2018 පෙබරවාරි 17 වන සෙනසුරාදා

දිනක්ෂි සූප්පුව බීවේ අල්මාරිය අස්සේ හැංගිලාලු!

 2018 පෙබරවාරි 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 278

ශිරාණි ප්‍රියසාද් වචන බවට පෙරලූ යටගියාවක හැඟුම්බර මතක

ඔබේත් දිනේෂ් ප්‍රියසාද්ගේත් කැදැල්ලට එකතු වුණු මුල්ම දරුවා දිනක්ෂි. කොහොමද දිනක්ෂිගේ පුංචි කාලය.
අපි විවාහවෙලා අවුරුද්දකට විතර පස්සේ දිනක්ෂි අපේ පවුලට එකතුවුණා. එයා චූටි කාලේ හරිම අහිංසකයි. ලජ්ජයි. අපි දෙන්නාගේ තුරුලේ තමයි දිනක්ෂි හිටියේ දිනක්ෂිගේ තාත්ති ෂූටිං ගියාට පස්සේ දිනක්ෂි හිටියේ මගේ තුරැලේ. එයා චූටි කාලේ බෝනික්කෝ එක්ක සෙල්ලම් කළා. මම එයාව නලවනවා වගේ අක්කි (දිනක්ෂිට ගෙදර අය කතා කරන්නේ අක්කි කියලා) එයාගේ සෙල්ලම් බෝනික්කෝ නැලෙව්වා. ඒ බෝනික්කෝ එක්ක කතා කරළා. හරිම සුරතල් වැඩ තමයි අක්කි චූටි කාලේ කළේ. චූටි කාලෙත් එයා දඟ නෑ.

දිනක්ෂි ළදරු පාසැලේදී මොනවගේ දරුවෙක්ද?
අම්මෝ දිනක්ෂි මොන්ටිසෝරියේදී හැම දේකටම ඉදිරිපත් වෙනවා. මට තාම මතකයි මොනිටිසෝරියේ එක අවුරුද්දක කොන්සට් එකකදී අක්කි එක නැටුමකට විතරයි හිටියේ නැත්තේ. අනිත් හැම නැටුමකම මෙයා හිටියා. ඒ කොන්සට් එක මට බලන්න ලැබුණේ නෑ. මගේ වැඩේ ස්ටේජ් එක පිටිපස්සට වෙලා මෙයා ආපු ගමන් ඊළඟ නැටුමට ඉක්මනට මෙයාව ලෑස්ති කරපු එක. මෙයා ස්ටේජ් එකේ නටද්දි මම ඊළඟ නැටුමට ඇඳුම ලෑස්ති කරගන්නවා. ඒ නිසා කොන්සට් එක මට බලන්න ලැබුණේම නැහැ. හැබැයි එදා දිනක්ෂි හරි ලස්සනට හැම නැටුමක්ම නැටුවා කියලා කොන්සට් එක බලන්න ආපු හැමෝම කිව්වා.

ඊළඟට පවුලට ශේෂාද්‍රිත් එකතුවුණා...?
ඔව්... දිනක්ෂියි ශේෂාද්‍රියි අතර පරතරය අවුරුද්දයි මාස නවයයි. පවුලට අලුතින් කෙනෙක් එකතු වෙනවා කියලා එයාට එච්චර තේරුමක් තිබුණේ නෑ... එයා චූටියිනේ... හැබැයි ශේෂාද්‍රි හම්බවෙලා එයා චූටි කෙනා නිසා හැමෝගේම ආදරය, වැඩි සැලකිල්ල තිබුණේ ශේෂාද්‍රිටනේ. ඉතින් හැමෝම එයාව හුරතල් කරන්න පටන් ගත්තා. මේක අක්කිට දරාගන්න බැරිවුණා. හොඳට කතා කර කර හිටපු අක්කි එකපාරටම ගොත ගහන්න පටන් ගත්තා. අපි හරියට බයවුණා. අන්තිමේදී අපි ඩොක්ටර් කෙනෙක් ළඟටත් දිනක්ෂිව අරගෙන ගියා. ඩොක්ටර් දුන්නු එකම අවවාදය නොතේරෙන දරුවට වඩා තේරෙන දරුවව ළං කරගන්න කියලයි. කොහොම හරි කිව්වත් වගේම අර ගොත ගැහිල්ල එහෙම්මම නැතිවෙලා ගියා.

