2018 අප්‍රේල් 21 වන සෙනසුරාදා

පිස්සු කතා කරනවද මුදලාලි?

 2018 අප්‍රේල් 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 158

අපේ හිතවත් රංගන ශිල්පියෙක් එයාගේ නෝනයි දරුවනුයි එක්ක පසුගිය දවස්වල ගියාලු නුවරඑළිය පැත්තට ට්‍රිප් එකක්.
ඔන්න දවස් දෙක තුනක් විනෝද වෙලා ආපහු කොළඹ එන්න ලැහැස්ති වෙද්දි තමයි මතක් වුණේ මෙහෙ ඉන්න ළඟම ඥාතීන්ට, හිතවතුන්ට ෆ්‍රෙෂ් උඩරට එළවළු ටිකක් ගේන්න ඕන කියලා. 
ඔන්න දැන් කොළඹට එන පාරේ එළවළු කඩ බොහෝමයක්ම  වහලා. මොකද මේගොල්ලෝ පිටත් වෙලා තියෙන්නේ පාන්දර. 

එක කඩයක් ඇරලා තිබිලා. වෑන් එක ඒ ළඟින් නවත්තපු ගමන් දැකලා තියෙනවා විශාල බෝඩ් එකක්. අලුත්ම උඩරට හා පහතරට එළවළු කියලයි බෝඩ් එකේ ගහලා තිබුණේ.
මහත්තයෝ මේ දවස්වල වැඩ කරන කට්ටිය අඩු නිසා උඩරට එළවළු ටිකක් හිඟ වුණා. සුපිරි පහතරට එළවළු ටිකක් නම් දෙන්න පුළුවන්. කියලා මුදලාලි කිව්වම අපේ නළුවට මල පැන්නලු.
පිස්සු කතා කරනවද මුදලාලි? අපි පහතරට ඉඳං උඩරටට ආවේ පහතරට එළවළු අරං අපේ ගෙවල්වලට යන්නද?

 

අම්මේ කෝ ආන්ටි පූජා?

සිංහල අවුරුදු නිවාඩුවත් එක්ක වැටුණු අමතර නිවාඩු දවස්වලින් සමහරැ උපරිම ප්‍රයෝජන ගත්තා පසුගිය දවස්වල.
ගොඩාක් අය කළේ ඒ දවස්වල පවුල් පිටින් විනෝද ගමන් ගිය එක. කොළඹ තිබුණු රස්නෙන් බේරෙන්නත් එක්ක ගොඩාක් අය ගියේ බණ්ඩාරවෙල, බදුල්ල, නවරඑළිය වගේ සීතල පළාත්වලට.

මේ යන අතරතුර හපුතලේ ඇඩිසම් බංගලාව බලාගන්නත් බොහෝ අය අමතක කළේ නැහැ.ඔය වගේ ඇඩිසම් බංගලාව බලන්න ගිය පවුලක හිටිය අවුරුදු හතරක විතර පුංචි දැරියක් එක පාරටම කෑගහගෙන ඇහුවලු අම්මේ කෝ ආන්ටි පූජා? කියලා.
වටපිට හිටිය අයටත් හිනා ගියාලු. මේ ඇඩිසම් බංගලාව ආශ්‍රිතව තමයි ජනප්‍රිය නිළි පූජා උමාශංකර් රඟපෑ සරිගම චිත්‍රපටය හදලා තියෙන්නේ.
අනේ දැන් චූටි දූගේ වැඩේම සරිගම ඩීවීඩී එක දාගෙන බලන එකම තමයි. ඒකයි එයාට එක පාරටම මේ බංගලාව දැක්කම පූජාව මතක් වුණේ දරුවගේ අම්මා කිව්වලු.

 

නැති නෑදෑයොත් පස්සෙන් එනවලු

අතමිට සරු දා, බලය තිබෙන දා අප වටකර ඉන්න නෑදෑ හිතවතුන් අපට බැරි වුණු දවසක මොහොතකටවත් හොයාගන්න බැහැයි කියලා කියමනක් තියෙනවනේ. ඒ වගේ සිද්ධිවලට මුහුණ දීපූ මිනිස්සු ඕනතරම් මේ සමාජේ ඉන්නවනේ.
ලෙඩක් දුකක් හැදුණත් ඉතිං තමන්ට ඉන්නේ තමන්ගේ පවුලේ අය විතරනේ.

ඒත් පුදුමේ කියන්නේ කෙනෙකුට අසාධ්‍ය වුණාම නැති නෑදෑයොත් පස්සෙන් එනවලු.
එක්තරා ප්‍රවීණ නළුවෙක් මේ කතාව කිව්වේ ෂූටිං ඉවර වෙලා වෑන් රථයෙන් ගෙදර යන ගමන් එයත් එක්ක හිටිය සහෝදර නළු නිළියන් කීප දෙනකුට.
අසාධ්‍ය වුණාම කොහොද නැති නෑදෑයොත් පස්සෙන් එන්නේ? තරුණ නිළියක් සමච්චලයට වගේ ඇහුවලු.

