2018 පෙබරවාරි 10 වන සෙනසුරාදා

ඔයා මහත් වෙන්න කිය කියා එයා මට චීස් කැව්වා

 2018 පෙබරවාරි 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 327

- අනුරාධා එදිරිසිංහ

මේ දවස්වල අනුරාධා මොකද කරන්නෙ..?
මේ දවස්වල සඳ පිණි වැස්ස ටෙලිනාට්‍යයේ රඟපානවා. ඒකෙ චංචලා කියන චරිතයයි මම කරන්නෙ. ඊටපස්සෙ ළඟදීම අහස් මාලිගා ටෙලිනාට්‍යයෙත්, වීරපුරන්අප්පු ටෙලිනාට්‍යයෙත් රඟපානවා. ඒ ටෙලිනාට්‍ය දෙක ළඟදීම විකාශනය වෙනවා. ඊට අමතරව පොඩි රියැලිටි වැඩසටහනකට සම්බන්ධ වෙන්නත් හිතාගෙන ඉන්නවා. ඒ වගේ දේකට සම්බන්ධ වෙන්නේ පළවෙනි වතාවටයි.

පුංචි කාලේ තිබුණු හීනය මොකක්ද..?
තාත්තාට ඕනවුණේ මාව ඩොක්ටර් කෙනෙක් කරන්න. මගේ තාත්තා සේවය කළේ පොලීසියේ. මට අවුරුදු දහතුනේදී රඟපෑමට අවස්ථාව ලැබුණා. හැබැයි තාත්තා හිතුවේ මගේ අධ්‍යාපනය ඒක නිසා කඩාකප්පල් කරගනීවි කියලා. ඒ නිසා තාත්තා මාව ඒකෙන් අයින් කළා. ඊටපස්සෙ මට ඕනවුණා ලෝයර් කෙනෙක් වෙන්න. කොහොමහරි අහම්බෙන් අපේ අයියගේ වෙඩින් එකේ ෆොටෝ ගත්තු අංකල් මාර්ගයෙන් මට වෙළෙඳ දැන්වීමකට සහභාගි වෙන්න අවස්ථාව ලැබුණා. ඒ ලැබුණු අවස්ථාව තමයි මේ. 

ජීවිතේ මුල්ම පෙම්වතිය වුණේ කොයි කාලෙදිද..?
මුල්ම පෙම්වතිය වුණේ පාසල් කාලේදී. එතකොට මම O/L පන්තියේ. හැබැයි මගේ ප්‍රේමය පටන් ගන්නේ පාසල ඇතුළෙදිනම් නෙමේ.

මුලින්ම ආදරේ කළේ කාටද...?
එයා මට වැඩිය අවුරැදු හතක් විතර වැඩිමල් කෙනෙක්. ඒ වෙනකොට මම O/L විභාගය කරලා ඉවරවුණා විතරයි. අපි අවුරුදු හයක් විතර ආදරේ කළා.

ඔහු අනුරාධාට මුලින්ම දුන්නෙ මොනවද...?
ඉස්සර ඉස්කෝලෙ යන කාලේ ඉඳන්ම මම හරි කෙට්ටුයි. ඉතින් එයා මට මහත් වෙන්න කිය කියා හැමදාම චීස් ගෙනත් දෙනවා. අනික මම චීස් කන්නත් හරි ආසයි. ඉතින් එයා මට මුලින්ම ගෙනත් දුන්නෙ චීස්. ඉස්සර ඉතින් හැමදාම හම්බවෙන්නෙත් නැහැ. ඉතින් හම්බවෙද්දිත් එයා මට චීස් අරගෙන එනවා.

