2017 නොවැම්බර් 18 වන සෙනසුරාදා

චූටි දූත් එක්ක සෙල්ලම් කරන්න හරි ආසයි

 2017 නොවැම්බර් 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 268

මාධව... මොකද වෙන්නෙ මේ දවස්වල..?
මේ දවස්වල මම ටීවී දෙරණේ නිවේදන කටයුතු කරගෙන යනවා. ඒකෙ මම දෙරණ චැම්පියන් ස්ටාර්ස් වැඩසටහන නිවේදනය කරනවා. ඊට අමතරව ලිට්ල් ස්ටාර්ස් වැඩසටහන කරගෙන යනවා. ඊට අමතරව නාලන් මෙන්ඩිස් මහත්මයාගේ සල් සපු නා ටෙලිනාට්‍යයෙත් සඳ පිනි වැස්ස අලුත්ම ටෙලිනාට්‍යයෙත් ගිහාන් රෝහණ මහත්මයාගේ තව අලුත් නාට්‍යයකත් රූගත කිරීම්වලට සහභාගි වෙනවා.

වෙලාවකට නිවේදකයෙක්. තවත් වෙලාවකට රංගන ශිල්පියෙක්. මේ දෙකෙන් මාධව වැඩියෙන්ම කැමති කාටද..?
ඒකට මෙන්න මෙච්චරක් කැමතියි කියලා මට හරියටම ප්‍රතිශතයක් කියන්න බැහැ. හැබැයි ඒ දෙකටම මම ආදරේ කරනවා. ඒ දෙකම එකිනෙකට වෙනස් වෘත්තීන් දෙකක්. ඉතින් මම ඒ දෙකටම සම දායකත්වය දීලා වැඩ කරනවා. යම් කෙනෙකුට හිතන්න පුළුවන් නිවේදන කාර්යය කියන්නෙ හරිම පහසු කටයුත්තක් කියලා. හැබැයි ඒක බලාගෙන ඉඳිද්දි පහසු දෙයක් වුණාට ඒක කරන්න ගියාම තමයි ඒකෙ වගකීම් හා බැරෑරුම්කම තේරෙන්නෙ. තමන් කතා කරන දේ පිළිබඳව වගකීම ගත යුත්තේ තමන්මයි. ඒ වගේම තමයි රංගනයත්. අපි වැඩ කරන කාලසීමාව පිළිබඳව ප්‍රමාණවත් බවක් නෑ. ඉතින්.. ඒ කොහොම වුණත් ඒ දෙකම සතුටින් ආදරෙන් සමබරව මම කරගෙන යනවා.

ඔය මාධව කියන කාර්යබහුලකමත් එක්ක විවේකය ලැබුණාම මාධව මොකද කරන්නෙ..?
ඇත්තම කියන්නද... දැන්නම් විවේකයක් ලැබිච්ච ගමන් පුළුවන් තරම් ගෙදර ඉන්න තමයි බලන්නෙ. ගෙදර අයත් එක්ක ඉන්න තමයි මම ඒ වෙලාවට බලන්නෙ. පහුගිය දවස් ටිකේ ගෙවල් පැත්තෙ මොකද වුණේ කියලා දන්නෙ නැති කාලයක් තිබුණා. හැමදාම පාන්දර ගෙදරින් යනවා. ආයෙ මහ රෑ ගෙදරට එනවා. ඉතින් විවේක වෙලාවට ගෙදර ඉන්න ආසයි. මගේ අයියට චූටි දුවෙක් ඉන්නවා. ඉතින් ඒ චූටි දූත් එක්ක සෙල්ලම් කරන්න ආසයි. ටික වෙලාවක් වැඩිපුර නිදාගන්නවා. ඊට අමතරව යාළුවෝ එක්කත් ඒ වෙලාවට ගමන් බිමන් යනවා.

යාළුවෝ කිව්වේ ඉස්කෝලෙ යාළුවොද..?
දෙගොල්ලොම ඉන්නවා. ගොඩාක් වෙලාවට ක්ෂේත්‍රයේ යාළුවන්ට වඩා වැඩිපුර ඉන්නෙ චූටි කාලෙ ඉඳන් ඉන්න ඉස්කෝලෙ යාළුවො තමයි. හැබැයි එහෙමයි කියලා යාළුවෝ ගොඩක් නම් නෑ. මම ඉස්කෝලවල් තුනකට ගියා. මුලින්ම මහරගම ධර්මාශෝක විද්‍යාලයට ගියා. ඊටපස්සෙ මහරගම මධ්‍ය මහා විද්‍යාලයටත් කොළඹ ලුම්බිණි විද්‍යාලයටත් ඇතුළත් වෙලා මම ඉගෙනගත්තා.