චූටි කාලේ දිනක්ෂි ශේෂාද්‍රිව අතපත ගාන්න, අදින්න එහෙම ලෑස්ති වුණේ නැද්ද...?
අක්කි පොඩීට (ශේෂාද්‍රිට ගෙදර අය කියන්නේ පොඩී කියලයි) චූටි කාලෙත් හරි ආදරෙයි. එතකොට දිනක්ෂි සූප්පුව බොනවා. ඉතින් කොහාම හරි අපි එක එක දේවල් කරලා දිනක්ෂිගේ සූප්පුව නැවැත්තුවා. ඉතින් ඔන්න පොඩී සූප්පුව බොන්න පටන් ගත්තනේ. ඊළඟට දිනක්ෂි ඇඳට නැගලා පොඩීගේ සූප්පුව අරගෙන ආයේ ඇඳෙන් බැහැලා අල්මාරිය පිටිපස්සට ගිහින් මාත් චුට්ටක් බීලා දෙන්නම් කියලා සූප්පුව බීලා ආයේ ඇඳට නැගලා පොඩීගේ කටට සූප්පුව ගහනවා.

පොඩි කාලේ ශේෂාද්‍රි දඟයිද...?
අම්මෝ හරිම දඟයි. මොන්ටිසෝරියේදීත් පොඩී හරිම දඟයි. මට තාම මතකයි පුංචි කාලේ මෙයාලගේ තාත්තිගේ ඥාති සහෝදරයෙකුගේ විවාහ උත්සවයේදී මේ දෙන්නට මල් කුමාරියන් දෙන්නා විදිහට තෝරාගත්තා. පල්ලියේදී අපි දෙන්නම හැංගිලා තමයි හිටියෙ. අපි දෙන්නව දැක්කොත් අපි ළඟට දුවගෙන එනවනේ. අක්කි නම් හරිම අහිංසක විදිහට ලස්සනට හිටියා. පූජාව පටන් ගත්තා විතරයි පොඩී එයා ළඟ හිටපු පොඩි පිරිමි ළමයාගේ අතේ තිබුණ වේවැල උදුරලා අරගෙන ඒ ළමයාට ගහගෙන ගහගෙන ගියා. පූජාව යද්දී ඒ දරුවා හරියට ඇඬුවා. ඒ වෙලාවේ අක්කි බයවෙලා පොඩී දිහා බලාගෙන හිටියා. ඒ වගේ හරිම දඟ වැඩ තමයි ශේෂාද්‍රි පොඩි කාලේ කළේ. පොඩි කාලේ අක්කි හරි චබී. ඉස්කෝලේ එක වසර දෙක වසර වෙද්දිත් ටිකක් මහතයි. ඊට පස්සේ තමයි කෙට්ටු වුණේ. ශේෂාද්‍රි නම් පුංචි කාලේ ඉඳන් චබී.

අක්කායි, නංගියි දෙන්නම ගියේ එකම ඉස්කෝලෙට නේද?
ඔව්. දෙන්නම ගියේ බම්බලපිටියේ ශුද්ධ වූ කන්‍යාරාමයට. ඉතින් අක්කිනේ මුලින්ම ඉස්කෝලේ ගියේ. අක්කිව පළවෙනි දවස් දෙකේ මායි තාත්තියි එයාව එක්කරගෙන ගියා. එක්කරගෙන ආවා. ඊළඟට අපි වෑන් එකකට එයාව පුරුදු කළා. ඉතින් පොඩීවත් එක්කරගෙනම මම පාර ළඟට ගිහින් අක්කිව වෑන් එකට බාරදෙනවා. දවල්ට ආයෙමත් පොඩීවත් අතින් අල්ලගෙන පාරට ගිහින් වෑන් එක එනකන් ඉඳලා අක්කිව අරගෙන ගෙදර එක්ක එනවා. ඔන්න පළවෙනි දවසෙ එයා වෑන් එකෙන් බහිද්දි පොඩීට හොඳටම තරහ ගිහිල්ලා. ගෙදර ආපු ගමන් දොරවල් වලට ගහලා, පුටු පෙරළලා හොඳටම ඇඬුවා. අක්කි ගිහින් ආපු එකට පොඩීට ඉරිසියාවක් හිතිලා.

ඒ වුණාට අක්කි හරි පරිස්සමට ඉස්කෝලෙදි පොඩීව බලාගත්තා නේද?
ඔව්. පොඩී ඉස්කෝලේ යන්න පටන් ගත්තට පස්සේ අපි එයාට නංගිව බලාගන්න බාර දුන්නා.අක්කි ඒ වගකීම හරි අපූරුවට කළා. පොඩීගේ පන්තිය තමයි මුලින්ම තියෙන්නේ. ඉතින් වෑන් එකෙන් නංගිවත් බස්සවගෙන අක්කි පොඩීව අතින් අල්ලගෙන පන්තියට එක්කරගෙන එනවා. පොඩීගේ බෑග් එකත් අරගෙන එන්නේ අක්කි. නංගිව පන්තියෙ එයාගේ පුටුවෙන් ඉන්දවලා නංගිගේ බෑග් එක බෝතලේත් එල්ලලා තමයි අක්කි එයාගේ පන්තියට යන්නේ. හැම ඉන්ටවල් එකකදීම අක්කි පොඩී කෑවද කියලා බලන්න එයාගේ පන්තියට එනවලු. මේ හැම දෙයක්ම මට කිව්වේ මෙයාලගේ පන්තිවල ගුරුතුමියන්. ඉස්කෝලේ ටීචර්ලාත් මේ දෙන්නට හරි ආදරෙයි.

