2017 දෙසැම්බර් 02 වන සෙනසුරාදා

ලෝකයේ හරිම හැඩකාරිය - අවසන් වටයට අපේ කෙල්ලෙකුත්

 2017 දෙසැම්බර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 73

“බොහෝ සේවා ස්ථානවල කාන්තාවන්ට ගෙවන්නේ පිරිමින්ට ගෙවන වැටුප හා සංසන්දනය කිරීමේදී ඉතාම අඩු වැටුපක්. ඔවුන් සමාන රැකියාවක් කරනවා නම්, සමාන පැය ගණනක් වැඩ කරනවා නම් සමාන වැටුපක් ලැබිය යුතුමයි. එසේ නොලැබීම කිසිසේත් සාධාරණ නැහැ... ”

ඉකුත් දා අමෙරිකා එක්සත් ජනපදයේ ලාස්වේගාස් හි පැවැති විශ්ව රූ රැජන තරගයේ අවසන් තරගයේදී මුළු ලොවට ඇසෙන සේ එසේ කියා සිටියේ මෙවර විශ්ව රූ රැජන කිරුළ දිනාගත් දකුණු අප්‍රිකානු රුවැත්තී ඩෙමී ලී නීල් පීටර්ස් ය. ඈ තවමත් විසි දෙහැවිරිදි වියේ පසුවන ළාබාල තරුණියක වුවද ක්ෂණයකින් තම චතුර කථනයෙන් හා සුන්දර රූ සපුවෙන් මුළු ලොවම තමන් වසඟයට ගන්නට සමත්ව සිටින්නීය. 

දකුණු අප්‍රිකාවේ බටහිර කේප් ටවුන්හි පදිංචිකාරිනියක් වන ඩෙමී තම පළමු උපාධිය අවසන් කළේ මෑතකදීය. ඒ ව්‍යාපාර කළමනාකරණ විෂයෙනි. එවන් උපාධියක් හැදෑරුව ද වර්තමාන සමාජය තුළ කාන්තාවන්ට ලැබිය යුතු නිසි තැන ලබාගැනීම වෙනුවෙන් හඬ නැගීම ඇගේ ප්‍රධාන අරමුණක් වී තිබේ. 

එමෙන්ම ඇය කාන්තාවන්ට ආත්මාරක්ෂක සටන් කලාව ප්‍රගුණ කිරීමට දිරිදීම පිළිබඳව ද වැඩි අවධානයක් යොමුකරන්නීය. ඇය ද මේ වනවිට සටන් කලාව ප්‍රගුණ කරමින් සිටින අතර ඒ සඳහා බලපා ඇත්තේ තම මව්රටේදී ඈ මුහුණදුන් අප්‍රසන්න සිදුවීමකි. 

ඇය දකුණු අප්‍රිකානු රූ රැජන වී මාසයක් පමණ ඉක්ම ගිය තැන ජොහැනස්බර්ග් නුවරදී ඇගේ මෝටර් රථය කොල්ල කෑමට ආ පිරිසක් ඇගේ හිසට පිස්තෝලයක් මානාගෙන සිටි බව ඇය පවසන්නීය. එම බියකරු අවස්ථාට මුහුණ දීමත් සමඟ ආත්මාරක්ෂක සටන් කලාව හැදෑරීමේ වැදගත්කම ඇයට අවබෝධ වී තිබේ. 

“ලිංගික අඩන්තේට්ටම් කියන්නේත් ස්ත්‍රී දූෂණයක්ම තමයි. ස්ත්‍රී දූෂණවලින් තොර සමාජයක බිහිකරගැනීම සඳහා කාන්තා පිරිමි භේදයකින් තොරව සියලු දෙනාම පෙරට ආ යුතුයි” ඈ කියන්නීය.  
විශ්ව රූ රැජන තරගාවලියේ මෙවර කිරුළ දකුණු අප්‍රිකාවට හිමිවෙද්දී එහි දෙවැනි සහ තෙවැනි ස්ථාන දිනාගනු ලැබුවේ පිළිවෙලින් කොළොම්බියානු රූ රැජන හා ජැමෙයිකානු රූ රැජන ය. තවද විශ්ව රූ රැජන අවසන් වේදිකාවේ තවත් විශේෂත්වයක් වූයේ එහි හුන් අවසාන තරගකාරිනියන් 16 දෙනා අතරට ශ්‍රී ලාංකික රූ රැජන වන ක්‍රිස්ටිනා පීරිස් ද ඇතුළත් වීම ය. 

මෙවර කිරුළ දිනූ ඩෙමී හට එක් වසරක වැටුපත්, නිව්යෝර්ක් නුවර අධි සුඛෝපභෝගී නිවාස ඒකකයක් ඇතුළු දීමනා රැසකුත් හිමිවනු ඇත. 

 

► Text — Rajitha