2017 දෙසැම්බර් 02 වන සෙනසුරාදා

හලෝ හලෝ Ring වෙද්දී තරු දාන පට්ට Talk

 2017 දෙසැම්බර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 304

ගහගන්න කතා කරන්නෙ නෑ..

I දුලීකා මාරපන

මෙහෙමනේ.... දැන් මගේ ‍‍ෆෝන් එකට මගේ අම්මා කතා කළොත් මම ෆෝන් එක ආන්සර් කරන්නෙම අම්මා කියලම තමයි. සුජීව අයියා කතාකරද්දී මම කොහොමත් කතා කරන්නේ සුජීව අයියේ කියන්න අයියේ කියලයි. සාමාන්‍යයෙන් මගේ ගෙදර සාමාජිකයෙක්ට අමතරව වෙන කතා කරන ඕනෑම කෙනෙක්ට මගේ ෆෝන් එකේ ඒ කතා කරන කෙනාගේ නම්බර් එක සේව් වෙලා නැත්නම්, ඒ කියන්නේ මම ඒ කෙනාව අඳුරන්නේ නැත්නම් ඒ කතා කරන ඕනෑම කෙනෙක්ට මම මුලින්ම ආමන්ත්‍රණය කරන්නේ ආයුබෝ වේවා කියලයි.

එහෙම නැතිව කවුරුහරි දන්න කියන කෙනෙක් එයාගේ නම්බර් එක මගේ ෆෝන් එකේ කියන කෙනෙක් මට කතා කළොත් මම ඒ කෙනාට නම කියලා අයියේ, අක්කේ, නංගි, මල්ලි කියලා කතා කරනවා.
හලෝ අක්කා, කොහොමද ඔයාට...
චාන්දනී අක්කා හුඟ දවසකින්

වගේ හරිම ආදරණීයව තමයි ආමන්ත්‍රණය පටන් ගත්තේ. කොහොමටත් නමක් නැති දන්නේ නැති කෙනෙක් කතා කළත් මම මුලින්ම ගහගන්නවා වගේ කතා කරන්නේ නෑ. ඒකට හේතුව එහා පැත්තේ කතා කරන කෙනාගේ මූණ මට පේන්නේ නැහැනේ. සමහරදාට දන්නෙම නැති කෙනෙක් එහා පැත්තේ ඉඳන් මගෙන් අහනවා මේ කවුද කතා කරන්නේ කියලා ඒකට හේතුව තමයි ෆෝන්වල සදාචාරය දන්නේ නැතිකම. එහෙම කතා කරන අයගේ සංවාදය දුරදිග යන්න දෙන්නේ නැතිව මම ෆෝන් එක තියනවා.

 

ආත්මෙකට No Answer

I උමයංගනා වික්‍රමසිංහ

ඉස්සර මම මගේ අම්මා කතා කරන කොට අම්මා කියලා තමයි ආන්සර් කළේ. මොකක් හරි වැඩක මම නිරත වෙලා ඉඳිද්දී මම දන්න කියන කවුරුහරි මට කතා කළොත් මම ආන්සර් කරන්නේ නෑ. ගොඩක් අය කියන චෝදනාවක් තමයි මම ෆෝන් ආන්සර් කරන්නේ නැහැ කියලා. ඒක ඇත්ත. හැබැයි කාගෙන්හරි දන්න කියන කෙනෙක්ගෙන් මිස් කෝල් එකක් තිබ්බොත් මම ඒකට ගන්නවා. සමහරවෙලාවට මිස් කොල් එකට ගන්නත් දවසක් දෙකක් විතර යනවා. හැබැයි කවුරු කතා කළත් මම ෆෝන් එක ආන්සර් කරන්නේ ඒ වෙලාවේ බව කතා කරන්න පුළුවන්නම් විතරයි. සමහරදාට මම වැඩක ඉඳලා ෆෝන් එක ආන්සර් කරලා ඉක්මනට කියනවා මම වැඩක ඉන්නේ පස්සේ ගන්නම් කියලා..... 

 

ගෙදර පුරුද්දට ආ.. පැටියා කියනවා

I සුසිලා කෝට්ටගේ

මම එළියකට හරි ෂූටිං එකකට ගිය වෙලාවක හරි රහල් මට කෝල් කළොත් මම ගෙදර කතා කරන පුරුද්දටම ආ.. පැටියා... කියන්න කියලා කියනවා. දන්න කියන යාළුවෙක් මට මගේ ෆෝන් එකට කතා කළොත් මම එයාගෙ නම්බර් එක දන්න කියන කෙනෙක් නම් ආ.. කෙල්ලෙ කොහොමද... කියලා කතා කරනවා. මම දන්නෙ නැති නම්බර් එකකින් මට කෝල් එකක් ආවොත් ඒ වෙලාව අනුව සුභ උදෑසනක්.. සුභ සැන්දෑවක්.. කියලා පටන් අරගෙන ඔබතුමා.. ඔබතුමිය කියලා ආමන්ත්‍රණය කරනවා.

