2018 අප්‍රේල් 07 වන සෙනසුරාදා

ශලනියි මායි නිතරම එහේ!

 2018 අප්‍රේල් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 299

අසේකා... අලුත් අවුරුද්දක් ළඟ ළඟම එනවා... මේ කාලයේ දී අසේකා කාර්යබහුලයි වගේ...?
මම ආසම කරන කාලය තමයි අවුරුදු කාලය. ඒ කාලේදී මම ගෙදරට වෙලා ඒ අවුරුදු චාරිත්‍ර කරන්න තමයි ආසා. අවුරුදු කාලය නිසා ගොඩාක් ප්‍රසංග ලැබිලා තියෙනවා. එක එක මාධ්‍යවලින් අවුරුදු උත්සව සංවිධානය කරන නිසා ඒවාටත් සහභාගී වෙනවා. ඒ නිසා චුට්ටක් විතර කාර්යබහුලයි. හැබැයි මම ඒ කාර්යබහුලකමට කැමතියි.

පුංචි කාලේ ඉඳන් අසේකා අලුත් අවුරුදු කා‍ලෙ‍ට හරි කැමතියිනේ... මතක් කරමුකෝ ඒ අලුත් අවුරුදු කාලය ගැනත් ටිකක්...?
අපි පුංචි කාලේ හිටියේ සීයාගේ ගෙදරයි. ඉතින් අපි මුළු පවුලේම අය එකතු වෙලා තමයි අලුත් අවුරුදු චාරිත්‍ර කරන්නේ. අදටත් අපි ගෙදර ඉන්නවානම් ඒ චාරිත්‍ර ඒ විදිහටම කරනවා. අදටත් මම සිංහල විදිහට ඇඳලා තමයි අවුරුදු චාරිත්‍ර කරන්නේ. ඔසරිය හරි චීත්ත ගවුමක් හරි ඇඳගෙන තමයි මම අවුරුදු සමරන්නේ. ඒ වසරවලට නියමිත පාටටම තමයි මම ඇඳුම් පවා තෝරගන්නේ. කොහොමටත් ඇයි කියලා කියන්න නොතේරුණාට මම අවුරුද්දේ ආසම කරන කාලය තමයි මේ. අවුරුදු කාලේම මිනිස්සු ගෙදරට ඇවිත් අපිත් එක්ක ඇති වන සුහද බැඳීම් වගේ දේවල්වලට මම හරි ආසයි. සමහර විටදී අම්මා ඔය කාලේදී විදේශගත වෙනවා. සමහර කාලවලදී තාත්තා විදේශගත වෙනවා. හැබැයි ඉතින් ගෙදර ඉන්න අය ඒ විදිහට ඒ චරිත්‍ර ටික කරනවා.

අසේකාගෙනුත් අම්මටයි තාත්තාටයි අවුරුද්දට තෑගි බෝග ලැබෙනවාද...?
ඔව්... ඔව්... මම අරන් දෙනවා. ගිය අවුරුදුවල මම තනියම ගිහින් තමයි අම්මටයි තාත්තටයි තෑගි තේරුවේ. හැබැයි මේ අවුරුද්දේ අම්මා එක්ක ගිහින් අම්මා කැමති ඇඳුම් අරන් දුන්නා. කොහොමටත් මම තෑගි බෝග දෙන්න හරි කැමතියි. මේ අවුරුද්දේ මම ආස පාටක් තමයි අවුරුද්දට අඳින්න තියෙන්නේ. ඉතින්... තාම ඇඳුම් හරියටම අරගෙන නැහැ. තව ටික දවසයිනේ අවුරුද්දට තියෙන්නේ... ඉතින් ඒ දවස ළංවෙනකොට ආසාව වැඩියි...

අලුත් අවුරුදු උත්සවවලදී තරගවලටත් අසේකා සහභාගී වෙනවද...?
මම ඒවාට යනවා... දිනලා නැතත් මම ඒවාට යන්න හරි ආසයි. මම ඉදිකටුවට නූල් දාලා දිනලා තියෙනවා. අපිත් අපේ නැටුම් කණ්ඩායම් කට්ටියත් එකතු වෙලා අවුරුදු උත්සවයක් කරනවා. ඉතින් මම ඒවාට සහභාගී වෙනවා... දිනුම පැරදුම කෙසේ වෙතත් සහභාගී වෙන එකටත් මම හරි ආසයි.

