2017 දෙසැම්බර් 09 වන සෙනසුරාදා

රජ පවුලට නිළියක්

 2017 දෙසැම්බර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 189

“හැරී කුමරුගේ සහ මේගන් මාර්ක්ල් මෙනෙවියගේ සරණ ගිවිසගැනීම රාජකීය මහෝත්තම වේල්සයේ කුමරු විසින් මෙසේ සතුටින් දන්වා සිටිනු ලැබේ...” “සරණ මංගල්‍යය 2018 වසන්ත ඍතුවේදී පැවැත්වෙනු ඇත. ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු ඉදිරි කාලයේදී දැනුම් දෙනු ලැබේ....”

“....යුගදිවි ප්‍රාප්ත නව යුවල කෙන්සින්ටන් මාළිගයේ නොටිංහැම් කොටේජයේ වාසය කරනු ඇත.....”
තවත් රාජකීය විවාහ මංගලෝත්සවයක අසිරිය බ්‍රිතාන්‍ය වැසියන්ට දැකගැනීමට උදාවෙන ඒ මොහොත පිළිබඳව පසුගියදා වේල්සයේ කුමරු හෙවත් චාල්ස් කුමරු විසින් නිල නිවේදනයක් හරහා තම රටවැසියන් දැනුම්දී තිබුණේ එලෙසිනි. 
හැරී මේගන් ආදර අන්දරයේ ආරම්භය 2016 වසරේදී සිදුවූවක් ලෙස සැලකේ. වෘත්තියෙන් රංගන ශිල්පිනියක් වන මේගන් මාර්ක්ල්ව හැරීට මුණගැසෙන විට ඇය රංගන ශිල්පිනියක් බව ඔහු දැන හුන්නේ ද නැත. අමෙරිකානු ජාතික මේගන් The Suits ටෙලි කතාමාලාව හරහා ජනප්‍රියත්වයට පත්වූ අතර හොලිවුඩ් චිත්‍රපට කිහිපයකට ද රංගනයෙන් දායක වී තිබේ. 

තම විවාහ ගිවිස ගැනීම පිළිබඳ පසුගියදා බී.බී.සී.ය හමුවේ අදහස් දක්වමින් හැරී කුමරු පවසා සිටියේ තමා මිතුරෙකුගේ මාර්ගයෙන් මේගන් දැන හැඳිනගත් බවය. හැරී මේගන්ව එසේ හඳුනාගත්ත ද හැරී කුමරුව මේගන්ට හඳුන්වාදීමේ කිසිදු අවශ්‍යතාවයක් නොවූ බවට නම් සැකයක් නැත. 

හැරී කුමරු අමෙරිකානු නිළියක වන මේගන් මාර්ක්ල් සමඟ පෙමින් වෙළීසිටින බව මුලින්ම අනාවරණය කෙරුණේ 2016 ඔක්තෝබර් මාසයේදී ය. ඉන් අනතුරුව මේ වසරේ පෙබරවාරි මාසයේදී දෙදෙනා එකට සිටින ඡායාරූප කිහිපයක් මාධ්‍ය හරහා පළවූ අතර ඇය එම කාලයේදී දින කිහිපයක්ම හැරී කුමරු සමඟ කෙන්සින්ටන් මාළිගයේ විසූ බවද සඳහන් විය. 

මේගන් හැරී කුමරුට වඩා අවුරුදු තුනක් වයසින් වැඩිමල්ය. ඇගේ වයස අවුරුදු 36ක් වන අතර හැරී කුමරුගේ වයස තවමත් අවුරුදු 33කි. ඒ අනුව මේගන් හැරීගේ වැඩිමල් සොයුරු විලියම්ට ද වඩා අවුරුද්දකින් වැඩිමල්ය. කෙසේ වෙතත් විලියම් කුමරු ද තම විවාහයේදී වයස සාධකයක් කරනොගත් අතර ඔහුගේ අතගත් කේට් කුමරිය ද විලියම්ට වඩා මාස පහකින් වැඩිමල්ය. මේනිසා හැරී මලණුවන් ද විලියම් අයියණ්ඩියගේ අඩි පාරේ යමින් තම සහකාරිය තෝරාගැනීමේදී වයස ගැන පොඩි හෝ තැකීමක් කර නොමැති බව පැහැදිලිය. 

මේගන් - හැරී ආදරය අක්කා-මල්ලි ආදරයක්

හැරී මේගන් ආදර අන්දරයේ තවත් විශේෂත්වයක් වන්නේ මේගන් වරක් විවාහ වී සිට දික්කසාද වූ තැනැත්තියක වීමයි. එනම් ඇය 2011 වසරේදී අමෙරිකානු චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වූ ට්‍රෙවර් එංගල්සන් හා විවාහ වූ නමුත් වසර දෙකක් යනවිට එම විවාහය බිඳවැටුණි. හැරීට මේගන් හා විවාහවීමට අවසර ලබාදීමේදී මේගන්ගේ දික්කසාදය ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති කරනු ඇතැයි බොහෝ දෙනෙකු අදහස් පළකළ ද එංගලන්ත පල්ලිය විසින් හැරී මේගන් විවාහයට ආශීර්වාද එක්කිරීමත් සමඟ එම ගැටලුව නිමාවට පත්විය. 

එහෙත් 1936දී හැරී කුමරුගේ මී මුත්තෙකු වූ අටවැනි එඩ්වඩ් රජුට තම ඔටුන්න අත්හැරීමට සිදුවූයේ දෙවරක් දික්කසාද වූ වොලිස් සිම්ප්සන් හා විවාහ වීම හා ඊට එංගලන්ත ඇංග්ලිකන් පල්ලියේ විරෝධය එල්ලවීම නිසාවෙනි. 
ඉකුත් ඔක්තෝබර් 19 වැනිදා හැරී කුමරු මේගන් කැටුව බකිංහැම් මාළිගයට ගිය බවත් එහිදී ඔහුගේ මිත්තණිය වන දෙවැනි එළිසබෙත් රැජන මුණගැසී දෙදෙනාම තේ පානය කළ බවත් බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කර තිබුණි. ඒ අනුව පසුගියදා චාල්ස් කුමරු විසින් පසුගියදා බකිංහැම් මාළිගයේ නිල නිවේදනය නිකුත් කිරීමට පෙර විවාහය සඳහා මහ රැජනගේ අවසරය ද ඔවුන් ලබාගත් බව පැහැදිලිය. 
බ්‍රිතාන්‍ය “ද සන්” පුවත්පත විශේෂ අනාවරණයක් සමඟින් ප්‍රකාශ කර තිබුණේ ලබන වසරේ මැයි 18 වැනිදා හැරී මේගන් සරණ මංගල්‍යය පැවැත්වෙනු ඇති බවය. 

► Text — Rajitha