2018 අප්‍රේල් 13 වන සිකුරාදා

එයාට ගනුදෙනු කරද්දි ලොකු ලොකු සල්ලි කොළ ඕනෑ

 2018 අප්‍රේල් 13 වන සිකුරාදා, පෙ.ව. 06:00 335

හිනාවෙන් කතාවෙන් රංඟනයෙන් රටම හිනස්සන පිංපොංගේ අලුත් අවුරුද්ද

රජිත.... සිංහල අලුත් අවුරුද්දට ඔයාලගේ ගෙදර අවුරුදු සමරන්නේ කොහොමද...?
මම විවාහ වෙන්න කලින් ඉඳන්ම අපෙ ගෙදර නැකැත්වලට මූලික තැනක් ලැබෙනවා. මම පොඩි කාලේ අපේ තාත්තා කියල දීපු දෙයක් තමයි අවුරුද්දේ තුන්සිය හැටපස් දවසේම කොයි ලෝකේ හිටියත් සිංහල අලුත් අවුරුද්දට නැකැත් කාලය සිදුවෙනකන් මායි මල්ලයි ගෙදර ඉන්න ඕනේ කියලා. අපේ තාත්තා සිංහල අලුත් අවුරුද්දේ චාරිත්‍ර හරියටම කරපු තාත්තා කෙනෙක්. ඊට පස්සේ මම විවාහ වුණාට පස්සේ බිරිඳගේ ගෙදර කාලයක් හිටියා. ඒත්.... අපි සිංහල අවුරුදු දා චාරිත්‍ර කරන්න අපේ අම්මලාගේ ගෙදරට ආවා. එහෙම අවුරුදු දවසට කලින් දවසේ ඇවිත් ඒ චාරිත්‍රත් අකුරටම ඉටුකළා.

හැබැයි ඉතින්... සමහර දවස්වලට රජිතට ඒ චාරිත්‍ර කරන්න ඉඩ ලැබෙන්නෙත් නෑ විවිධ වැඩසටහන් නිසා....?
ඔව්... ඒකනම් ඇත්ත. සමහර අවුරුදුවල විවිධ නාලිකාවල තියෙන සජීවී වැඩසටහන්වලට සහභාගි වෙන්නත් සිද්ධ වුණා... සමහර අලුත් අවුරුදුවල පිටරට සංචාරවලත් යන්න තියෙනවා.... ඒත් ඉතින් මොනවා කරන්නද? හැබැයි ගෙදර ඉන්න දවස්වලදී නම් අලුත් අවුරුදු නැකැත් අපි ඒ විදිහටම කරනවා.

රජිත... බෞද්ධ වුණාට ඇන්ඩ්‍රා කතෝලික කාන්තාවක්. කොහොමද ඇන්ඩ්‍රා අලුත් අවුරුදු චාරිත්‍රවලට ළැදිකම...

ඔව්... මම බුද්ධාගමේ වුණාට ඇන්ඩ්‍රියා කතෝලික ඉන්දියානු කෙනෙක්. ඇන්ඩ්‍රියාගේ තාත්තා ඉන්දියානු කෙනෙක්. ඉන්දියානු ශිව රාත්‍රිය වගේම දෙසැම්බර් මාසෙට නත්තල් උත්සව වගේම අළු බදාදාත් සැමරුවා. ඒ හැමදෙයක්ම ඇන්ඩ්‍රියා හරි අපූරුවට සැමරුවා. ඊට අමතරව ඇන්ඩ්‍රියා මාව බැඳපු දවසේ ඉඳලා සිංහල අලුත් අවුරුද්ද චාරිත්‍ර මටත් වඩා හොඳට සමරනවා. අපේ තාත්තා එදා කියනවා වගේම අද ඇන්ඩ්‍රියා මට කියන දෙයක් තමයි තුන්සිය හැටපස් දවසේම කොයි ලෝකේ හිටියත් සිංහල අලුත් අවුරුද්ද දවසෙයි, නත්තල් දවසෙයි ගෙදර ඉන්න කියලා.

ඒ කියන්නේ රජිතගේ සිංහල හින්දු අලුත් අවුරුද්ද සමරන්නේ සිංහල විදිහටද?
ඔව්.... සිංහල හින්දු අලුත් අවුරුද්ද අපි සමරන්නේ සිංහල විදිහටයි. එදාට අපි අඳින පළඳින විදිහත් ඔක්කොම සිංහල විදිහට තමයි අඳින්නේ. දුවලා දෙන්නටත් රෙද්දයි හැට්ටෙයි අන්දලා මම සරම ඇඳලා ඒ දවස ඇඳුමෙන් වුණත් වෙනස් කරනවා. ගෙදර අලුත් අවුරුද්ද සමරන්න පුළුවන් වුණු දවස්වලදී මම මගේ අම්මලා එක්ක, ඇන්ඩ්‍රියා, දරුවන් එක්ක සිංහල අලුත් අවුරුද්ද සමරන්න කැමතියි.

