2018 අප්‍රේල් 13 වන සිකුරාදා

බෞද්ධ,ඉස්ලාම්,කිතුනු පා සිපගත් වතිකානුවේ දේව පුත්‍රයා!

 2018 අප්‍රේල් 13 වන සිකුරාදා, පෙ.ව. 06:00 208

ලොව පුරා වෙසෙන කතෝලික සැදැහැවතුන් මෙන්ම අන්‍යාගම්වලට අයත් පොදු ලෝකවාසී බොහෝ දෙනා ද ෆ්‍රැන්සිස් පාප් වහන්සේට ගෞරව කරති, ආදරය කරති. ඒ ගෞරවය, ආදරය උන්වහන්සේ දිනාගෙන තිබෙන්නේ ද හුදෙක් පාප් වහන්සේ නමක් වීමෙන් නොව මිනිසාට, මිනිසත් බවට ආදරය කරන මනුෂ්‍යයෙකු වීම නිසාමය. 

උන්වහන්සේගේ ඒ උත්තුංග පැවැත්ම ප්‍රකට කරවන තවත් සිදුවීමක් පසුගිය පාස්කු සතියේ ඉතාලියේ රෝම අගනුවරදී දැකගැන්මට හැකිවිය. ඒ පාස්කු සතියේ එළඹි ශුද්ධ වූ ගුරැ දිනයේදී රෝම නුවර පිහිටි රෙජිනා කොයෙලි නම් වූ සිපිරිගෙයකට වැඩම කළ උන්වහන්සේ එහි සිටි සිරකරුවන් දොළොස් දෙනෙකුගේ පා දොවා සිපගෙන ආශීර්වාද එක්කිරීමත් සමඟිනි. 

නව පාප් වහන්සේ ලෙස පත්වීමත් සමඟ මෙසේ පාස්කු සතියේ ගුරු දිනයක සිපිරිගෙයක් කරා ගොස් එහි රැඳවියන්ට ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ආසිරි එක්කළ සිව්වැනි වතාව ද මෙය වේ. ඇතැම් සම්ප්‍රදායික කතෝලික ප්‍රජාවන් මේ පිළිබඳ උන්වහන්සේ විවේචනය කිරීමට පවා යොමුව තිබුණ ද සෑම මොහොතකදීම සිනහවකින් මුහුණ සරසාගත් ‘සිනාසෙන පාප් හිමියෝ ඒ කිසිදු විවේචනයක් මිඩංගු නොකරමින් තම සද්ක්‍රියාවේ මෙවරත් යෙදුණාහ. 
‟මම විශ්වාස කරන අන්දමට මම පාප්වරයා ලෙස රෝගියෙක් ළඟට, සිරකරුවෙක් ළඟට ගියාම ඒ අයට නැවතත් ජීවිතය ගැන බලාපොරොත්තුවක් ඇතිවෙනවා. අලුත් ජීවිතයක්, යහපත් ජීවිතයක් ගැන හිතන්න පෙළඹෙනවා. කතෝලික පල්ලියේ ඉගැන්වීමත් එයයි” කලකට ඉහත සම්මුඛ සාකච්ඡාවකදී උන්වහන්සේ පවසා තිබුණි. 

මෙවර උන්වහන්සේගෙන් ආශීර්වාද ලබාගත් සිරකරුවන් අතර ඉස්ලාම් භක්තිකයන් දෙදෙනෙකු, ක්‍රිස්තියානි ආගමිකයෙකු සහ බෞද්ධයෙකු ද සිටි බව ඉතාලි මාධ්‍ය වාර්තා කර තිබුණි. උන්වහන්සේ ඒ කිසිදු සිරකරුවෙකුට වෙනසක් නොදක්වමින් කෙණ්ඩියෙන් උණුසුම් ජලය වත්කරමින් ඔවුන් සියලු දෙනාගේ පා දොවා පිස දැමුවේ, පාදය මෘදුව සිපගනිමිනි. 

‟මා ද අතීතයේ ඔබ මෙන් පව්කාරයෙක්. නමුත් මා අද නියෝජනය කරන්නේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේවයි” යනුවෙන් උන්වහන්සේ පවසද්දී කඳුළින් බර දෙනෙත් ඇති සිරකරුවන් ද පහතට නැමී උන්වහන්සේ සිප ගත්හ. 
මෙසේ පා දෙවීමේ චාරිත්‍රයක් පාප් වහන්සේ විසින් සිදුකරනු ලබන්නේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ තම අවසන් භෝජනයට පෙර තමා සමඟ සිටි අපෝස්තල්වරුන් දොළොස් දෙනාගේ පා දෙවීම සිහිපත් කිරීමක් වශයෙනි. උන්වහන්සේ එවැන්නක් එදවස සිදුකළේ තම නිහතමානී බව පෙන්නුම් කිරීමක් වශයෙන් යැයි කියැවේ. 

ශුද්ධ වූ කතෝලික සභාවේ පාප්වරයා ලෙස 2013 වසරේදී තෝරාපත් කර ගැනුණු ෆ්‍රැන්සස් පාප් වහන්සේ එම වසරේදීද මෙම චාරිත්‍රය ඉටුකිරීම සඳහා වතිකානුවෙන් එළියට පැමිණ තරුණ රැඳවියන් සිටින මධ්‍යස්ථානයකට වැඩම කළහ. එතැනදීද ඉස්ලාම් භක්තිකයින් දෙදෙනෙකුට උන්වහන්සේ ආශීර්වාද කළ අතර එවැන්නක් සිදුකළ ලොව මුල්ම කතෝලික නායකයා ලෙස ද ඉතිහාසයට එක්විය. 

ෆ්‍රැන්සස් පාප් වහන්සේ මෙතෙක් වතිකානුවේ වාසය කළ බොහෝ පාප් වහන්සේලාට වඩා වෙනස් චරිතයකි. උත්තුංග මනුෂ්‍ය ගුණාංග පෙන්නුම් කළ උන්වහන්සේ වරක් ගණිකාවකට ද සමාව ප්‍රදානය කළහ. තවත් විටෙක චර්ම රෝගයක් නිසා විරූපී වූ මිනිසෙකු සිපගනිමින් දෙවියන් වහන්සේගේ දයාව ප්‍රකට කළහ. ගබ්සාව පිළිබඳ සම්ප්‍රදායික කතෝලික මතය වෙනුවට වඩා මානුෂවාදී තැනකට ඒ ගැන තම අදහස් මෙහෙයවූහ. සියල්ලට පෙර මනුෂ්‍යත්වය වෙනුවෙන් පෙනී සිටින ෆ්‍රැන්සස් පාප් වහන්සේ සදාදරණීය ආගමික නායකයෙකු බවට පත්ව සිටින්නේ මේ උතුම් ආදර්ශමත් පැවැත්ම හේතුවෙන් බව නිසැක ය. 


Text - Rajitha - Pic - Internet