2018 පෙබරවාරි 17 වන සෙනසුරාදා

මට කසාදයක් හරියන්නේ 28 පැන්නමලු...

 2018 පෙබරවාරි 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 319

මේ දවස්වල තාරුකා කොළඹින් පිට ඉඳලා මොනවද කරන්නේ...?
මේ දවස්වල මම “කැලෑ හඳ ටෙලිනාට්‍යයේ ෂූටිංවලට යනවා. “කැලෑ හඳ ටෙලිනාට්‍යය දයාරත්න රටගෙදර මහත්මයාගේ අධ්‍යක්ෂණයක්.  “කැලෑ හඳ ටෙලිනාට්‍යයේ මාලනීගේ චරිතය තමයි මම කරන්නේ. “කැලෑ හඳ චිත්‍රපටයේදී මාලනීගේ චරිතය කළේ රුක්මනී දේවියි. ඒක මම ගොඩාක් ආසාවෙන් කරන චරිතයක්.

“කැලෑ හඳ ටෙලිනාට්‍යයට ආරාධනා ලැබුණට පස්සේ තාරුකාට “කැලෑ හඳ චිත්‍රපටය බලන්න අවස්ථාව ලැබුණද...?
ම්... ඒ චිත්‍රපටය සම්පූර්ණයෙන්ම බලන්න අවස්ථාවක් ලැබුණේ නෑ. හැබැයි “කැලෑ හඳ චිත්‍රපටයේ සමහර කොටස් බලන්න ලැබුණා. ඒ හැර මම ඒ චිත්‍රපටයේ මාලනීගේ චරිතය අධ්‍යයනය කරන්න ගියේ නෑ. මාලනීගේ චරිතය මට ආවේණික විදිහට හදාගන්න ඕන වුණා.

ඊට අමතරව “අහිමි ටෙලිනාට්‍යයේත් තාරුකා රඟපානවා...?
ඔව් “අහිමි කියන ටෙලිනාට්‍යයේ සංගීත උගන්වන ගුරුතුමියකගේ චරිතයක් තමයි මම කරන්නේ. ඉතින් ඒ ටෙලිනාට්‍යයත් ඉදිරියේදිත් දැකබලා ගන්න පුළුවන් වේවි.

කියන තරම් තාරකා අහිංසකද..?
ම්... එහෙම නැහැ. අහිංසක කෙනෙක් නෙමේ. හැබැයි ඉතින් මම මගේ පාඩුවේ සරල විදිහට ජීවත් වෙන කෙනෙක්. ලොකු ලොකු දේවල් මවාගත්තු ලෝකෙක මම ජීවත් වෙන්නේ නෑ. එහෙම බැලුවම නම් මම අහිංසකයි තමයි.

පුංචි කාලේ කවුරු වෙන්නද හීන දැක්කේ...?
මගේ හීනය වෙලා තිබුණෙ නම් නර්තන ගුරැවරියක් වෙන්නයි. පුංචි කාලේ ඉඳන් මම නර්තනය හැදෑරුවා. ඒක මගේ ඇඟේ තිබිච්චි දෙයක්. බැහැයි උසස් පෙළින් පස්සේ ඡවි කල්‍යාණි තරගයට යොමු වුණා. එකෙන් දිනුවට පස්සේ මට රඟපාන්න ආරාධනා ලැබුණා. ඒ වෙනතුරු මට රඟපාන්න පුළුවන් කියලා මම දැනගෙන හිටියේ නෑ.

ඉස්කෝලේ යන කාලෙවත් රඟපාලා නැද්ද...?
නැහැනේ... මම ඉස්කෝලේ වැඩිම කාලයක් හිටියේ වේදිකාවේ. හැබැයි ඒ නර්තනයටයි. එක චරිතයකටවත් රංගනයෙන් දායකවෙලා නැහැ. මම ඉගෙන ගත්තේ සපුගස්කන්ද විශාකා බාලිකාවේ. මට මතකයි ඉස්කෝලේ එක නාට්‍යයකට මම සම්බන්ධ වුණා. ඒකෙත් මට නර්තන කොටසකට තමයි සම්බන්ධ වුණේ. අනේ මන්දා... කොහොම මම රංගන ශිල්පිනියක් වුණාද කියලා. ඒක මගේ දෛවය වෙන්න ඇති.