අයියෝ පාරේ තොටේ යනකොට පොඩ්ඩක් ඇස් කන් ඇරගෙන ගියොත් අපට අනන්තවත් ඔය වගේ සිද්ධි දකින්න පුළුවන්නේ. දැන් බලන්න අසාධ්‍ය ලෙඩෙක් අරගෙන ගිලන් රථයක් නලාව ගහගෙන පාරේ යනකොට ඒකේ පිටිපස්සෙන් වේගෙන් යන ඒ ලෙඩාගේ නෑදෑ පිරිස. බයික්ද, වෑන්ද, කාර්ද, ත්‍රීවීල් රථද... මේ හැම වාහනයක්ම යනවනේ ලෙඩා ගෙනියන ගිලන් රථය පස්සෙන්...  ඒ නළුවා කිව්වම කාටත් හිනා ගියාලු.

 

විනිශ්චය මණ්ඩල නෝනාගෙන් අමුතු උත්තරයක්

දශක ගණනාවක් මුලුල්ලේ කලා ලොවේ විවිධ නිර්මාණ හා කලා ශිල්පීන් ශිල්පිණියන්ගේ සුවිශේෂී දක්ෂතා අගයමින් සීමිත සම්මාන උළෙලවල් පැවැත්වුණා. එහෙත් මෑතක සිට එවන් සම්මාන උළෙලවල් ක්‍රම ක්‍රමයෙන් වැඩි වෙන්නට පටන්ගෙන තිබේ.

මේ ප්‍රවණතාවයට  හේතු වුණේ පෞද්ගලික රූපවාහිනී ආයතන ද මෙවැනි සම්මාන උළෙලවල් පවත්වන්නට ආරම්භ කිරීමත් සමඟය.
ලාංකේය නිර්මාණ අගැයීම සඳහා ලාංකේය කලාකරැවන්ගෙන් සැදුම්ලත් විනිශ්චය මණ්ඩල පත්කිරීම නිසා විවිධ අර්බුදකාරී අවස්ථා ද ඉස්මතු වෙලා තිබෙනවා.
මෑතකදී පැවැති එක්තරා සිනමා සම්මාන උළෙලකදී සම්මානයට පාත්‍රවිය යුතුම ශිල්පියකුගේ නම නිර්දේශ නොවූයේ ඔහුට අකමැති කෙනෙක් විනිශ්චය මණ්ඩලයේ සිටි නිසාලු. ඒ ගැන විමසීමක් කළ එම රූපවාහිනී ආයතනයේ ප්‍රධානියකුට විනිශ්චය මණ්ඩලේ සාමාජික නෝනාගෙන් ලැබිලා තියෙන්නේ පුදුම උත්තරයක්.

මේ ගැන විතරක් අපෙන් ප්‍රශ්න කරන්න එපා. මේක අපේ තීරණයක්. මේ ගැන ආයෙත් ඇහුවොත් මම මාධ්‍යට කියනවා ඕගොල්ලෝ අපේ විනිශ්චයට ඇඟිලි ගහනවා කියලා

 

හොඳ කෑමක් කෑවොත් කපෝති

සමහර අයට පිටින් හදන කෑම කන්නම බෑ. කෑවොත් බඩ මර ලතෝනි දෙනවා. දවස් ගානක්ම බෙහෙත් ගන්න වෙනවා හොඳ වෙන්න. ඒ වුණාට තව පිරිසක් ඉන්නවා ඒගොල්ලන්ට ඕනෑම කෑමක් ඔරොත්තු දෙනවා. ඒ තරමටම හැමතැනින්ම කාලා බඩ ඒවට පදම් වෙලා.

ළඟදි දර්ශන තලයක මේ මාතෘකාව මතු වෙච්ච වෙලාවේ, අපේ එක්තරා කලාකරුවෙක් මරු කතාවක් කිව්වා.
මගේ යාලුවෙක් ඉන්නවා, එයා කන්නෙම අවුල් කෑම. එක්ස්පයරි ඩේට් පැන්න කෑම කන තරමට එයාට තියෙන්නේ පුදුම සනීපයක්. කෑම ටිකක් පිළුණු වීගෙන එනකොටම තමයි එයා කන්න කැමති. එයාගේ බඩට  ඔරොත්තු දෙන්නේ ඒ වගේ කෑම ගත්තම තමයි. ඔන්න එක දවසක් මේ මනුස්සයා වෙඩින් එකකට ගිහින් හොඳ තරැ පහේ හෝටලයකින් කෑවොත්, අන්න එදාට එයාගේ බඩ අප්සෙට් වෙනවා. අලුත් කෑම ඇඟට අල්ලන්නෙම නැහැ.


► Text - Mithra