ඔහුට ආදරේ කරන්න අනුරාධාගේ හිත මුලින්ම නැවතුණු තැන කොතැනද..?
අනේ මන්දා... එයා මා දිහා මුලින්ම බලපු විදිහට මගේ හිත ගියා. ඒ කාලේ මම පොඩියිනේ. ඒ නිසා මට ඒක එච්චර තේරුමකුත් නැහැ. ඒ දවස්වල ඉස්කෝලෙ යනකොට අපිට ෆෝන් තිබුණෙත් නැහැනෙ. අපි හිටියෙත් පොලිස් ස්කාටස්වල. ඉතින් ගෙදරට ෆෝන් තිබුණෙත් නෑ. කොහොමහරි එයා මගේ අම්මගේ නම්බර් එක හොයාගෙන තමයි මැසේජ් එකක් දාලා තිබුණේ.

මතකද ඒ දාලා තිබුණු මැසේජ් එක...?
එකපාරක් අම්මගේ ෆෝන් එකට එයා මැසේජ් එකක් දාලා තිබුණා. හැබැයි ඉතින් මම දැක්කෙ නෑ. O/L ඉවරවෙලා මම ගෙදර ඉඳිද්දී දවසක් මම රෑ අම්මගේ ෆෝන් එකේ මැසේජ් එක දැක්කා. ජීවිතේ වටිනාකමක් තියෙන මිනිසුන් මතක් කරන්න හොඳම වෙලාව මම හිතන්නෙ රාත්‍රියයි... ගුඩ් නයිට් කියලා එයා දාලා තිබුණා. ඒක මම දැකලා කවුද මේ කියලා හොයලා බලද්දියි මෙයා කියලා දැනගත්තේ. එතකොට මෙයා මාව දැකලා අවුරුද්දකටත් වැඩියි.

මතකද මුලින්ම එයත් එක්ක ඔයා ගියපු ගමන..?
මම මුලින්ම එයා එක්ක ගියේ සැලෝන් එකට. එතකොට මම A/L කරලත් ඉවරයි. මගේ අම්මා මම කොණ්ඩය කපනවාට ආසම නෑ. මම ආසත් නෑ. ඒත් මට නිකමට ආස හිතිලා එයා එක්කම ගිහින් සැලුන් එකෙන් කොණ්ඩය කපාගෙන ආවා. ඒ ආපු ගමන අම්මා දවස් දෙකක් විතර යනකම් මාත් එක්ක කතා කළෙත් නෑ.

ඒ සම්බන්ධයට මොකද වුණේ...?
ඒ සම්බන්ධය අපි දෙන්නම කතාබහ කරලා නතර කළා. අදටත් එයා මොකක්හරි දේකදී මට කතා කරනවා. මගේ තාත්තා මීට අවුරුද්දකට කලින් අනතුරකින් නැතිවුණා. ඒ වෙලාවෙත් මම මුලින්ම කතා කළේ එයාටයි. ඉස්සර එහෙම හැමදාම හම්බවෙන්න, කතා කරන්න ඉඩ ලැබුණේ නෑ. එතැන තිබුණේ මගේ තාත්තා මාව බලාගන්නවා වගේ හරිම පරිස්සම් ආදරයක්. ඒ ආදරේ බොළඳ නෑ. එයා අපේ තාත්තා වගේ හරිම හොඳ කෙනෙක්.

මතකද ආදරවන්තයන්ගේ දිනයේ දී අනුරාධාට ලැබුණු දේවල්..?
ඒ දවස්වල ආදරවන්තයන්ගේ දවසේ දී විතරක් නෙමේ, මුලින්ම හම්බවෙච්ච දවස, කතා කරපු දවස, උපන් දිනය, කෝල් එක ගත්තු දවස, මේ හැම එකක්ම අපි සැමරුවා. ඒ දවස්වල පුංචි දෙයක් හරි අපි හුමවාරු කරගත්තා. ඒවා හරිම සුන්දර මතකයන්. අද ඒ හැමදෙයක්ම අතීතයට අයිතියි.

අනුරාධා මේ වෙනකොට පෙම්වතියක්ද...?
නෑ... ඇත්තම කිව්වොත් මේ වෙනකොටනම් මම පෙම්වතියක් නෙමේ.

