2017 දෙසැම්බර් 02 වන සෙනසුරාදා

සීතලයි.. සීතලයි කියලා නාන්නෙම නැති එකෙකුත් බෑන්ඩ් එකේ ඉන්නවා

 2017 දෙසැම්බර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 92

අම්මා අඬාගෙන අැවිත් කීවා පුතා කනේරු අැට කෑවලු

මල පැන්න පාර වාහනයක් කුඩු කරන්න ගියා

ලියාරා සංගීත කණ්ඩායමට ලබන වසරේ ජනවාරි විසිඑක් වැනිදාට අවුරුදු විස්සක් ගත වෙනවා. මේ අවුරුදු විස්ස ඇතුළත බොහෝ අත්දැකීම් ජීවිතේට එකතු වුණා. ඒ අතරින් අපේ ජනප්‍රිය ගායක නාමල් උඩුගම වෙනුවෙන් කලාකරුවන් කලාකාරියන් එකතුවෙලා ලොකු සංගීත ප්‍රසංගයක් පැවැත්වුවා. එදා එළිමහන් ප්‍රසංග වේදිකාවේ ජනප්‍රිය ගායක ගායිකාවන් පනස් පහකට එකවර සංගීතය සැපයුවා. ඒ ප්‍රසංගය පැවැත්වූයේ නාමල්ගේ සැත්කම වෙනුවෙනුයි. ඒක ඉතා සාර්ථක ප්‍රසංගයක් වුණා. මුලින්ම ගායක ගායිකාවන් පනස් දෙකයි ප්‍රසංගයට සහභාගි වෙන්න හිටියේ. ඒත්... ප්‍රසංගයේ දී පනස් පස් දෙනෙක් ගීත ගායනා කළා. ඒ ප්‍රසංගය ජීවිතේ කවදාවත් අමතක වෙන්නෙ නැහැ.

මෙහෙම කියන ගමන් අද ප්‍රසංග වේදිකාවේ  රසකතා කියන්න අපිත් එක්ක එකතු වුණේ ලියාරා සංගීත කණ්ඩායමේ නායක ප්‍රසන්න ගුණසේකර.

එළිමහන් ප්‍රසංග වේදිකාවේ අපිට එක එක මිනිස්සු මුණගැහෙනවා. සමහර ප්‍රසංගවලට අපි යන්නෙත් ඒ සංවිධායකවරු දැකලා නොවේ. එයාලා ගැන තියෙන විශ්වාසයත් එක්ක තමයි අපි ඒ ප්‍රසංගවලට යන්නෙ. දැනට අවුරුදු අටකට විතර උඩදි එක්තරා කෙනෙක් අපේ ගෙදර හොයාගෙන ඇවිත් ප්‍රසංගයකට ආරාධනා කළා. ඒක තිබුණේ කුරුණෑගල. මම පොඩි ඇඩ්වාන්ස් එකක් ගත්තා. ඒක ටිකක් ගහලා කරන ප්‍රසංග දෙකක්. අපි පළවැනි ෂෝ එක දෙකයි තිහට කළා. ඒක සාර්ථකව ඉවරවෙලා මම අර සංවිධායකවරයාට කතා කරලා අපේ මුදල් ටික ඉල්ලුවා. හොඳ කළු කෝට් එකකුත් ඇඳගෙන හිටපු මේ මනුස්සයා මම සල්ලි ඉල්ලුවා විතරයි එකපාරටම එතන තිබුණු තාප්පයෙන් පැනලා ඈතට එකපිම්මට දුවලා ගියා. මේක මට හිතාගන්නවත් බෑ. එතනට බෑන්ඩ් එකේ අයත් ආවා. අපිට කරගන්න දෙයක් නැහැ. ටික වෙලාවකින් ටිකක් වැඩිමහල් ගෑනු කෙනෙක් අඬාගෙන දුවගෙන ආවා.
අනේ.. බුදු මහත්තයෝ... මහත්තයාලට සල්ලි දෙන්න විදිහක් නැතිව මගේ කොල්ලා කනේරු ඇට කන්න හදනවා..

බලද්දි මේ සංවිධායකගේ අම්මා. මේ මනුස්සයා ටිකට්වල සල්ලි වියදම් කරගෙන. දැන් ඉතින් අපිට තමයි කනේරු ඇට කන්න වෙන්නෙ. අපිට දැන් කරගන්න දෙයකුත් නෑ. අනිත් ෂෝ එක හවස හයයි තිහට. ප්‍රසංගය තිබ්බේ කුරුණෑගල නගර ශාලාවේ. ඒ සංවිධායකවරයාගේ ගෙදර තිබිලා තියෙන්නෙ මැල්සිරිපුර. හොඳ වෙලාවට ෂෝ එක බලන්න ආපු කෙනෙක් මේ මනුස්සයාගේ ගෙදර දැනගෙන තියෙනවා. එයා මාර්ගයෙන් අපි ගෙදර ගියාට ඒ මනුස්සයා ගෙදරත් නෑ. පැය ගාණක් ගේ ළඟ හිටියට ආවේ නැහැ. කොහොමහරි මැල්සිරිපුර පොලීසියට ගිහින් තමයි මිනිහව හොයාගත්තෙ. විශ්වාසය තියලා සංගීතය දෙන්න ගිහින් අපි එදා ලොකු අමාරුවක වැටුණා.