ඉස්කෝලේ වැඩවලටත් දිනක්ෂි ශේෂාද්‍රිට උදව් කළාද?
ඔව්... ඔව්... අක්කිගෙන් තමයි පොඩී ගොඩක් දේවල් ඉගෙන ගත්තේ. මම තමයි ඒ දෙන්නට මුල ඉඳලම ඉගැන්නුවේ. ශිෂ්‍යත්ව ක්ලාස් කියලා කිසිම දේකට මේ අය ගියේ නෑ. මම තමයි ඒ දේවල් ඉගැන්නුවේ. ඒ වගේම හරිම ආසාවෙන් මම කියනවා ඒ ප්‍රතිඵලය දෙන්නම මට දුන්නා. අක්කි ශිෂ්‍යත්වයෙන් ඉස්කෝලෙන් වැඩිම ලකුණු ගත්තා. පොඩී ශිෂ්‍යත්වයෙන් පන්තියේ වැඩිම ලකුණු ගත්තා.

ඔහොම කාලය ගෙවෙද්දි ශේෂාද්‍රිට අවුරුදු හතකට පස්සේ තවත් දුවෙක් පවුලට එකතු වෙනවනේ. ඒ ශනුද්‍රි... එයා චූටි කාලේ මොන වගේද?
ශනූ චූටි කාලේ හරි මහතයි. ඉපදෙදිත් එයා හරිම ලොකුයි. ඊට පස්සේ තමයි එයා කෙට්ටු වුණේ. එයා අක්කලා දෙන්නට වඩා දන්නවා වැඩියි. වැඩවලදි වයසට වඩා නංගි (ශනූට ගෙදර අය කියන්නේ නංගා කියලා) පණ්ඩිතයි.

ශනුගේ පුංචි කාලේ අක්කලා දෙන්නාගෙන් ලැබුණු සහයෝගය කොහොමද?
ඔව්... ඔව්.... අක්කිලා දෙන්නා ගොඩක් උදව් කළා. මම ඒ දෙන්නට බාරදීලා තමයි ගෙදර වැඩ ටික කරගන්නේ. දෙන්නම හරිම ආසාවෙන් බලාගත්තා. ඔඩොක්කුවේ තියාගෙන නලවනවා. නිදාගත්තේ නැත්නම් දෙන්නගේ වැඩේ මහ හයියෙන් සින්දු කිය කියා හයියෙන් හොලවනවා. ඉතින් පුංචි ශනුට හරි හිනා. නංගි හුස්ම අල්ලනවා. පොඩ්ඩක් ඇඬුවොත් ඇති එයාට. අපි ඉතින් බයවෙනවා.

මට මතකයි එයා අඬලා එකපාරටම උඩට හුස්ම ඇල්ලුවා. අපේ ගෙවල් ඉස්සරහ ඩොක්ටර් කෙනෙක් ඉන්නවා. මම ශනුව උස්සගෙන ඒ ඩොක්ටර්ගේ ගෙදර එකපිම්මට දිව්වා. මම කොහොම පාර පැන්නද කියලා මට මතක නෑ. මගේ අතින් දරුවව අරගෙන ඩොක්ටර් කකුල් දෙකින් උස්සලා විනාඩි පහක් විතර තියලා තමයි ශනු හුස්ම ගත්තේ. එදා අපි හොඳටම බයවුණා. එතකොට නංගාට වයස අවුරුදු එකහමාරක් දෙකක් විතර ඇති. එදා ඉඳන් පුංචි කාලේ ශනුව අපි අඬවන්නේ නැහැ. මොකක් හරි ඉල්ලුවොත් ටක්ගාලා දුන්නා. හැබැයි පුංචි කාලේ එයා ඒක වාසියකට ගත්තා. හැමදෙයක්ම ඉල්ලන්න ගත්තා. අපි දෙනවා කියලා දන්නවනේ.... හරිම කපටියි එයා....