රජිතගේ ගෙදර සිංහල හින්දා අලුත් අවුරුදු කෑම මේසෙ කැවිලි පෙවිලි වුණත් විශේෂ ඇති නේද?
ඔව්. සිංහල වගේම හින්දු කැවිලිත් අපි අපේ ගෙදර හදනවා. කොණ්ඩ කැවුම් කැවුම් වගේ දේවල් අපේ අම්මා අපිටත් හදලා දෙනවා. ඇන්ඩ්‍රියාටත් ආස හිතුනම එයත් ඒ දේවල් හදනවා. ඒ වගේම ඇන්ඩ්‍රියාගේ තාත්තාත් ඉතින් ඉන්දියානු නිසා ශනකර් පානි, සීරා වැනි කැවිලිත් හදනවා. ඒ වගේම අපි පැණිවළලුත් හදනවා. ඉන්දියාවේ පැණිවළලු වලට සමාන පිලේවිත් අපි හදනවා.

රජිතගේ පොඩි දුවගේ මේ පළවෙනි සිංහල අලුත් අවුරුද්දනේ. ලොකු දුව ඇමෙන්ඩා සිංහල අලුත් අවුරුද්ද ගත කරන්නේ කොහොමද?
එයා සිංහල අලුත් අවුරුද්දට ගොඩක් ආසයි. එයාට තමයි ඔය රෙද්දයි හැට්ටෙයි ඇඳගෙන අවුරුද්ද සමරන්න ආස හිතුණේ. මට මතකයි එකපාරක් අපි අපේ මහගෙදරට අම්මලා එක්ක අවුරුද්ද සමරන්න ආවේ ඇන්ඩ්‍රියාගේ ගෙදර ඉඳන් රෙද්දයි හැට්ටෙයි ඇමෙන්ඩාට අන්දගෙනමයි ආවේ. එදා අපෙ අම්මලාත් හිතුවේ නෑ අපි දුවට රෙද්දයි හැට්ටෙයි අන්දවගෙන එයි කියලා. එතකොට ඇමෙන්ඩාට අවුරුදු දෙකක් විතර ඇති. අපෙ දුව ඇවිදින්න බැරි ගොඩක්  පොඩි කාලේත් අපි සිංහල අලුත් අවුරුද්දට රෙද්දයි හැට්ටෙයි අන්දවලා තියෙනවා.

නෑගම් එහෙම යනවද?
ගොඩක් වෙලාවට සිංහල අලුත් අවුරුද්දට නෑගම් යනවා. හැබැයි දැන් තියෙන වාතාවරණයත් එක්ක මට ඒ දේ කරන ප්‍රමාණය ගොඩක් අඩුයි. නෑදෑයෝ නම් තාම අපේ ගෙවල්වල ඇවිත් අපේ අම්මට, අපිට කතා කරලා යනවා. ඒ අතරතුරේ එක දවසකට යා ගන්න පුවවන් නෑ ගෙවල් තුනක් හතරක් දාගෙන අපි ගිහින් එනවා. හැබැයි අපේ හැම නෑදෑ ගෙයකටම සිංහල අලුත් අවුරුද්දට යා ගන්න බැරි තත්ත්වයක් තියෙනවා. ඒ ගැන ටිකක් දුකයි. සිංහල අලුත් අවුරුද්දෙදි තමයි කලාකරුවන්ගෙත් කලාකාරියන්ගේත් වැඩ වැඩි කාලයක්නේ. හැම ගමකම සිංහල අලුත් අවුරුදු උත්සව තියෙනවනේ. ඒ බොහෝ අවුරුදු උත්සවවලට අපිට ආරාධනා ලැබෙනවා. කොහොම හරි අප්‍රේල් මාසේ තිහ වෙනකන් එකදිගට උත්සව, ප්‍රසංග තියෙන වෙලාවලුත් තියෙනවා.