කෙල්ලගෙ කටහඬ ලස්සන නම් 
බට්ටිච්චා වගේ Talk කරනවා

I රොනී ලීච්

මම මොකක්හරි වැඩක් කරද්දි මට මගේ වයිෆ් කතා කරද්දිනම් මගේ වොයිස් එක ටිකක් වෙනස් වෙනවා. ඒ වෙලාවට හෙලෝ... ඩාලිං... මම ඔයාට කිව්වනෙ මම වැඩක් කියලා. මට ඩිස්ටබ් කරන්න එපා. පස්සෙ කෝල් කරන්නකො... මම තියන්නම්... කියලා මම කියනවා. හැබැයි වැඩක් නැති වෙලාවක වයිෆ් කතා කළොත් ඩාලිං කියලා මම එයාට ආදරෙන් කතා කරනවා. ඔන්න දැන් මගේ යාළුවෙක් කතා කරද්දි වොයිස් එක තව විදිහක්. ඒ වෙලාවට මම කතා කරන්නෙ... ආ... මචං... පුදුමයි උඹලට අපිව මතක්වෙලා කෝල් එකක් ඉඳලා හිටලා හරි දෙනවා... ඉතින් මචං.. අපි දවසක හම්බවෙමු.... ඔන්න දැන් මට ගැහැනු ළමයෙක් එහෙම කතා කළොත්, මූණ පේන්නෙ නැහැනෙ. හැබැයි කටහඬ ලස්සන ගැහැනු ළමයෙක් එහෙම කතා කරද්දි කතා කරන විදිහ ඊටත් වඩා වෙනස්. (බලමුද ඒ කොහොමද කියලා..) ආ... කවුද මේ හෂිනි නේද.. මම හිතුවේ ප්‍රියා කියලා... (වරදවා වටහාගන්න එපා. මේ ඇත්ත නම් එහෙම නෙමේ...) හරියට කටහඬ පුංචි බට්ටිච්චි පැටියෙක්ගෙ වගේ අනේ... ගැහැනු ළමයින්ට ඔහොම කතා කළාට ගියපාර ප්‍රසංගයකදි පොල්ලක් තියලා ආයෙත් මේ පාර ප්‍රසංගයකට කතා කරන සංවිධායකවරයෙක්ගෙ ඇමතුමකට මම කතා කරන්නෙ මෙන්න මෙහෙමයි... ආ... කවුද මේ.. තමුසෙද... මීටපස්සෙ මට ඔයාලගෙ ෂෝ ගැන විතරක් කතා කරන්න එපා. කලාකරුවන්ට ඔහොම කරන්න එපා. ඇත්ත කිව්වනම් හරි... එහෙම නැතිව බොරු කරලා පොලු තියලා ඔය වගේ වැඩ කරන්න එපා... එහෙම කතා කරනකොට ඉඳලා හිටලා ඉන්ෂුවරන්ස් මල්ලි කෙනෙක් කතා කරද්දිත් වොයිස් එක තව වෙනස් වෙනවා.

හෙලෝ... කොහෙන්ද... මොන ඉන්ෂුවරන්ස්ද.. අනේ මල්ලි මම family ඉන්ෂුවරන්ස් එකක් අරන් තියෙන්නෙ. ගන්න තියෙන හැම ඉන්ෂුවරන්ස් එකක්ම අරන් තියෙන්නෙ. ඒ නිසා ඔය තව සති දෙකකින් විතර කෝල් එකක් දෙන්නකො.. තෑන්ක්ස්... ඔන්න ඔ‍ෙහාමයි කියන්නේ.

 

කාවවත් කඩේ අරින්නෙ නෑ

I චූලක්ෂි රණතුංග

මම ෆෝන් එකෙන් කතා කරද්දි ඒ කතා කරන විදිහේ ලොකු වෙනසක් නෑ. හැබැයි අපි කතා කරන වටපිටාවත් එක්ක ඒ දේ වෙනස් වෙනවා. සමහර වෙලාවට මම වැඩක ඉඳිද්දි අම්මා කතා කළොත් අම්මී... මම වැඩක කියලා තියනවා. එතකොට අම්මී දන්නවා මම වැඩක, කතා කරන්න බැරි තැනකයි ඉන්නේ කියලා. මට කවුරුහරි කතා කරද්දී ඒ වෙලාවේ කතා කරන්න බැරි අවස්ථාවක් නම් මම ගොඩක් වෙලාවට ෆෝන් එකට ආන්සර් කරලා හරි... මම ඔයාව දන්නවා... මම ඔයාට ගන්නම් කියලා ෆෝන් එක තියලා මට කතා කරන්න  පුළුවන් වෙලාවක එයාට ගන්නවා.