ගැහැනු ළමයි තුන් දෙනෙක් ඉන්න ගෙයක්. මුළු ගේම පිරිලා....? කොහොමද තුන්දෙනාම ගෙදර ඉඳිද්දි...?
නංගා අක්කිට වඩා ගොඩක් බාලයිනේ. ඒ වුණාට ඒ තුන්දෙනාම එකටම තමයි ඉන්නේ. වැඩ කරන්නේ එක විදිහට තමයි. වෙලාවකට තුන්දෙනාම කාමරයට වෙලා කුටු කුටු ගගා කතා කර කර හිනාවෙනවා. සින්දු කියනවා. මහ හයියෙන් සින්දු දාගෙන නටනවා. සෙල්ෆි ගහනවා. නාන කාමරේදීත් සමහරවෙලාවට නටනවා. ඒවා වලින් නම් තුන්දෙනාටම අඩුවක් නැහැ.

තුන්දෙනාම ඉන්නේ එකම කාමරේද...?
නැහැ... ලොකු අක්කිට තනි කාමරයක්. එයා දැන් ලොකුයිනේ. පොඩීටයි නංගාටයි එක ලොකු කාමරයක් තියෙන්නේ. ඒ කාමරේ දෙන්නටම වෙන වෙනම එකම පාට එක වගේ ඇඳන් අල්මාරි තියෙනවා. හැබැයි ඉතින් සමහරදාට තුන්දෙනාම අක්කිගේ කාමරේට සෙට් වෙනවා. ඉතින් කියවනවා. ෆිල්ම් බලනවා. කෑ ගහනවා. මේ ළඟදි ශලනියි අසේකායි මේ තුන්දෙනයි ෆිල්ම් එකක් බැලුවා. මම යද්දි පොඩී ඇඳට වෙලා හොඳට නිදි. ශලනි දුවටයි අසේකා දුවටයි අපේ අනිත් දෙන්නටයි බිම කොට්ටයක්වත් නැතිව ෆිල්ම් එක බල බලාම නින්ද ගිහින්.

තුන්දෙනාම හරි හරියට මේක්අප් එහෙමත් කරනවා නේද...?
ඔව්... ඔව්... මේක් අප්වලට සමහරදාට ගෙදර යුද්දේ. එක්කෙනාට එක එක මේක් අප් බොක්ස් අරගෙන දීලා නෑ. තුන්දෙනාටම එක බොක්ස් එකයි තියෙන්නේ. ඉතින් අක්කි අරන් ගියාම නංගා රණ්ඩු. ඉතින් දැන් මම කියලා තියෙන්නේ යන්න තියෙනවා නම් උදේට ඕන බඩු ටික වේලාසන වෙන්කරගන්න කියලා. නැත්නම් ගෝරි ගොඩමයි....

තුන්දෙනාම ආස කරන කෑම එහෙම වෙනස්ද...?
අක්කි ගොඩක් පැණි රස කෑම කන්න ආසයි. පොඩී පොඩ්ඩක් සැරට කන්න ආසයි. ශනු නම් ඒ දෙකම කනවා.

තුන්දෙනාගෙන් කේන්ති යන්නේ කාටද...?
තුන්දෙනාටම කේන්ති යනවා. හැබැයි තුන්දෙනාම ඒ කේන්තිය හිතේ තියාගෙන ඉන්නේ නෑ. ටක් ගාලා ඒ කේන්තිය නැතිවෙනවා. අක්කිට කේන්ති ගියාම පැත්තකට වෙලා අඬනවා. පොඩීට කේන්ති ගියාම ටිකක්වෙලා පැත්තකට වෙලා ඔරෝගෙන ඉන්නවා. ශනු නම් කේන්ති ගියාම කෑගහනවා. එහෙම කෑගහලා පැත්තකට වෙලා ඉන්නවා. ආයේ ටික වෙලාවකින් ළඟට එනවා. ඉතින් ඊට පස්සේ ඒ හැමදෙයක්ම අමතකයි.

හරිම ආදරණීය දූවරු තුන්දෙනෙක්ගේ අම්මා කෙනෙක්.... මොකද හිතෙන්නේ...?
ඇත්තටම හරිම ආඩම්බරයි. ඒ තුන්දෙනාව අපි දෙන්නා අමාරුවෙන් තමයි හැදුවේ. හොඳ ඉස්කෝලවල්වලට දැම්මා. තුන්දෙනාටම හොඳට ඉගැන්නුවා. අද ඒ තුන්දෙනා ඉන්න තැන ගැන මටයි තාත්තිටයි ගොඩක් සතුටුයි. ඒ තුන්දෙනා ඉඳිද්දි මුළු ගේම පිරිලා. තුන්දෙනාම අපිට හොඳ දරුවෝ. ආදරණීය දරුවෝ. ඒ වගේ දරුවෝ ලබන්න අපි හරි වාසනාවන්තයි.

► Text - Dishani