 

අටේ පන්තියේ ඉඳන් කෙල්ලන්ට ලියුම්..චොක්ලට්,ලේන්සු දුන්නා......

- පැතුම් රුක්ෂාන්

 

මේ සැරේ වැලන්ටයින් දිනයට මොකද කරන්නේ...?
මේ සැරේ වැලන්ටයින් දිනයට මුළු දවසේම “පිනි නාට්‍යයේ ෂූටිං. ඉතින්... උදේ ඉඳන්ම මම ඉන්නේ ඒ ලොකේෂන් එකේ තමයි.

මේ පාර වැලන්ටයින් සමරන්නේ කාත් එක්කද...?
ම්... මේ පාර මම වැලන්ටයින් සමරන්නේ මාත් එක්කම තමයි.

පුංචි කාලේ තිබුණු හීනය මොකක්ද...?
පුංචි කාලේ මගේ ලොකු හීනයක් තිබුණා. ඒ තමයි නළුවෙක් වෙන්න. මම පුංචි කාලේ ඉඳන් හරියට හින්දි ෆිල්ම්ස් බලනවා. ඉස්සර මට මතකයි මම සුනිල් ෂෙට්ටි වගේ ඇවිදිනවලු. ඉතින් ගෙදර කට්ටිය මට “ෂෙට්ටි කියද්දීත් පුංචි කාලේ මම හරි ආසයි. ඉතින් එහෙම තිබුණු උණත් එක්ක මම O/Lවලට A/Lවලට නාට්‍යකරණය එහෙමත් ඉගෙන ගත්තා. කොහොම හරි අන්තිමට මගේ ඒ හීනය හැබෑ කරගන්නත් මට පුළුවන් වුණා.

මුල්ම පෙම්වතා වුණේ පාසැල් යන කාලේදීම ද...?
ඔව්... මට හරියටම පන්තියනම් මතක නෑ. හැබැයි මට මතක හැටියට එතකොට මම හිටියේ අට වසර - නවය වසර පන්තිවලයි. ඉතින් මට වඩා බාල වයසේ පොඩි කෙල්ලෙක්ට මම මුලින්ම ආදරේ කළා. 

කොහොමද ඒ ප්‍රේමය...?
ඒ කාලේ ඒක එච්චර ගාණක් නැහැ. ආදරේ කියන්නේ හරියටම තේරෙන වයසකුත් නෙමෙයිනේ. ඉතින් මට මතකයි මම ඒ ගෑනු ළමයා දිහා බලනවා. එයා මම දිහා බලනවා. ඉතින්... මම මගේ යාළුවන්ටත් කියනවා ඒ තමයි මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් කියලා. හැබැයි ඉතින් ඒ කාලේ නොතේරෙන වයසට ජොලියට කරපු දේවල් තමයි ඒ.

මතකද ඒ ගෑනු ළමයට මුලින් දීපු දේ...?
මට මතක හැටියට මම ඒ ගෑනු ළමයට මුලින්ම ලේන්සුවක් දුන්නා. මගේ සමහර යාළුවෝ කිව්වා “ලේන්සු දෙන්න එපා. තරහා වෙයි කියලා. හැබැයි මට ඒක ගාණක් වුණේ නෑ. මම එයාට ඒ ලේන්සුව දුන්නා. තව මම ඒ ලේන්සුවත් එක්ක චොක්ලට් එකකුත් දුන්නා. ගෑනු ළමයි හරි ආසයිනේ චොකලට් කන්නත්.

ලියුම් එහෙම ලිව්වේ නැද්ද...?
මොකද නැත්තේ... අද වගේ ඒ කාලේ ෆෝන් නැහැනේ. අද හැම දෙයක්ම කතා කරන්නේ එස්.එම්.එස්. වලින්නේ. හැබැයි ඒ කාලේ එහෙම නැහැ. ඒ කාලේ ලියුවෙම ලියුම්. ඒකත් කොළය පිරෙන්න ලියන්නෙත් සින්දු කෑලියි. ඉස්කෝලේ පොත්වල හරි කැතට අකුරු ලිව්වට කෙල්ලන්ට ලියන අකුරු හරි ලස්සනට බෝල වගේ ලියලා දෙනවා. සමහරදාට ලියුම් ලියලා ලියුමට සෙන්ට් ටිකක් ගහලා සුවඳ කරලත් දෙනවා. ඉතින් ඉස්සර ආදර ලියුම් ගොඩාක් ලියලා තියෙනවා.