මට වදයක් වෙනවා කියලා හිතෙන කෙනෙක් මට කතා කළොත් මම ඒ ෆෝන් එකට ආන්සර් කරලා ඒ කැමැත්ත අකමැත්ත ප්‍රකාශ කරනවා මිසක් මම කවදාවත් කතා කරන්න පුළුවන් වෙලාවක ෆෝන් ආන්සර් නොකර මඟඅරින්නේ නෑ. එහෙම මඟඇරලා මම කාවවත් කඩේ අරින්නේ නෑ. සමහර වෙලාවට ඔය ඉන්ෂුවරන්ස් ආයතනවලින් කතා කරද්දීත් මම ඇත්තම කියලා ඒ ෆෝන්වලටත් ආන්සර් කරනවා. 


හරි මචං එළකිරි මිසක් බබා.. ඩාලිං Talk නෑ..

I රජිත හිරාන්

මට වයිෆ් කෝල් කරද්දි මම එයාට බබා.. ඩාලිං එහෙම කියන්නෙ නෑ. අපේ ආදරේ ගැන එයා දන්නවා. මම දන්නවා. ඒ නිසා ඒවා ඇමතුමෙන් කියන්න ඕනෙ නැහැනෙ. ඒ නිසා ඔව් කියන්න.. කියලා තමයි මම කියන්නෙ. එයා මට ගත්තොත් ගන්නෙ අත්‍යවශ්‍ය දේකටයි. ඒ නිසා එහෙම තමයි කියන්නෙ. මම දන්න කියන යාළුවෙක් ගත්තොත් මචං කියලා කියන්න පුළුවන්නෙ. ඒ අය මට ආ.. රජියා... කියලා තමයි කතා කරන්නෙ. නොදන්න කෙනෙක් කතා කළොත් හලෝ රජිතද... කියලා මගෙන් ඇහුවොත් මම පොඩි ගරුත්වයකින් කතා කරනවා. ඒ අයට මචං කියන්න බැහැනෙ. ඒ වෙලාවට හෙලෝ.. ඔව්.. කතා කරනවා කියලා කතා කරලා දුරකතන සංවාදය ටික වෙලාවක් යද්දි එයා එක්ක හිතවත් මට්ටමකට ආවොත් ආ.. හරි.. හරි එළකිරි.. හරි මචං.. කියලා ඒ මට්ටමට එනවා.


බිසී නැත්නම් ගනින්ලු

I අනුරාධා එදිරිසිංහ

මට ළඟින්ම ඉන්නේ මගේ අම්මා ඉතින් අම්මා කතා කරද්දී මම මොකක් හරි වැඩක හරි ෂූටින් එකක හරි හිටියොත් අම්මා මම පස්සේ ගන්නම් කිව්වම අම්මා තේරුම් ගන්නවා. මට ළඟම යාළුවෝ කීපදෙනෙක් ඉන්නවා. ඉතින් ඒ අය සැරින් සැරේට මට කතා කරනවා. හැබැයි මුලින්ම ඒ අය මට මැසේජ් එකක් දානවා. බිසී නැත්නම් ගනින් කියලා.... ඉතින් වැඩක් නැත්නම් මම ගන්නවා. ළඟින් ඉන්න අය තමන්ගේ අය වගේ කියා අපි ගැන ලොකු අවබෝධයක් තියෙනවා. ෆෝන් එක සමහර වෙලාවට මම ආන්සර් කරන්න වෙන්නේ නැති වෙලාවල් තියෙනවා. හැබැයි කතා කරන්න පුළුවන් හැමවෙලේම මම කතා කරනවා.

 

වයිෆ්ට තක්කා තක්කී කෙල්ලන්ට නංගි බබා

I මහේන්ද්‍ර පෙරේරා

මගේ ෆෝන් එකට මගේ වයිෆ් කතා කළොත් මම එයාට ආ.... තක්කා, තක්කී කියනවා. සමහර නම් තියෙනවා ඒවා ඉතින් පත්තරේ දාන්න බෑ. මගේ යාළුවෝ මම කතා කළොත් ආ.... ලොකු අයියා කොහොමද..... මොකද අද වෙන්නේ කියලා අහනවා. හැබැයි ඉතින් නංගි කෙනෙක් එහෙම කතා කළොත් ආ නංගී බබා... කියලම තමයි මම කතා කරන්නේ.... ඉන්ෂුවරන්ස් එකකින් වගේ කතා කළොත් අනේ මම පොඩි වැඩක ඉන්නේ... පස්සේ ගන්නම් කියලා කියනවා. එච්චරමයි. ආයේ ගැනිලි නෑ...

► Text -Dishani / Pic-Sumudu & Internet