කඩවසම් තරුණයා, හොඳම නිරූපණ ශිල්පියා වැනි කිසිම කිරුළක් මට ලැබුණේ නෑ. අවසන් පස්දෙනාට මාව තේරෙද්දීත් මට කිසිම විශ්වාසයක් තිබුණේ නෑ. මම ඔළුව පහත් කරගෙන හිටියෙ. ඒ වෙද්දී ආපු දුර ගැන මම හිටියෙ තෘප්තිමත් වෙලා. කොහොමත් රටේ තිබුණු වාතාවරණයත් එක්ක ආපු දුර ගැන මම සෑහීමට පත්වෙලා හිටියෙ. ඒ වෙද්දී මගේ හිතේ කොතැනකවත් ^මම අවුරුදු කුමාරයා කියලා විශ්වාසයක් තිබුණේ නෑ. තුන්වැනියා මගේ දකුණු අත පැත්තෙන් තේරුණා. දෙවැනියා මගේ වම් පැත්තෙන් තේරුණා. අවසානයේදී අවුරුදු කුමාරයා අංක 05 කියද්දීත් මම හිටියෙ ඔළුව පහත් කරගෙනයි. ඒ වෙනකොටත් මගේ අංකය මට අමතකයි. අවසානයේදී මම අංකය දිහා බලද්දී මගේ ඇස්වලින් කඳුළු වැටුණා. ඇත්තටම අදටත් මට ඒ මොහොත ගැන හිතාගන්න බෑ. ගොඩක් මිනිස්සු සමාජය දැක්ක විදිහත් එක්ක මට යමක් කතා කරන්න ඕනෙ කියන ආසාව තිබුණා. කෝටියක් වැරදි අස්සෙ එක බිංදුවක් වෙලා හරි ඒ දේ වෙනස් කරන්න ඕනෙ කියන මොකක්දෝ කැසිල්ලක් මගේ හිතේ තිබුණා. ඒ නිසා එදා මට මා ගැන සතුටු හිතුණා.

ඒ මොහොතේ එකපාරටම ඔබට මතක් වුණේ කාවද..? ඔයාගේ ඔය ජීවිතේ පිටුපස කවුද හිටියෙ...?
ඇත්තටම මගේ පිටිපස්සෙ හැමදාම හිටියෙ මම. මගේ තාත්තා අම්මවයි මාවයි දාලා යද්දී මට අවුරුදු එකොළහයි. මගේ අම්මත් මට අවුරුදු දහඅටේදී නැතිවුණා. එතැන ඉඳන් මම ජීවත් වුණේ තනියමයි. මගේ අම්මා බෞද්ධ කාන්තාවක්. මගේ තාත්තා මුස්ලිම් ජාතිකයෙක්. අම්මා මුස්ලිම් ජාතිකයෙක් සමඟ විවාහ වුණු නිසා අම්මගේ පවුලෙන් අපිට කොන් කළා. තාත්තා බෞද්ධ කාන්තාවක් විවාහ කරගත්තු නිසා අපිව තාත්තගේ පවුලෙනුත් කොන් කළා. ඒ හැම ප්‍රශ්නයක් නිසා දෙපැත්තෙන්ම මම තැලුණා. ඔය අතරතුරේ මගේ අම්මා තාත්තත් නැතිවෙනවා. පසුකාලයේදී මට ගොඩක් අය උදව් කළා. විශේෂයෙන් මගේ පෙම්වතිය මට ගොඩක් උදවු කළා. එයා සිංහල කතෝලික කෙනෙක්. ඒ වගේම මට ගයාන් ශ්‍රීමාල් සර්, මගේ යාළුවෝ ගොඩක් උදවු කළා. ඒ හැමදේමත් එක්ක මොහොමඩ් කියන චරිතය මේ තැනට එන්න ගොඩනැගුවේ මොහොමඩ්ම තමයි. මම දෙවියන් වහන්සේව බලවත් ලෙස විශ්වාස කරනවා.

ඒ කියන්නෙ ඔබ දැන් කතෝලික කෙනෙක්...?
ඔව්.. මම දැන් බයිබලය කියවන්නෙ. මම මුස්ලිම් පල්ලියකට ජීවිතේට අඩිය තියලා නෑ. නමුත් මම ඒ ආගමට ගොඩක් ගරු කරනවා. මගේ තාත්තා මුස්ලිම් ජාතිකයෙක් වුණු නිසා මට මුස්ලිම් නමක් ලැබුණා. හැබැයි මම පොඩි කාලේ ඉඳලා හැදුණේ අම්මගේ පවුල් පසුබිමත් එක්ක. ඒකට කවදාවත් තාත්තා අකමැති වුණේ නෑ. මම පොඩි කාලේ දහම් පාසල් පවා ගියා. ඒ සියලු දේ එක්ක බෞද්ධ පසුබිම මම හොඳට දැකලා තියෙනවා. හැබැයි බයිබලය කියවන්න පටන්ගත්තට පස්සෙ මම පල්ලි යන්න පටන් ගත්තා.

මොහොමඩ්ට අද වෙද්දී වැඩිපුරම ඉන්නෙ බෞද්ධ යාළුවො...?
ඔව්... මට බහුතරයක් ඉන්නෙ සිංහල යාළුවෝ. මට ළඟින් ආශ්‍රය කරන්න තරම් මුස්ලිම් යාළුවෝ නෑ. මම මිනිස්සු එක්ක ඉන්න විදිහත් එක්ක මට මිනිස්සු ආදරෙයි. මම මුලින්ම ගියේ ගමේ ඉස්කෝලෙට. ඊටපස්සෙ මම මහනුවර කිංස්වුඩ් විද්‍යාලයේ අධ්‍යාපනය ලැබුවා. ඒ පාසලේදීත් මට හිටියෙ සිංහල යාළුවෝ විතරයි. මම පාසලේදී උඩරට නර්තනය හදාරලා තිබුණා. හැබැයි මහ ලොකුවට හදාරලා නෑ. හැබැයි ඩාන්සින් කියන දේ මගේ ඇඟේ තිබිලා තියෙනවා. මම ඒක දැනගත්තෙ අවුරුදු කුමර අවසන් තරගයේ නර්තනය කළාට පස්සෙ. ඒ වෙනුවෙන් ගයාන් ශ්‍රීමාල් සර්ට ස්තූති කරන්න ඕනෙ. මටත් හිතාගන්න බැරිවුණා ඒ නටන්නෙ මමමද කියලා. ඒ වෙනුවෙන් ගොඩක් මහන්සි වුණා. ඒ ප්‍රතිඵලය අවසන් වටයේදී මම දැක්කා. තරගය පුරාම මූ මුස්ලිම් කොල්ලෙක් කියන භේදය තිබුණේම නෑ.

ඔබට රඟපාන්නත් ආරාධනා ලැබිලා කියලයි ආරංචිය...?
මට රඟපාන්න ලොකු ආසාවක් තිබුණා. කලාවට එන්න ලොකු ආසාවක් තිබුණා. නිර්මාණවලට කතා කරලා තියෙන්නෙ. හැබැයි මම ඒ දේවල් ඉගෙන ගන්නෙ නැතිව කරන්න අකමැතියි. ඒ නිසා මහේන්ද්‍ර පෙරේරා සර්ගේ work shop වලට ගිහින් ඒ දේ ඉගෙන ගන්න මම බලාපොරොත්තු වෙනවා. ඊටපස්සෙ රංගනයට යොමුවෙන්නත් බලාපොරොත්තු වෙනවා.

 

► Text -Dishani  /   Pic - Sumudu