අලුත් අවුරුදු නොනගත වෙලාවට බොහෝ දෙනෙක් පන්සල් එහෙමත් නවා. රජිත යනවද?
පන්සල් යන නොනගත වෙලාවලුත් තියෙනවා. ලැබෙන කාලේත් එක්ක තමයි ඒක තීරණය කරන්නේ. ලොකු දුවට අපි ආගම් දෙකක කියලා වෙනසක් නැහැ. අම්මා කතෝලික තාත්තා බෞද්ධ කියන දේ එයාටල නොදැනෙන තරම්. එයාලා පන්සලට ගියාම බෝධිය නාවලා, මල් පූජා කරලා ඒ හැම දෙයක්ම කරනවා. පල්ලි ගියාම ඉටිපන්දම් පත්තු කරලා යාඥා කරනවා. අපි උත්පත්තියෙන්ම අපෙ මව්පියන් හරහා ආගම් තිබ්බත් අපි ජීවත් වෙන්නේ අපි හැමෝම එකම මිනිස්සු කියන හැඟීමෙනුයි. අපි වෙනත් ජාතික යාළුවෝ ඇසුරු කරනවා. ඒ කොතනකවත් ආගම් ප්‍රශ්නයක් අපිට දැනෙන්නේ නැහැ. අපි ඔක්කොම හොඳ නෑදෑයෝ. යාළුවෝ, මිතුරෝ විතරයි. අපේ ගෙදර එකම උසකින් බුදු පිළිමත් ජේසුස් වහන්සේගේ පිළිමයත් තියෙනවා. ඒ දෙකටම මල්පහන් පූජා කරනවා. විශ්වාස කරන්න ඒ වතාවත් වැඩිපුරම සිද්ධ වෙන්නේ ඉන්දියානු කතෝලික ඇන්ඩ්‍රියාගේ තාත්තා අතිනුයි. ඉන්දියානු කතෝලික තාත්තා බුදුහාමුදුරුවන්ට මල් පහන් පූජා කරනවා නම් මටත් එයාගේ ආගමේ ජේසුස් වහන්සේට ඉටිපන්දමක් පත්තු කරලා වතාවත් කරන්න බැරිකමක් නැහැ.

සිංහල හින්ද අලුත් අවුරුද්දට ඇන්ඩ්‍රියාගේ හින්දු නෑදෑයින්ගේ ගෙවල්වල යනවාද?
නැහැ. ඇන්ඩ්‍රියාගේ තාත්තා ඉන්දියානු කතෝලික වුණාට ඇන්ඩ්‍රියාගේ අම්මා කතෝලික කෙනෙක්. ඇන්ඩ්‍රියාගේ තාත්තාගේ නෑදෑයින් කවුරුවත් ලංකාවේ නැහැ. ඒ හැමෝම ඉන්නේ බොම්බේවල. ඒ නිසා ඒ හින්දු නෑදෑයින් අපිට මුණගැහෙන්නේ නැහැ. ඇන්ඩ්‍රියාගේ අම්මා නෑදෑයෝ සමරන්නේ නත්තල් උත්සවය. ඒ නිසා සිංහල අලුත් අවුරුද්දට මගේ නෑදෑයෝ එක්ක තමයි ඒ උත්සවය සමරන්නේ.

සිංහල අලුත් අවුරුද්දේ බුලත් දී වැඳීම, ගනුදෙනු කිරීම චාරිත්‍ර රජිත කරනවාද...?
ඔව්... ඔව්... ඒ හැමදේම කරනවා. ගනුදෙනු එක හරි නැකතට හරි නූලට මගේ බිරිඳ කරනවා. එයා කලින් දවසෙ සල්ලි මාරැකරගෙන වැඩිපුර මාරු කාසියකුත් තියාගෙන බුලත් කොලේ ඔතාගෙන ලෑස්ති කරගෙන තියාගන්නවා. හැබැයි සමහරදාට මටත් අමතක වෙන වෙලාවත් තියෙනවා. කොහොම හරි මතක් වුණාම ලෑස්ති කරගෙන වෙලාවට මාත් එයත් එක්ක ගනුදෙනු කරනවා. අපේ ලොකු කෙල්ල ඉන්නේ වැඩි ලාභය ගන්නයි. එයාට ගනුදෙනු කරන්න ලොකු කොළ තමයි ඕනේ. එයා ගණන් හද හදා තමයි ගනුදෙනු කරන්නේ.

අවුරුදු සෙල්ලම් කරන්නේ නැද්ද?
එක අවුරුද්දක අපි කට්ටියම එකතුවෙලා කැට ගැහුවා. දිනාගෙන එනකොට එයාට සතුටුයි. හැබැයි පරාජය වෙද්දී අඬාගෙන යනවා. ඊට පස්සේ ඒ සෙල්ලම එතනින් ඉවරයි.

2018 ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්දේ රජිතගේ සුභ පැතුමත් අපිටත් කියන්න?
සිංහල දෙමළ මුස්ලිම් සහ බර්ගර් ජාතීන් ජීවත්වෙන මේ පුංචි මුහුදෙන් වටවුණු දූපතේ සිංහල දෙමළ කියලා බෙදාගෙන සමරනවාට වඩා අපි හැමෝම එකතුවෙලා අත් අල්ලාගෙන සහෝදරයන් විදිහට සැමරිය යුතු අවුරුද්දයි මේ. මේ සහෝදර බැඳීම තව තවත් ශක්තිමත් කරමින් ආයෙත් යුද්ධයකට අත වනන්නේ නැතිව අපි හැමෝම අවුරුදු සමරමු.

 

► Text – Dishani  /  Pic -Sumudu