මුලින්ම රඟපෑවේ...?
“සුභා කියන ටෙලිනාට්‍යයටයි. ඒ සමන් කුමාර ලියනගේ මහත්මයාගේ අධ්‍යක්ෂණයක්. ඒ චරිතය මගේ හිතට ගොඩාක් කා වැදුණා. ඒ වගේම ගොඩාක් හොඳ ප්‍රවීණ පිරිසක් එක්ක රංගනයෙන් දායකවෙන්න ලැබුණා.. ඉතින් ජීවිතේ අමතක කරන්නට බැරි ටෙලිනාට්‍යය තමයි “සුභා

පසුගිය කාලෙදී තාරැකා බොහෝ කාර්යයබහුල වුණා වගේම ඔයාගේ නර්තනයටත් අවස්ථාව ලැබුණා නේද...?
ඔව්... රංගන ක්ෂේත්‍රයට යොමුවීමත් සමඟ නර්තනය මගෙන් අතපසු වුණා. ඒක තමයි ඇත්ත. අඩුම ගාණේ නර්තනය පෙන්නන්න පුළුවන් චරිතයක්වත් මට ලැබුණේ නෑ. ඔය අතරේ එක්තරා නාලිකාවක නර්තන රියැලිටි වැඩසටහනකට සහභාගී වෙන්න අවස්ථාව ලැබුණා. ඒකෙදී මමවත් හිතපු නැති ඉගෙනගෙන නොතිබුණු නර්තන ක්‍රම මට ඉගෙන ගන්න ලැබුණා. ඉතින් මටත් හිතාගන්න බැරි විදිහට මම ඒ නර්තන ක්‍රම ඉගෙන ගත්තා. දැන් මට සතුටුයි ඒ හැකියාවත් දියුණු කරගන්න පුළුවන් වීම ගැන.

බෙනට් රත්නායකගේ “නෙලා චිත්‍රපටයේ ඉසබෙලා... කොහොමද ඒ චරිතයට ලැබුණු ප්‍රතිචාර...?
“නෙලා කියන්නේ මගේ දෙවැනි චිත්‍රපටයයි. මම මුලින්ම රඟපෑවේ “මහරජ ගැමුණු චිත්‍රපටයයි. “නෙලා චිත්‍රපටයේ ඉසබෙලා කියන චරිතය හරි ආදරණීයයි. බොහෝම කාරැණික චරිතයක්. “නෙලා කියන තරුණියට ගොඩාක් ආදරේ කරන මානුෂිය පැත්තෙන් මිනිසුන් ගැන හිතන චරිතයක්. 

තාරුකාට වේදිකා නාට්‍යයකට තවමත් සම්බන්ධ වෙන්න ලැබුණේ නැද්ද...?
ආරාධනා ලැබුණා. ඒ වෙනකොට තිබුණු කාර්යබහුලත්වයත් එක්ක සම්බන්ධ වෙන්න ලැබුණේ නැහැ. හැබැයි වේදිකා නාට්‍යයක්නම් කරන්න ඕනේ. ඒ තුළින් බොහෝ දේවල් ඉගෙන ගන්න පුළුවන්. වේදිකා නාට්‍යයකට කාලය හදාගත්තු නැති එක ගැන පුංචි දුකක් හිතේ තියෙනවා. 

ඉස්සර තරම් අද නිර්මාණවලට තාරුකා යන්නේ නැත්තේ ඇයි...?
චුට්ටක් දැන් කම්මැලියි කියලා හිතෙනවා. පසුගිය දවස්වල ලැබුණු අවස්ථා කීපයක්ම අත්හැරියා. එකදිගට රඟපාලා ටික දවසක් නිදහසේ හිටියා. දැන් ආයෙත් වැඩ පටන් ගත්තා. වැඩ කරන්නේ නැති දවස්වල නම් කරන ලොකු වැඩේ තමයි ගෙදර ඉඳන් හොඳට නිදා ගන්නවා. එහෙම නැත්නම් යාළුවෝ එක්ක කොහේහරි ට්‍රිප් එකක් යනවා.

විවාහ වෙන්න කාලේ හරි කියලා හිතෙන්නේ නැද්ද...?
ම්... අනේ මන්දා කාලේ හරි. හැබැයි මට විවාහ වෙන්න කියලා එහෙම ගෙදරින් ලොකුවට බලකරන්නේ නැහැ. මට විවාහවෙන කෙනා මේ ක්ෂේත්‍රයට කැමැති වෙයිද දන්නේ නැහැනේ. අනික අපේ අම්මා වෙලාවල් විශ්වාස කරනවා. මගේ වෙලාවට අනුව මට අවුරුදු විසිඅටෙන් පස්සෙලු විවාහයක් හරියන්නේ.

ඒ කතාවේ ඇත්තකුත් තියෙනවා නේද...?
ඔව්නේ... මම ආදරේ කරලා තියෙනවා. ඒවා එකක්වත් සාර්ථක වුණේ නෑ. මගේ ක්ෂේත්‍රයේම කෙනෙක්ටත් මම ආදරේ කරලා තියෙනවා. ඒකත් අපි දෙන්නට දෙන්නා තේරුම් නොගැනීමෙන් නතර වුණා. ඉතින් ඒ හැම දෙයක්ම අතීතයට අයිතියි. දැන් මම වර්තමානයේ ඉන්නවා. බලමු නේද...?
 

► Text -Dishani /  Pic - Sumudu