2018 අප්‍රේල් 13 වන සිකුරාදා

දැහැන

 2018 අප්‍රේල් 13 වන සිකුරාදා, පෙ.ව. 06:00 43

දවස් දෙකක් වෙනුවෙන් රටක්ම ලෑස්ති වෙනවා. හිත්වල මොන මොන ගින්දර ඇවිලුණත් මිනිස්සු ඒ ගින්දරත් එක්කම අවුරුද්දේ සතුට හොයනවා. සල්ලි තියෙනවනම් ජීවිතය වෙනුවෙන් සැබෑ සතුට කෙසේ වෙතත් මතුපිට සතුට හරි හොයාගන්න පුළුවන් මාර්ග ඕන තරම් තියෙනවා. සැබෑ සතුට කොහොමත් දුරයි. විරලයි. ඒත් අපිට ජීවිතයේ සමහර තැන්වලදී සැබෑ සතුටයි මතුපිට සතුටයි වෙන් කරලා හඳුනාගන්න අමාරැයි. එක්කෝ අපි රැවටෙනවා. නැත්නම් අපි අපිව රවට්ටගන්නවා. අවුරුද්ද ළං වෙද්දිත් එහෙමයි. සමහරු කපලා මහලම ඇඳගන්න ලෑස්ති වෙනවා. තවත් පිරිසක් හැකි හැකි උපරිමයෙන් අන්දන්න බලාගෙන ඉන්නවා. ඇඳගත්තත් ඇන්දුවත් අවසානයේදී ලැබෙන ප්‍රතිඵල එකයි.

චාරිත්‍ර වාරිත්‍ර සම්ප්‍රදායන් හා වුවමනාවටත් වඩා බැඳිච්ච සංස්කෘතියක් අස්සේ අපි හිරවෙලා. ණය වී ගෙන දුක් විඳගෙන හරි ඒ දේවල් ඒ විදිහටම රුකගන්න වෙලාවකට අපි මාරෙට දත කනවා. අපි අපේ අවශ්‍යතාවයන් වින්දනයන් ඒ වෙනුවෙන් උගස් කරනවා. සමහරු අවුරුද්ද පිළිගන්න ලෑස්ති වෙන්නේ බැණ බැණ. කොහේ තියන සල්ලියක්ද? ඇඩ්වාන්ස් ගත්තා වගේද මාසේ ගාණේ පඩියෙන් කැපෙන්න ගියාම.. වටේ ගෙවල්වලට කෑම පිඟන් යවන්න ඕන.. අම්මලට තාත්තලට ඇඳුමක් අරන් දෙන්න ඕන.. වියදමට කියලා අතට කීයක් හරි දෙන්න ඕන.. නෑදෑ ගෙවල්වල යද්දී අඩුම තරමේ කේක් ගෙඩියක් කෙසෙල් ඇවරියක් තරම්වත් අරන් යන්න ඕන... තියෙන උන්ටනම් මොකද අපි හැමදේම මාසේ පඩියෙන්ම කරගන්න එපැයි.. කොච්චර නැති වුණත් නොකරත් බෑනේ. අවුරුද්දටම එක සැරයයිනේ අවුරුදු.... අර විදිහට කියලා කියලා සමහරවිට ඔයා හිත හදාගන්නේ ඒ අන්තිම සිතුවිල්ලෙන්.

ඇයි ඔයා මෙච්චර විඳවන්නේ.. පිටකොටුවේ ඉඳන් කොළඹ හතේ ඇඳුම් සාප්පු දක්වා හැම ජාතියේම බිස්නස්කාරයෝ ලෑස්ති වෙලා ඉන්නේ ඔයාව හූරාගෙන කන්න. සේල් වට්ටම් බෝර්ඩ් හැමතැනම.. ක්‍රෙඩිට් කාර්ඩ්වලට අමුතු අමුතු වට්ටම්... අයියෝ සංසාරේ ඇයි අවුරුදු කාලවලට විතරක් මේ රටේ ව්‍යාපාරිකයන්ට පාරිභෝගික ජනතාව ගැන මෙච්චර ආදරයක් කැක්කුමක් කියලා හිතෙනවා. ඒ තමා මිනිස්සු වද නොවී අන්දන්න පුළුවන් කාලය.

මට හිතෙන්නේ දුක් මහන්සියෙන් හම්බ කරන හැම රුපියලක් වෙනුවෙන්ම ඔයා ඔයාට වගවෙන්න ඕන. අද දවසේ හොඳින් සතුටින් ජීවත් වෙන්න ඕන වගේම හෙට දවසත් ඔයාගේ ජීවිතයට වලංගු වග ඔයා අමතක නොකර ඉන්න ඕන. අවුරුද්ද විකුණුනදෙන් ඔයා නොවිකිණී ඉන්න. ඔයාට සැබෑ අවුරුද්ද හා අවුරුද්දේ සැබෑ සතුට එතකොට මුණගැසෙයි.

I Saara