2018 පෙබරවාරි 17 වන සෙනසුරාදා

දැහැන

 2018 පෙබරවාරි 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 75

හේතුවක් නැතුව කඳුළක් උනන්න විදිහක් නෑ. හේතුවක් නැතුව ඇස් දිලිසෙන්න විදිහක් නෑ. හේතුවක් නැතුව ඇස් කතා කරන්න විදිහක් නෑ. ඒත් අත්දැකීමක් නැති හේතුවක් වෙනුවෙන් ඇස් දෙකකට කඳුළු එන්න පුළුවන්. හිතකට රිදීමක් ඇතිවෙන්න පුළුවන්. එහෙම කඳුළක් මගේ ඇස් අගටත් ආවා. හේතුව DEPARTURES. DEPARTURES චිත්‍රපටය ගැන නෙවෙයි මම ඔයාට කියන්න යන්නේ. මම කියන්න යන්නේ වෙනමම දෙයක්. ඒ දේ කියන්න ඉස්සර මම ඔයාගෙන් එකම එක ප්‍රශ්නයක් අහන්නම්. ඔයා තාත්තා කෙනෙක්ගේ ආදරය විඳලා තියෙනවද? තාත්තා කෙනෙක්ගේ ඇස් අස්සේ දිලිසෙන දරු ස්නේහය අඳුරගෙන තියෙනවද? තාත්තා කෙනෙක්ගේ හදවතේ අප්‍රමාණත්වය, තාත්තා කෙනෙක්ගේ උරහිසේ උණුසුම විඳලා තියෙනවද? හැම තාත්තා කෙනෙක් ළඟම මේ ආදරය, මේ අප්‍රමාණත්වය නැතිවුණාට ඒ හැමදේම තියෙන තාත්තලා මේ ලෝකේ ඇති. ඔයාගේ ජීවිතෙත් ලොකු ඉඩක් වෙන්කරගත්ත තාත්තා කෙනෙක් ඉන්නවනම් ඔයාටත් මම මේ කියන දේ දැනෙයි.

ජීවිතයට ආදරය අරන් එන යන අය අතරේ නවතින අයට වඩා ඉන්නේ අතරමඟදී Goodbye කියන අය. මරණයේ දී වගේම අතරමඟදීත් අපි සමුගැනීම් විඳගන්නවා. ඒ සමහර සමුගැනීම් අපි දරාගන්නේ අත්පත්කරගන්න නොහැකි වූ වේදනාවත් එක්ක. ඒත් යන්න යන අයට යන්න ඉඩ දීලත් අපි සමහරවිට ආදරය කරනවා. අපේ හිතේ සදාතනික ඉඩක් වෙන් කරලා දෙනවා. ආදරය හැමවෙලාවකම ද්විපාර්ශ්වික වෙන්නේ නෑ. ආදරය ඇතැම් මොහොතක ඒකපාර්ශ්විකයි. ඒත් අපිට ආපිට ලැබුණත් නොලැබුණත් වගේම අපිට නොලැබෙන වග හදවතට ප්‍රත්‍යක්ෂ වෙද්දීත් ආදරය කරන අය ඉන්නවා.

ළඟ ඉන්න කෙනෙකුට වඩා දුර ඉන්න කෙනෙක් අපිට ආදරේ වෙන්න පුළුවන්. ඒත් කවදාවත් ඒ   ආදරේ නොදැනෙන්න නොතේරෙන්න වගේම තේරැම් නොගන්නත් පුළුවන්. ඒත් එහෙම ආදරයක් ඔබ නමින් ලෝකේ කොතනක හරි තිබුණා කියන කාරණය ඒත්තු ගන්න මොහොතක් ඔබට මුණගැහෙන්න පුළුවන්. ඒ කෙනා ඔබව නිතර සිහිපත් වෙන කුමන හෝ සමරුවක් මුළු ජීවිත කාලයක් මුළුල්ලේ ඔබ නමින් එයා ළඟ තියාගෙන හිටියා කියලා එදාට ඔයාට දැනුණොත් කියාගන්න බැරි, වචන බවට පෙරළගන්න බැරි හැඟීමක් ඒ මොහොතේ ඔයාගේ හිතේ ඉපදේවි.