මේ සිදුවීම වුණේ ඩුබායි ගිය වෙලාවක. අපේ බෑන්ඩ් එකේ එක්කෙනෙක් නාන්න පොඩ්ඩක් හොරයි. හැමවෙලේම කියන්නෙ සීතලයි කියලයි. ඩුබායි ගිය වෙලාවක අපි හිටපු හෝටලේ පූල් එකේ අනිත් කට්ටිය බැහැලා නෑවට මේ මනුස්සයා උඩට වෙලා බලාගෙන හිටියා. කට්ටියම පූල් එකෙන් නාලා උඩට ඇවිත් එකපාරටම අර අපේ යාළුවව පූල් එකට තල්ලු කළා. බැලින්නම් කොල්ලා වැටිලා තියෙන්නෙ පූල් එකේ ගැඹුරුම කොටසටයි. වැඩේ කියන්නෙ මේකට පීනන්නත් බෑ. එකපාරක් යටට ගියා. දියබුං ගැහුවා උඩට ආවා... ආයේ යටට යද්දිම බෑන්ඩ් එකේ දෙන්නෙක් පැනලා පූල් එකෙන් උඩට ගෙනාවා. බැලින්නම් වතුර පෙවිලා. යාළුවට සිහියත් නෑ. අන්තිමට බොහෝම අමාරුවෙන් බේරගත්තා කියමුකො... මේ සිද්ධිය වුණේ හවස තුනට විතර. ෂෝ එක තියෙන්නෙ හවස හයට විතර. ෂෝ එකේ පැය ගාණක් යනකම්ම අපේ යාළුවා ස්ටේජ් එකේ හිටියෙ අන්දුන් කුන්දුන් වෙලා.

පිළියන්දලදි තවත් සිද්ධියක් වුණා. අපි ෂෝ එකකට යන්න කලින් ශබ්ද උපකරණ වේලාසන යවනවනෙ. මේ ෂෝ එකටත් අපි ඒවා වේලාසන පිළියන්දලට යැව්වා. අපිත් එතැනට ගියත් ශබ්ද පරිපාලක ඇවිත් හිටියෙ නෑ. සාමාන්‍යයෙන් අපි යද්දි එයා ඒ දේවල් සකස් කරලා තියන්න ඕනෙ. ඒත්.. ඒ මනුස්සයා නෑ. කෝල් කරලා බලද්දි අපිට පස්සෙ කතා කරපු වැඩකට ගිහින්. එතන අය මෙයාට එන්න දෙන්නෙ නැහැලු. ඒ වෙද්දිත් ඒ ශබ්ද පරිපාලක හිටියෙ මීගමුවේ. ෂෝ එක හතට පටන්ගන්න නිසා කට්ටියත් ඇවිත්. ඒත්.. ඉතින්... මොන ෂෝද? ශබ්ද නැති ෂෝ තියේවිද..? අපේ කණ්ඩායමට කරගන්න දෙයක් නෑ. මම ඇතුළු ලියාරා කණ්ඩායම සංවිධායකවරුන් ගෙන්වලා ඇත්ත සිදුවීම කියලා අපි ගත්තු සියලුම සල්ලි ආයෙත් දෙන්න ලෑස්ති වුණා. ඒ වෙලාවේ මම එක පොරොන්දුවක් වුණා. මෙතන සල්ලි ඔක්කොම තියෙනවා. සත පහක්වත් අඩුපාඩුවක් නෑ. ඔයාලා වෙන දවසක් දාගන්න. අපි නොමිලේ ඇවිත් ඔයාලාට මියුසික් දෙන්නම් කියලා කිව්වා. මේ කසුකුසුව එතන බලන්න ආපු අයට ඇහිලා සමහරු අපේ වාහන කුඩු කරන්න පවා හැදුවා. බොහොම අමාරුවෙන් ඒකත් පාලනය කරලා සංවිධායකවරු දන්න කියන මනුස්සයෙක් ශබ්ද පරිපාලක විදිහට ගෙන්නලා තමයි එදා ෂෝ එක රෑ එකොළහට පටන් ගත්තෙ. එදා ස්ටේජ් එකට තිබ්බේ බොහොම අමාරුවෙන් අටවගත්තු එක ලයිට් එකයි. 

► Text – Jayamali /  Pic – Internet