2018 පෙබරවාරි 10 වන සෙනසුරාදා

ටයිටැනික් පෙම්වතුන්ගේ උතුරන මනුස්සකම

 2018 පෙබරවාරි 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 321

එක්දහස් නමසිය අනූ හත වර්ෂය සිනමා ලෝකයට සුවිශේෂී වර්ෂයක් වන්නේ අන් කිසිවක් නිසා නොව හොලිවුඩ් ආදර කතා වංශ කතාවේ රන් අකුරින් ලියැවෙන ටයිටැනික් නම් සිනමා සිත්තම ප්‍රදර්ශනය කිරීම ආරම්භ කළේ එම වසරේදී නිසාවෙනි. එතැන් පටන් ගෙවුණු අවුරුදු විස්සකටත් වැඩි කාලයක් තුළ එහි පෙම් යුවළ වූ ජැක් (ලියනාඩෝ ඩි කැප්‍රියෝ) සහ රෝස් (කේට් වින්ස්ලට්) ලොව පුරා සිනමා ලෝලීන්ගේ හදවත් තුළ තැන්පත් වූයේ යළි කිසිදා නොමැකෙන මතකයක් තැන්පත් කරමිනි. 

මේ කතාව ද ජැක් සහ රෝස් ගැන ය. ඒත් ඒ ඔවුන් දෙදෙනාගේ ප්‍රේමය ගැන නොවේ. ඔවුන් දෙදෙනාගේ ආදරය නිසාවෙන් ආදරණීය අම්මා කෙනෙකුගේ ජීවිතයක් බේරාගැනීම ගැන ය. 

බ්‍රිතාන්‍යයේ ලැක්කෂයර්හි වාසය කරන ගෙමා නටෝල් නම් ඇය දරු ප්‍රසූතියට සැරසෙමින් උන්නාය. මව් පදවිය හිමිවීමේ සතුටින් ඇගේ මුළු ලොවම පිරී තිබියදී ක්ෂණයකින් ආ හෙණ පහරක් බඳු පුවතක් ඒ සතුටු ලෝකය සලිත කළේය. ලැබෙන්නට සිටින දරුවාගේ සෞඛ්‍ය තත්ත්වය ගැන වෛද්‍ය පරීක්ෂණයක් කරන අතරතුර හෙළිකර ගැනුණේ ගෙමාට ඩිම්බාශ්‍රිතව දරුණු පිළිකා තත්ත්වයක් වැළඳී ඇති බව ය. වහාම ප්‍රතිකාර ආරම්භ නොකළහොත් මාස කිහිපයක් ඇතුළත ගෙමාගේ ජීවිතය නැතිවීමට පවා ඉඩ ඇති බව වෛද්‍යවරු පැවසූහ. 

එහෙත් ගෙමා ඊට එකඟ නොවූවාය. 
“මගේ දරුවා නිසා තමයි මම පිළිකාව ගැන මේ වෙලාවේ හරි දැනගත්තේ. මම දැන් පිළිකාවට ප්‍රතිකාර කරන්න ගත්තොත් දරුවගේ ජීවිතේ අවදානමට වැටෙනවා. මගේ ජීවිතේ අවදානමේ වැටුණත් දරුවාගේ ජීවිතේ අවදානමේ දාන්න මට බැහැ” ඇය තම තීරණයේ දැඩිව එල්බ උන්නාය. 

පිළිකාව නිසා දිනෙන් දින දුර්වල වෙමින් සිටියද සති 26කට පසු ඈ ලස්සන දූ සිඟිත්තියක මෙලොවට තිළිණ කළාය. පෙනිලොපී නම් ඈ තම තුරුල්ලේ සිටියදී ගෙමාට ජීවත්වීමේ ආසාව නැවතත් වැඩිවුණාට සැක නැත. 
ඇගේ ස්වාමියා ඇතුළු පවුලේ සියල්ලෝම ඇයට ප්‍රතිකාර කළ හැකි විදිහක් ගැන සෙවූහ. දිවා රෑ නොබලා වෙහෙසීමේ ප්‍රතිඵල ලැබිණි. ජර්මනියේ සිදුකෙරෙන විශේෂ පිළිකා ප්‍රතිකාර ක්‍රමයක් ගැන ඔවුහු දැනගත්හ. එහෙත් අතිශය නවීන තාක්ෂණ ක්‍රමවේදයක් වූ ඒ වෙනුවෙන් මුදල් දැරීමේ හැකියාවක් ගෙමාට හෝ පවුලේ වෙනත් කෙනෙකුට හෝ තිබුණේ නැත. ඇයට ඉතිරි වුණු එකම විකල්පය වූයේ සමාජ මාධ්‍යයයි. 
ඇය සමාජ මාධ්‍ය හරහා ඇගේ දුක ලෝකයට කිව්වාය. තමාගේ මෙන්ම තම දියණියගේත් අනාගතය වෙනුවෙන් ප්‍රතිකාර ලබාගැනීමට මුදල් ආධාර දෙන ලෙස ඇය සංවේදී හදවත් ඇති මිනිසුන්ගෙන් උපකාර පැතුවාය. 
ගත වූයේ දින කිහිපයකි... ඇගේ දුරකථනයට නාඳුනන අංකයකින් ඇමතුමක් ලැබිණ. 

“හායි ගෙමා, මම කතා කරන්නේ කේට්. කේට් වින්ස්ලට්... මම ඔයාගේ පෝස්ට් එක ඉන්ටර්නෙට් එකේ දැක්කා. ඇත්තටම මම සතුටුයි ඔයාට උදව් කරන්න. මමත් මගේ මිතුරා ලියනාඩෝත් ඔයාට උදව් කරනවා”  
ගෙමා මුලදී සිතුවේ මේ කාගේ හෝ විහිළුවක් වන බව ය. එහෙත් අවසානයේ එය කාගේ හෝ නොමනා විහිළුවක් නොව සැබවින්ම කේට් වින්ස්ලට් සහ ලියනාඩෝ ඩි කැප්‍රියෝ යන සුපිරි තරු යුගලය තමාට පිහිට වන බව දැනගත් ඈට නව ජීවයක බලාපොරොත්තු ලැබිණි. ඔවුන්ගේ දායකත්වය සමඟින් මීට මාස කිහිපයකට පෙර ජර්මනියේදී ලැබූ ප්‍රතිකාරවලින් පිළිකාව පරදා ජයගන්නට ඇය සමත් වූවාය. 

“මට කේට්ටත් ලියනාඩෝටත් ස්තූති කරන්න වචන නැහැ. ඒ දෙන්නා නිසා මම අලුත් ජීවිතයක් ලැබුවා. මගේ පුංචි දුවත් එක්ක ඉන්න හීන දැකපු අනාගතේ දැන් හැබෑවක් වෙලා...” ගෙමා පවසන්නේ සතුටු කඳුළෙන් බොඳවී යන දෑසිනි. 

(Independent ඇසුරෙනි)

Text — Rajitha