ඒත් ඒ වෙද්දී ඒ කෙනා මේ ලෝකයෙන්ම සමුඅරගෙනනම්... මට සමාවෙන්න කියන වචන දෙක ඔයාට කියාගන්න විදිහක් නැත්නම්, ඔයා හේතුව පහදන්න නොතේරෙන හැඟීමකින් හඬා වැටෙයි.

DEPARTURES චිත්‍රපටයේ දිගුකාලීන නිහඬතාවයකින් පසුව පුතා යන්නේ තාත්තාගේ අවසානය දකින්න. ප්‍රාණය නිරුද්ධ තාත්තගේ අතේ එයා මොකක්දෝ දෙයක් අත ගුලි ගුලිකරගෙන සඟවාගෙන ඉන්නවා. පුතා තාත්තගේ ඒ සීතල වී ගිය අතේ ගුලිවී තිබූ ඇඟිලි අමාරුවෙන් දිගහරිනවා. ඒ අත්ල මතින් ගිලිහී ගොස් බිම වැටෙන්නෙ සුදු පැහැ රවුම් ගලක්. පුතාගේ ඇස් දෙකට කඳුළු එන්න තත්ත්පරයක් තරම්වත් වෙලාවක් ගතවෙන්නේ නෑ. ඔහුගේ හිත වේගයෙන් අතීතයේ සංවේදී මතක ඉසව් සොයාගෙන ඉගිල්ලෙනවා. පුංචි දවස්වල තාත්තත් එක්ක ගඟක ඉවුරේ සෙල්ලම් කරමින් ඉද්දී පුතා අතට ගත්ත ඒ ගල තාත්තා ඉල්ලගෙන පුතාගේ දෑතේ ස්පර්ශය ලද දේ පුතුගේ සුවඳ රැඳි ආදරණීය මතකයක් විදිහට තාත්ත ළඟ තියාගෙන ඉන්නවා. තරුණ වියේ ජීවිත ප්‍රර්ථනා පසුපස ගිය පුතුට බොහෝ කාලයක් ගෙවීගොස් මේ ලෝකයෙන් සමුගත් පියා මුණගැසුණ මොහොතේ පසක් වෙනවා තාත්තගේ ආදරය දුරක රැඳී තිබුණත් ඔහු කෙරෙන් දුරස් වී නැති වග. ජීවිතයේ අවසාන මොහොතේත් ඔහු සොයා ඇත්තේ පුතුගේ සුවඳ හා මතකය. එත් මට සමාවෙන්න තාත්තේ කියන්න දෛවය ඔහුට එක මොහොතක්වත් ඉතුරු කර නැහැ. ජීවිතය ආදරය හා බැඳීම ගැන වුවමනාවෙන් හිතන්න ඒ හැඟීම්බර මොහොත කඳුළක් එක්කම හදවතට බලකරනවා. ඒ පුංචි ගල ඔහු තම ගැබ්බර බිරියගේ කුස ස්පර්ශ කරන්නේ තමන්ගේ දරුවට සීයාගේ සුවඳ දනවන්න වගේ. ඔහු ආදරයට ආදරය දක්වන්නේ යළි කවදාවත් මුණනොගැසෙන ඉසව්වක් කරා ඒ ආදරය නික්ම ගිය පසුවයි.

කොච්චර වේගයෙන් ජීවිතය හරහා ගමන් කළත් කමක් නෑ. ඒත් කිසිදෙයකට මඟහැරෙන්න දෙන්න එපා. මඟහැරුණු බව දැනෙන මොහොතක ඒ දේ සදාකාලයටම මඟහැරී තියෙන්න පුළුවන්. එදාට ඔබ ඔබට සමාව දෙන එකක් නෑ. සීතල කඳුළක් හැර කිසිවක් ඔබට ඉතිරිවෙන එකකුත් නෑ.

I Saara