ඒ ආදරේට මොකද වුණේ...?
මම මුලදීත් කිව්වනේ... ඒක මේ නොතේරෙන වයසේ ඇති වුණු ආදරයක් කියලා. ඉතින්... ටික දවසකින් ඒ ආදරේ නැතිවුණා. හැබැයි ආදරේ නැති වුණා කියලා ලොකු දුකක් ඇති වුණේ නෑ. ගාණක් තිබුණෙත් නෑ. ටික දවසකින් ආයෙත් තව ගෑනු ළමයෙක්ට අර වගේම ලියුමක් ලිව්වා.

හිතට දැනුණු ආදරය මතක් කළොත්...?
A/L කරන ගමන් මම සැලෝන් කළා. ඔය කාලේදී තමයි මට ඇය හමුවුණේ. ඒ ආදරේ නම් ඇත්තටම මගේ හිතට තදින්ම දැණුනා. මම එයාට අවංකවම ආදරය කළා. එයත් මට අවංකවම ආදරේ කරන්නත් ඇති. අපි අවුරුදු තුනක් ආදරේ කළා. අන්තිමට ඒ ආදරයටත් නැවතීමේ තිත තියන්න සිද්ධ වුණා. අද එයා විවාහ වෙලා ඉන්නේ. මම ආදරේ කියන්නේ මොකක්ද කියලා තේරුම් ගත්තේ ඒ ආදරෙන්.

ඒ ආදරේට මොකද වුණේ...?
ඒ ආදරේට මොකක්ද වුණේ කියලා මටත් තෙරෙන්නේ නෑ. හැබැයි ඒ ආදරේට මම ආදරේ කළා කියලා මම දන්නවා. ඉතින් අද ඒ ආදරේ නැති වීමටත් මොකක් හරි හොඳ දෙයක් වෙන්න ඇති කියලා මම හිතනවා.

ඇයට මුලින්ම දීපු තෑග්ග මතකද...?
ඔව්... මම එයාටත් චොකලට් එකක් දුන්නා.

මුලින්ම පුංචි තිරයේ පෙම්වතිය කවුද...?
පුංචි තිරයේ මගේ මුල්ම පෙම්වතිය තමයි නිලුක්ෂි ප්‍රනාන්දු. ඒ සඳා ටෙලි නාට්‍යයෙන්. ඒ නාට්‍යය ගොඩාක් ජනප්‍රිය වුණා... මට මතකයි ඒ කාලේ පුංචි තිරයේ ආදරණීය පෙම් යුවළ කියලත් අපි දෙන්නව හැඳින්වූවා.සඳා ටෙලි නාට්‍යය නිසා මට තව නාට්‍ය කිහිපයකටත් ආරාධනා ලැබුණා.

අද වෙනකොට පෙම්වතෙක්ද...?
නෑ... මේ වෙනකොට මම පෙම්වතෙක් නෙමේ.

මේ වැලන්ටයින් දිනය තනියම ගත කරන්න දුක නැද්ද...?
නැහැ... එහෙම දුකක් නෑ. ජීවිතේ වැලන්ටයින් දිනවලදී මාත් පුංචි පුංචි තෑගි, රෝස මල් තෑගි දීපු කාලයකුත් තිබුණා. හැබැයි ආදරය කියන දේ එක දවසකට විතරක් සීමා වෙච්චි දෙයක් නෙමෙයිනේ. ආදරය හැමදාම විඳින්න තියෙන සුන්දර දෙයක්.

 

► Text -Dishani /  Pic - Sumudu