2018 පෙබරවාරි 17 වන සෙනසුරාදා

බූදලයත් රජකමත් අහිමි කළ සමනළ අාදරය

 2018 පෙබරවාරි 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 145

රජ මාළිගාවක උපත ලද්ද ද කෙනෙකුගේ ජීවිතය මිහිපිට අපායක් විය හැක. කොයි තරම් සැප සම්පත් පිරුණු නුවරක විසුවත් හිතේ සතුට නොමැති නම් ඒ ජීවිතයෙන් පලක් නැත. ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ රාජ්පිප්ලා නම් මහාරාජා පවුලේ උපත ලැබූ මන්වේන්ද්‍ර සිං කුමරු ද එවැන්නෙකි. අන්ත දිළින්දන්ගෙන් පිරුණු ඉන්දියාවේ ධන කුවේරයෙකු ලෙස දිවි ගෙවීමට උපන් ඔහුට සියල්ල තිබුණත් සිතේ සතුට නොමැත. ඊට හේතුව අනිකක් නොව ඔහු සමලිංගිකයෙකු වීම සහ ප්‍රසිද්ධියේ එය පිළිගෙන තිබීමය. ‍

කලකට ඉහතදී ඔහු ජනප්‍රිය අමෙරිකානු නිවේදිකා ඔප්රා වින්ෆ්‍රේ සමඟ සම්මුඛ සාකච්ඡාවකට එළඹෙමින් තමා සමලිංගිකයෙකු බව ප්‍රසිද්ධියේ පිළිගත්තේය. 
තරුණ වියේ සිට ඔහු ගෙවූ දුක්ඛිත ජීවිතය පිළිබඳව ද ඔහු හෙළි කර සිටියේය. 

එනම් තරුණ වියේදී පටන්ම ඔහුට පිරිමින් කෙරෙහි විශේෂ ආකර්ෂණයක් තිබුණ ද තමා සමලිංගිකයෙකු බව ඔහු තහවුරු කරගන්නේ විවාහ වූවායින් පසුය. 1991 වසරේදී මධ්‍ය ප්‍රදේශ්හි කුමාරිකාවක සරණ පාවා ගත්ත ද එම විවාහය වැඩි කල් නොගොස් දෙදරා යන්නේ ඔහුගේ ලිංගිකත්වය හේතුවෙනි. 

ඔහුගේ මාපියන් පවා තම පුතු සමලිංගිකයෙකු බව නොදැන සිටි අතර එය දැනගත් පසු ඔවුහු බෙහෙවින් කෝපාවිෂ්ඨව ඔහුව තම දරුකමින් අත්හැර දැමීමට පවා සැරසුණහ. එමෙන්ම ගුජරාට් වැසියෝ පවා මන්වේන්ද්‍ර සිංට එරෙහිව වීදි බැස්සාහ.  
ඔහුගේ මවුපියන්ගේ තීරණය වූයේ ඔහු මීළඟ මහරාජා නොවනවා පමණක් නොව පවුලෙන් ඔහුට උරුම බූදලය පවා ලබා නොදෙන බවය. අද වනවිට ඔහු තම මව්පියන්ගෙන්  උරුම වුණු එකම දේපළ වන තම මාළිගයේම ජීවත් වන්නේය. එහෙත් තවමත් ඔහුගේ මව තම මුහුණ හෝ නොබලන බව මන්වේන්ද්‍ර සිං පවසයි. 

ඉන්දියාවේ තත්ත්වය හරිම දරුණුයි. මේ වගේ දෙයක් එළිපිට ප්‍රකාශ කිරීම නිසා බොහොම භයානක ඉරණමකට මුහුණ දෙන්න සිදුවෙනවා. මව්පියන් කැමති වුණත් සමාජය ඔවුන්ට තමන්ගේ දරුවාව පිළිගන්න ඉඩදෙන්නේ නැහැ. මන්වේන්ද්‍ර නැවතත් ඔප්රා සමඟ සාකච්ඡාවකට එක්වෙමින් කීය. 

කෙසේ වෙතත් මීට කලකට ඉහතදී ඉන්දියානු රජය විසින් සමලිංගිකයන්ගේ අයිතීන් පිළිගනු ලැබූව ද නැවතත් එම තීරණය හකුලා ගනු ලැබුවේ සම්ප්‍රදායික ඉන්දියානු සමාජයෙන් මතුවුණු දැඩි ප්‍රතිවිරෝධය හමුවේය. ඉන්පසු සමලිංගිකයන් සම්බන්ධයෙන් ඉන්දියානු සමාජයේ ප්‍රතිවිරෝධය තිබුණාටත් වඩා වැඩි බව මන්වේන්ද්‍ර පවසයි. 
ඉන්දියානු සමාජය තුළ සමලිංගිකයන් සම්බන්ධයෙන් අනුගමනය කෙරෙන දැඩි අමානුෂික ප්‍රතිපත්තිය හමුවේ තම මාළිගාව අසාධාරණයට ලක්වූ සමලිංගිකයන් මෙන්ම ද්වි ලිංගිකයන් හා සංක්‍රාන්ති ලිංගිකයන් වෙනුවෙන් වෙන්කරන්නට මන්වේන්ද්‍ර කුමරු තීරණය කොට තිබේ. 

මේ හරහා සමාජයේ කොන්වී සිටින එම පිරිස් වෙත සායනික සේවා පිරිනැමීමටත් විශේෂයෙන්ම ඒඩ්ස් වැනි මාරාන්තික රෝග වළක්වා ගැනීමටත් උපදේශ සැපයීමටත් මන්වේන්ද්‍ර බලාපොරොත්තු වේ. ඊට අමතරව ඔවුන් ආර්ථික අතින් ස්වාධීන පුද්ගලයන් බවට පත්කිරීමේ අරමුණින් වෘත්තීය නිපුණතා හැදෑරීමේ අවස්ථාව ද හිමිකරදීමට සැලසුම් කර ඇත. 

► Text — Rehan