2017 දෙසැම්බර් 09 වන සෙනසුරාදා

පින්සලය අතින් ගත් දරුවන්ගේ දොස්තර

 2017 දෙසැම්බර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 237

සති අන්තෙ කොළඹ ආවොත් Concealed බලලම යන්න

සතුට ඇත්තේ ගමනේ කෙළවර නොව යන මඟ දෙපසය. ගන්න හැම හුස්මකම වදනින් නොකියන බලාපොරොත්තුව ඒ සතුටයි. තරුකැට පවා ඇස් වහන සීතල අන්ධකාර මැදියමේත් ජීවිතය වෙනුවෙන් හීන දකින නොනිදන හිත් ජීවන සැරිසරියේදී අපට මුණගැසෙන්නේ එනයින්ම යැයි මම සිතමි. එක අතක වෙද නලාවය. අනිත් අතේ පින්සලය. වෙද නලාව දස දහසක් රෝගීන් සුවපත් කරන්නටය. පින්සල ලක්ෂ සංඛ්‍යාත හදවත් සුවපත් කරන්නටය. අතරින් පතර අතගා බලන ජීවිතේ නොපෙනෙන අහුමුලු කොතෙක් වෙත්ද? පින්සල් තුඩගේ තවරාගත් වර්ණ පදාස කැන්වසය මත තවරා ඒ සිත්තම් කරන්නේ ජීවිතයේ ගැඹුර, රසය, සොඳුර සහ ආශ්චර්යැයි මට හැඟේ..

සාර සිප් බෙලෙන් ඔහු දොස්තරකම ලද්දේය. සංසාර පුරුද්දෙන් ඔහු සිත්තරකම ලද්දේය. මටනම් හිතෙන්නේම එහෙමය. චිත්‍ර අඳින ඒ දොස්තරගේ නම ශානක කුලතුංගය. වෛද්‍ය විද්‍යාෙව්දී ශරිරාංග පිළිබඳව දැනුම ප්‍රගුණ කළ හෙතෙම සිත්තරෙකු ලෙස මිනිස් සිරුර සතු හැඩයේ, ලාලිත්‍යයේ හා සෞන්දර්   යේ භාව හාව ලීලා හැඩතල ඉසියුම් මනසින් වින්දනය කළේය. ශානක අද බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ වකුගඩු ඒකකයේ වෛද්‍යවරයෙකු ලෙස සේවය කරතත් පුංචි කාලයේ සිට අතට ගත්ත පින්සල හේ කවදාවත් පසෙකින් තැබුවේ නැත. විභවියෙන්  චන්ද්‍ර ගුප්ත තේනුවර ඇඳුරාණන් යටතේ උගත් සිත්තම් කලාවේ සිද්ධාන්ත මතකයෙන් නෙරපා හැරියේද නැත. වෙදනලාව අතට ගත් HIGH CLASS ජීවිතයට පින්සල LOW CLASS යැයි කවදාවත් සිතුවේත් නැත. දොස්තරකම මෙන්ම සිත්තරකමත් ආත්මීය බන්ධන සෙයින් ඔහුට දැනුණායැයි ඔහුම කියන ඉනික්බිති ඒ ගැන  කියන්නටම දෙයක් මිස අසන්නට ද කිසිත් නැත. 

එහෙත් අපිට කියන්නට ඔහුට අලුත්ම දෙයක් තිබුණේය.  ඒ ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේ පැවැත්වෙන  චිත්‍ර අඳින දොස්තරගේ ප්‍රථම ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය ගැනය. චිත්‍ර ප්‍රදර්ශනයේ නම CONCEALED ය. කන්සීල්ඩ් යන වචනයට අරුත් කීපයකි. අප්‍රකට, ගුප්ත, සැඟවුණු, අප්‍රකාශිත වැනි අරුත් ඉන් ධ්වනිතාර්ථය. ශානක කන්සීල්ඩ්  යැයි තමන්ගේ ප්‍රථම ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනයට නම් තැබුවේ කවර අරුතක් දනවන්න ද‍ැයි කියනවාට වඩා කන්සීල්ඩ් නැරඹුමෙන්ම එහි අරුත කිම්දැයි වටහා ගැනීම වටිනේයැයි සිතේ. ඇරඹුම පහුගිය සිකුරාදාය. දෙසැම්බර් 8 සවස 5.30 ට ඇරඹුණු එය දෙසැම්බර් 9 සහ දහය දෙදින යෙදෙන සති අන්තයේ උදේ 8.00 සිට රූ 9.00 දක්වා දකින්න විඳින්න කැමති ඕනෑම කෙනෙක් වෙනුවෙන් විවෘතය. එහෙම කීවේ ශානකය.

චිත්‍ර අඳින දොස්තරගේ චිත්‍ර ගැන නොකියා සිටීම ඔහුට කරන උපරිම සාධාරණයයැයි සිතේ. කැන්වසයට දිගක් පළලක් තිබුණාට ප්‍රස්තුතයට දිගක් පළලක් තියෙන්නට හැටියක් නැත. සිතුවිල්ල අනන්තයක්ම මිස අන් කවරක්ද? ඒ අනන්තයේ රිසි තැනක නවතින නිදහසත් ඔබගේය. අයිතියත් ඔබගේය. පාට දිගේ කැමති දුරක් ගිහින් එන්න... නවතින්න හිතෙන ඕනෑම සියුම් රේඛාවක් මත නැවතී හිඳින්න..... ඉරිදාව ගෙවීයනතුරු ඔබ එනතෙක් සිතුවම් බලා හිදී...

► Text – Saara