2018 අප්‍රේල් 13 වන සිකුරාදා

ඒ මොකටද කවදාවත් නැතුව අමු බිත්තර බීවේ

 2018 අප්‍රේල් 13 වන සිකුරාදා, පෙ.ව. 06:00 209

කර්ම භූමි

කුඩම්මා රතු පාට රත්තරන් පාට කලවම් වුණු දිලිසෙන සාරියකින් සැරසී හිටියා. කළු තරබාරු පෙනුමක් එයාට තිබුණේ. මගේ අම්මා සුදු උස හීන්දෑරි කෙනෙක්. එයාට තිබුණේ මට වගේම දුඹුරු පාටට හුරු ලොකු ඇස් දෙකක්. අම්මා සල්වාර් ඇඳලා හැම මොහොතකම සළුවෙන් ශරීරය වහගෙන හිටියා. අම්මා ළඟ තිබුණ ඒ ශාන්ත පෙනුමට මම හුඟක් ආසා කළා. මම කෙලින්ම ඇස් දෙක හරවලා කුඩම්මා දිහා බැලුවේ එයාගේ ඇස් දෙක කොහොමද බලන්න. මට කෙනෙක්ගේ වැඩියෙන්ම දැනුණේ බැල්ම. ඒකයි මම මුල්වතාවට හම්බවෙන කාගෙ වුණත් ඇස් කොහොමද කියලා බලන්නේ. එයාගේ ඇස් දෙකේ තිබුණේ ළා කහපාට මලානික පෙනුමක්. මගේ අම්මට වගේ දිලිසෙන කෙලින් බැල්මක් එයාට තිබුණේ නෑ...

අමර්... තාත්තා මට අඬගහද්දී මම හෙමින් හෙමින් තාත්තා ළඟට ගියා. ඒත් තාත්තට කිට්ටුවෙන්න ඔන්න මෙන්න කියලා තියෙද්දී  බිමට එලලා තිබුණු බුමුතුරුණේ මගේ කකුල පැටලිලා මාව ලිස්සලා ගිහින් ඇද වැටුණා.
කවුරුත් කළේ මාව නැගිට්ටුවනවා වෙනුවට හිනාවෙච්ච එක. මම ලණු බුමුතුරුණේ පැටලී තිබූ මගේ කකුල පැටලිල්ලෙන් මුදාගෙන හෙමින් නැගිට්ටා. 

මොකෝ කුඩම්මට බය වෙච්ච ගමන් කකුලත් පැටලුනාද? තාත්තාගේ යාළුවෙක් එහෙම ඇහුවේ නිකම් ඔච්චමට වගේ... මම මොකුත්ම නොකියා හෙමින් සීරුවේ තාත්තා ළඟට කිට්ටු වුණා. 
මේ තමා මගේ එකම පුතා අමර්... තාත්තා මාව ඒ විදිහට කුඩම්මට හඳුන්වලා දෙද්දී කුඩම්මා ලොකු කම්බුල් දෙක තව ටිකක් පිම්බුවා. එයා අම්මා වගේ දත් පෙන්නලා ලස්සනට හිනා වුණේ නෑ. ඒ තමා එයා හිනාවෙන විදිහ, මට වැටුණු වේදනාව අමතක වෙලා මූණට එකපාරටම හිනාවක් ආවේ කුඩම්මා හිනාවෙච්ච කැතට.
හා... දැන් ඉතින් ගිහින් බලන්න කෝකි මාමලා මොකද කරන්නේ කියලා...

තාත්තා එහෙම කියද්දී මට ආයෙත් වමනය යන්න වගේ ආවා. සුදු ලූනු, විනාකිරි, ලීක්ස් ගඳ කොහොම ඉවසන්නද? ඒත් තාත්තා තරහා නොගස්සා මම හිමින් සැරේ කුස්සිය දිහාට ගියා. 
මෙහෙ මොකට ආවද? මඟුල් තියෙන්නේ ඉස්සරහනේ... කෝකි මාමලා එහෙම කියන ගමන් ගැඹුරු තෙලේ බැද්ද කුකුල් කකුලක් මට දිගු කළා... 

එපා...
එපා...?
ඇයි එපා කියන්නේ...?
මම මස් කන්නේ නෑ... ඊයා මැරිලා කුණු වෙච්ච දේවල්.
මම එහෙම කියද්දී ඔක්කොම හිනා වුණා...
පිරිමි දරුවෙක් වුණාම මස් කන්න ඕනෑ... නැත්තම් ලොකු වෙද්දී තෙල මෝරන්නේ නෑ...
මට එපා...
කෝ තාම බයිට් ලෑස්ති නැද්ද තාත්තා එහෙම කියාගෙන එතෙන්ට එද්දී ඔක්කොමලා කටවල් වහගත්තා. 
මේ ගේනවා ලාලා ජී...
බී ලූණුත් පෙති කපලා ගේන්න... 

තාත්තා එහෙම කියලා කෝකියාගේ කනට කිට්ටු කරලා මොකක්දෝ කීවා. 
තාත්තාගෙන් විනාඩියක් ඉල්ලුව කෝකියා බිත්තර පෙට්ටියෙන් අමු බිත්තරයක් අරන් ඒක කඩලා වීදුරැවකට දැම්මා. අතුරුපස හදන්න ගෙනත් තිබුණු දොඩම් ගෙඩියක් අරන් චරාස් ගාලා මැදින් කැපුවා. ඊළඟට බිත්තරේ දැම්ම වීදුරුවටම දොඩම් ගෙඩියත් මිරිකලා හැන්දක් අරන් ටක ටක ගාලා ගැහුවා. ඒක තාත්තා අතට දුන්න ගමන් තාත්තා උගුරු දෙකට ඒ බීම වීදුරුව කටේ හලාගත්තා. 
මට ආයෙත් වමනෙට වගේ ආවා. ඊයා... ඒ මොකටද කවදාවත් නැතුව අමු බිත්තර බීවේ. මම කවදාවත් දැකලා නෑනේ තාත්තා අමු බිත්තර බොනවා. 
මම හිතුවා විතරයි ඇයි එහෙම බීවේ කියලා තාත්තාගෙන් ඇහුවේ නෑ... 