මම ඉදිකටුවට  නූල් දාලා දිනලා තියෙනවා

අසේකාගේ හොඳම යාළුවෝ කවුද...?
දිනක්ෂි, ශලනි, ශනුද්‍රි, ශේෂාද්‍රි තමයි මම ළඟින්ම ඉන්නේ. අපි සම වයසේ කට්ටිය. පොඩි පොඩි වයස් පරතර තමයි අපි අතරේ තියෙන්නේ. අපි ගොඩාක් වෙලාවට එකතු වෙන්නේ දිනක්ෂිලාගේ ගෙදරයි. ශලනියි මායි දෙන්නම එහේ නිතරම යනවා. ඉතින්... දිනක්ෂියි, ශේෂාද්‍රියි, ශනුයි හරි රහට කෑම හදන්න දක්ෂයි. ඉතින් ඒවා හදලා අපිට කන්න දෙනවා. අපි එකතු වෙලා ෆිල්ම් බලනවා. ඒ වගේ හරිම විනෝදයෙන් කාලය ගෙවෙනවා. අද කාලේ ක්ෂේත්‍රයක එහෙම යාළුවෝ ඇති වෙනවා හරි අඩුයි. ගොඩාක් අය තමන්ගේ වැඩේ වෙනකම් විතරයි. යාළුකම් ඇති කරගන්නේ. බැඳීමක් නැහැ. හැබැයි අපි පස්දෙනා එහෙම නැහැ. අපේ බැඳීම් අපේ හදවතට දැනෙනවා. මම හැමදාමත් කියන දෙයක් තමයි අපි පවුලේ අය වගේ කියලා. අපිට අපේ සතුට වගේම දුකත් හොඳට තේරෙනවා... ඒ හැම මොහොතකම අපි එකට ඉන්නවා.

අසේකා පුංචි කාලේ නර්තනයට ඉදිරිපත් වෙන්න ආසාවක් තිබුණේ නැහැ නේද...?
මම පුංචි කාලේ නර්තනයට කැමැත්තක් තිබුණේ නැහැ කියනවාට වඩා මම පුංචි කාලේ හරි ලජ්ජයි. මම තාත්තයි අම්මටයි නර්තනය උගන්වද්දී පැත්තකට වෙලා හොරෙන් බලාගෙන අනන්තවත් ඉඳලා තියෙනවා. එහෙම බලාගෙන ඉඳලම මට ඉබේටම ආසා හිතුණා. ඔය අතරේ දී මම ආසම කරපු කලාකරුවන් දෙන්නෙක් තමයි භාතිය - සංතුෂ් කියන්නේ. ඉස්සර අපේ නර්තන කණ්ඩායම ඒ අයට සංදර්ශන කළා. ඉතින් එහෙම කරද්දී මට ඒ දෙන්නා එක්ක නටන්න ආසා හිතුණා. ඒ දෙන්නාත් එක්ක ස්ටේජ් එකේ ඉන්න ආසා හිතිලා තමයි නටන්න පටන් ගත්තේ.

අසේකා... අම්මටයි, තාත්තටයි ස්ප්‍රයිස් කරන්න හරි දක්ෂයි වගේ...?
ඔව්... මම අම්මටත් වැඩිය තාත්තව තමයි වැඩිපුර ස්ප්‍රයිස් කරලා තියෙන්නේ... තාත්තාව ස්ප්‍රයිස් කරන්නේ අම්මයි මායි දෙන්නා එකතු වෙලායි. ඒ වගේම මම අම්මගෙයි තාත්තගෙයි විවාහ සංවත්සරය දවසේ ගිය අවුරුද්දේ ලොකු ස්ප්‍රයිස් එකක් කළා. ඒ දෙන්නා පොඩ්ඩක්වත් දැනගෙන හිටියේ නැහැ. මම අම්මටයි තාත්තටයි නොදැනෙන්න අපේ සමීපතම කට්ටියට ආරාධනා කරලා ලොකු උත්සවයක් ගත්තා. ඇත්තටම ඒ දෙන්නා ඒකට සුදුසු විදිහටවත් ඇඳගෙන හිටියේ නැහැ. ඒ තරමටම ඒක පුදුමයක්ම වුණා...

රටක්... ලොවක්... දන්නා දෙපළකගේ ආදරණීය දියණියක්... අද ඒ මඟ ඔස්සේ යනවා...?
ඔව්... ඇත්තටම මම හිතනවා මම හරි වාසනාවන්ත දරුවෙක් කියලා. අම්මා, තාත්තා, සීයා, ආච්චිලා මේ හැමෝගෙම එකතුවෙන් සැඳුම් ලත් මේ පවුලේ ඉපදීමත් මාගේ වාසනාවක්. මටත් දැන් ලොකු වගකීමක් තියෙනවා. ඒ පවුලේ ඒ ගෞරවය, ඒ නාමය ආරක්ෂා කිරීම මගේ වගකීමක්. මේ අම්මයි තාත්තයි නැත්නම් මේ අසේකා අද මෙහෙම නැහැ. ඇත්තටම ඒ දෙන්නට ගොඩාක් පින්... ඒ වගේම මගේ ගුරුවරුන්, මගේ යාළුවොත් ආදරයෙන් මතක් කරනවා. ඒ හැමදෙනෙක්ගේම ආශිර්වාදයෙන් තමයි මේ පොඩි වයසට අද මට මෙතෙන ඉන්න පුළුවන් වුණේ...

 

► Text -Dishani  /  Pic - Sumudu