2017 දෙසැම්බර් 09 වන සෙනසුරාදා

දැහැන

 2017 දෙසැම්බර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 111

ගිය සති අන්තයේ ඉංග්‍රීසි චිත්‍රපටයක් බැලුවා. ඒක හරිම සංවේදී තේමාවක් ඔස්සේ ලියවෙච්ච පිටපතක් ඔස්සේ නිර්මාණය වුණු චිත්‍රපටයක්. චිත්‍රපටය වැන්ඩෙන්සි. වැන්ඩෙන්සි කියන්නේ බල්ලෙක්. එයාව බලාගන්න කවුරුත්ම නෑ. හුදෙකලා වෙච්ච බල්ලෙක්. ඕපල්ට දවසක්  ඒ බල්ලව මුණගැහෙනවා. ඕපල් කියන්නේ පුංචි ලස්සන කෙල්ලක්. එයාට තරු දෙකක් වගේ අපූරු දිලිසෙන කතා කරන ඇස් දෙකක් තිබුණා.. ඕපල්ගේ තාත්තා පූජකවරයෙක්. එයා හිටියේ තාත්තත් එක්ක. එයාගේ අම්මා ගැන එයාගේ හිතේ කොතනකවත් එකම එක මතකයක්වත් තිබුණෙ නෑ. තාත්තා කවදාවත් අම්මා ගැන කීවෙත් නෑ. ඒත් ඕපල්ට තනිකම හුඟක් දැනෙමින් තිබුණා. මේ අතරේ එක්තරා දවසක තමා ඕපල්ට කාත් කවුරුත් නැතුව අතරමං වී සිටි වැන්ඩෙන්සිව මුණගැහුනේ. ඕපල් හරිම දයාබර හදවතක් තියෙන පුංචි කෙල්ලක්. එයා තවදුරටත් වැන්ඩෙන්සිව තනි කරන්නේ නෑ.

ඕපල් එයාව ගෙදරට එක්ක එනවා. දැන් ඕපල් සතුටින්. එයාට එයාගේ ජීවිතය බෙදා ගන්න කෙනෙක් ඉන්නවා. වැන්ඩෙන්සිට කතා කරන්න බෑ. ඒත් වචනවලට නොපෙරෙළෙන බැඳීම් ලෝකෙ කොච්චර තියෙනවද? මේත් එහෙම බැඳීමක්. වැන්ඩෙන්සි හමුවුණාට පස්සේ ඕපල්ට අහම්බෙන් තවත් කිහිප දෙනෙක්ම හමුවෙනවා. ඒ හැම හමුවීමකින්ම ඕපල්ට දැනෙන්නේ ජීවිතය. දවසක් එයා තාත්තාගෙන් අහනවා කෝ අම්මා කියලා. තාත්තා කියනවා අම්මා හැමදේම අරන් දවසක යන්න ගියා කියලා. ඕපල් හරිම සියුම් විදිහට එයාගේ හදවතේ අහුමුළු ස්පර්ශ කර කර හොයන්නේ ඉතුරු වෙච්ච හිස්තැන් ගැන. හිස්තැන් හැමදාම හිස්තැන් විදිහටම තියෙයි කියලා හිතුණත් ඒ හිස්තැන් හරි අපූරු විදිහට පිරවෙනවා. එයා හීන දකින්න පුරුදු වෙනවා. හීන පාට කරන්න පාට හොයනවා. හීන පාට වෙද්දී සතුට වැස්සක් වෙලා ජීවිතය කියන මහපොළව මත්තට වැටෙනවා......

වැන්ඩෙන්සි ෆැන්ටසියක් තමා. ඒත් ඒ ෆැන්ටසිය අපිව අපේම ජීවිත හරහා වින්දනීය චාරිකාවක් එක්ක යනවා. අහම්බකාරක හැම හමුවීමක්ම දුක සතුට කියන හැඟීම්වල සම්මිශ්‍රණයක්. හැම හමුවීමක්ම අහම්බකාරකයක්.. මන්දා මට හිතෙන්නේ එහෙම. සමහර අය අපේ ජීවිත හරහා එයාලගේ ගමනක් යනවා. අනපේක්ෂිත තත්ත්පරයක අපිව අත්හැරලා යනවා. යන අයට යන්න දෙන්න. ඉන්න අයට ඉන්න දෙන්න. බලහත්කාරයෙන් කාටවත් යන්න නොදී රඳවාගන්න එපා. යන අයට යන්න හදවතේ එක දොරක් ඇරලා තියන්න. ළඟින් ඉන්න තාක් ආදරය කරන්න. ඔයාට අන්තිමට මතකයක් නොවැරදීම ඉතුරුවෙයි. ඒ මතකය සුවඳයි කියලා දැනෙන තැනට එනකම් තනියක් දැනෙන හැම මොහොතකම ස්පර්ශ කරන්න. වේදනාවක් දනවන හැම මතකයක්ම ඈතින් ඈතකටම වීසි කරලා දාන්න.

ලෝකය විසල් යායක්. ජීවිතය අමුතු හුළඟක්. ඒ හුළඟ කොහේ ඉඳන් කොහාට හමා යයිද කොතනක නවතියිද කියන්න කවුද දන්නේ. යායෙන් යායට ඒ හුළඟ මහා සැරිසරියක්... අයිතිකාරයෙක් නැති හිතුවක්කාරයෙක්.. ඒ හිතුවක්කාරයට හිතෙන හිතෙන තැන්වලට යන්න දෙන්න එපා... හැබැයි පවුරු ගහලා හිරකාරයෙක් කරන්නත් එපා.... මොකද හුළඟ දැනෙන්නේ කුණාටුවක් වුණාම.. කුණාටුවක් මැද්දේ හමන්න ගත්තම... සීතල වුණාම.... නිහඬ බව බිඳින පෙරළිකාරයෙක් වුණාම...

I Saara