ඒත් තාත්තා එතනින් ගියා විතරයි කෝකි මාමලා මට නෑහෙන්න මොන මොනවදෝ කියලා හෙමි හෙමින් හිනා වුණා. 
දවල්ට දුම්තෙල් බත් එක්ක අල, පරිප්පු, කුකුල් මස්, බටු මෝජු තිබ්බා. මම අලත් එක්ක බත් කන්න ආසාවෙන් මඟුල් මේසෙට බත් අරිනතුරැ බලාගෙන හිටියා. මම බත් අනන්නේ අල්ලෙන්. ඇඟිලි අස්සෙන් පනින්න බත් ඇනුවේ නැත්නම් මට බත්වල රස දැනුණේ නෑ. ඇස්වලින් කඳුළු පනිනකම් මිරිස් සැරට කෑම කන්න ආසා කරන මිනිස්සු ලෝකයේ ඉන්නවා කියලා ඇහුවම මට පුදුමත් හිතුණා. මම ආසම කළේ අමු මිරිස් රසට. තාත්තා කුඩම්මා එක්ක කෑම කද්දී මම කෑම කෑවේ තනියම. මට හරියන කවුරුත් තාත්තගේ ආරාධිතයන් අතරේ හිටියේ නෑ.

හැන්දෑ වෙද්දී සාදයට ආව හැමෝම ගියා. ඉතුරු වුණේ තාත්තයි මමයි කුඩම්මයි අම්මගේ මරණයෙන් පස්සේ ගෙදර වැඩ ටික කරලා දෙන්න ආව කෙනයි විතරයි. හවස ගඟට ගිහින් නාගෙන ආව කුඩම්මා දිග ගවුමක් ඇඳගෙන හැන්දෑවේ අව්ව තැප්පේ හොඳට කොණ්ඩේ නොවේලුනොත් එයාට හෙම්බිරිස්සාව හැදෙන බව තාත්තට කියමින්. තාත්තගේ මූණ රූ වෙන්න රෑ වෙන්න ඉදෙන්න ළං වෙච්ච අඹ ගෙඩියක් වගේ... අප්පා අද එයාගේ සතුට... අමර් කෙනෙක් ගෙදර ඉන්නවා කියලා එයාට එදා මෙලෝවගක් නෑ... තාත්තලා ඔහොමමයි... රෑ වෙන්න රෑ වෙන්න මගේ හිතට ආවේ මහ පාළුවක්... තාත්තයි කුඩම්මයි මිනිස්සු ගිය වෙලේ ඉඳන් කළේ ඉතුරු වෙච්ච කෑම භාජනවල අඩුක් කර කර ශීතකරණයේ තැන්පත් කළ එක. රෑ වෙද්දී බඩගින්නක් දැනුණත් බත් ටිකක් ඉල්ලන්නේ කාගෙන් ද කියලා මට තේරුණේ නැහැ... වෙනදට ගෙදර කෑම උයන බෙදන කෙනත් තාත්තා කුඩම්මව ගෙදර ගෙනාපු දවසේම තාත්තා ගෙදර යවලා තිබුණා.

මම කාමරේට ගිහින් කළුවරේම ඇඳේ වැතිරුණා. හඳ අහසේ කොහේ හෝ සැඟවී සිටියා. තරු මලානිකව නිදා වැටෙමින් සිටියා. අහසේ තිබුණේ තද අළු පැහැයක්. මම ඔහේ අහස දිහා බලාගෙන හිටියා. මට එහෙමම නින්ද යන්න ඇති. මහ රෑ මට ඇහැරුණේ මහ වරුසාවේ සද්දයට. වැස්ස මට හැමදාම අමුතුම දෙයක්. අහසේ ඉඳන් පොළොව හොයාගෙන එන එකම දේ ඒ වැස්ස. ඒකයි වැස්ස මට අමුතුම දෙයක් විදිහට දැනුණේ. වැස්සේ මහා සද්දය අස්සේ මට ඇහුණේ හුළගේ හෝ ගෑවිල්ල. මම සීතලේ පොරෝණය හෙව්වත් ඒක තිබුණේ නෑ. සීතල දරාගන්නම බැරි තැන මම නැගිටලා විදුලි ස්විචය එබුවත් විදුලි බුබුල දැල්වුණේ නෑ. විදුලිය ගිහින් තිබුණා. ඒ කළුවරේම මම පොරෝණය හෙව්වා. මාව සීතලට ගැහෙන තරම්. ඇඳ පාමුල වැටී තිබුණ පොරෝණය අහුලාගත්ත මම ඒකත් ගුලිකරගෙන ඇඳේ වැතිරුණා. සීතල අස්සේ මට දැනුණේ ඉවසන්න බැරි බඩගින්නක්. වැස්ස අහසේ ඉඳන් ඇවිත් පොළොවට දුක කීවත් මම මගේ දුක කියන්නේ කාටද?
මට එකවරම මහ හයියෙන් ඉකිගැහුණා... 
අ...ම්...මා...

► අනුවර්තනය : චන්දන වරාවිටගේ &  සංජු