පාසලේදි මාධව මොනවගේ චරිතයක්ද..?
ඉස්කෝලෙ යන කාලේ ඉඳන්ම මම ඕනෑම දේකට ටිකක් ඉදිරිපත් වෙනවා. මහරගම ධර්මාශෝක විද්‍යාලයේදි මම හිතන විදිහට මම තමයි ලාබාලතම නිවේදකයා වුණේ. මම ඉස්කෝලෙ තුන වසරේ ඉඳිද්දිම නිවේදනය කරනවා. ඒ වගේම මම සංගීතයටත් නැඹුරුයි. සංගීතයත් ඉගෙනගත්තා. මම නුගේගොඩ කලාභූමි ආයතනයෙන් ගායනය විෂයක් විදිහට හැදෑරුවා. ඊට අමතරව තබ්ලා වාදනය විෂයක් හැටියට හැදෑරුවා. ඉතින් ඉස්සර ඉස්කෝලෙදි කලා කටයුතු මොකක්හරි තිබ්බොත් අනිවාර්යයෙන්ම නිවේදනය පැත්තෙන් මම ඉදිරියෙන් ඉන්නවාම තමයි.

ඉස්කෝලෙදි සංගීතය හදාරපු මාධව අතින් සංගීතය අද වෙද්දි ගිලිහිලා ගිහින් නේද..?
ඔව්. ඒක ඇත්ත. මම ගායනය විශාරද දක්වා ඉගෙනගත්තා. ඒත්.. එතනින් එහාට මට ඒ ගැන ඉගෙනගන්න වෙලාව මදි වුණා. ඒක එහෙම්මම මගෙන් මඟහැරිලා ගියා. හැබැයි යාළුවෝ කට්ටිය එකතු වුණාම මම සින්දු කියලා තබ්ලාව එහෙම වාදනය කරනවා. ඒත්.. ඒ පිළිබඳව වැඩිදුර ඉගෙනගන්න නම් බැරි වුණා.

හැබැයි ඉතින් වැඩසටහනත් එක්ක මනෝජ් පේෂල වගේ තබ්ලාවට හොඳ වැඩකාරයෝ දෙන්නෙක් නම් නිතර නිතර මාධවට මුණගැහෙනවා..? 
ඔව්... ඒක නම් ඇත්ත. මනෝජ් අයියයි පේෂල අයියයි ලංකාවේ ඉන්න ප්‍රවීණයෝ දෙන්නෙක්. හැබැයි ඉතින් ඒ දෙන්නගෙන් වෙන වෙන දේවල් තමයි ඉගෙනගන්න දැන් ලැබෙන්නෙ. ඇත්තටම ඒ දෙන්නා විෂයක් හැටියට ගත්තම ලංකාවේ දැවැන්තයෝ දෙන්නා. නමුත් අපිට ඒ දෙන්නව හම්බවුණාම ශාස්ත්‍රයක් විදිහට ඒ දේවල් හදාරන්න අමාරුයි. ඉස්කෝලෙදි වයලින් වාදනයත් මම කළා. හැබැයි අවුරුදු දහයක ඉඳන් මට ඒ හැමදෙයක්ම අතහැරිලා තියෙන්නෙ. වෘත්තියක් විදිහට නොවුණත් විනෝදයක් විදිහට ඒ දේවල් කරද්දි හිතට සැහැල්ලුවක් අද දැනෙනවා.

පේෂල, සචිනි, මාධව තුන්කට්ටුව අද බොහෝදෙනා දන්නවා. මොකද හිතෙන්නෙ..?
ගොඩාක් සතුටුයි. අපි අපිට හරි එකමුතුයි. හරිම සහෝදරත්වයෙන් වැඩ කරගෙන යනවා. හැබැයි සමහර වෙලාවට අපි රණ්ඩුත් වෙනවා. හැබැයි ඒවා අපි කාගෙවත් හිත්වල නෑ. අපි බොහොම සහයෝගයෙන් වැඩ කරනවා. අපි හැමවෙලේම අලුත් දෙයක් කරන්න උත්සාහ ගන්නවා. අපේ වැඩසටහන මේ තරම් ජනප්‍රිය වෙන්න අපේ සහෝදරත්ව බැඳීමත් බලපානවා. ඒ විතරක් නෙමේ, මේ හැමකෙනෙක්ගෙම මහන්සියේ ප්‍රතිඵල තමයි මේ.

මාධව සිනමා නිර්මාණවලට දක්වපු දායකත්වය කොහොමද..?
මම මුලින්ම මේ ක්ෂේත්‍රයට එන්නෙ මට අවුරුදු පහේදි. ඒ අශෝක හඳගම මහත්මයාගේ චන්දකින්දරී කියන නාට්‍ය හරහායි. එතකොට මම බොහොම පොඩි කෙනෙක්. ස්වර්ණා මල්ලවආරච්චි මහත්මියගේ පුතා විදිහට තමයි මම රඟපෑවේ. පසුකාලයේදි චිත්‍රපටයකට කියලා මම සම්බන්ධ වුණේ අනගාරික ධර්මපාල මහතා අලලා නිර්මාණය වුණ චිත්‍රපටයට පමණයි.

පුංචිතිරයේ පෙම්වතෙක් වුණ මාධවගේ සැබෑ ප්‍රේමය ගැනත් කියමු නේද..?
ඒකට මම මෙහෙම කියන්නම්. මේ වෙනකොට නම් පෙම්වතෙක් නෙමේ. පෙම්වතෙක් වුණ දවසට අපි ඒක කියමු නේද.. (මාධව එහෙම කිව්වම මූණේ ඇඳිච්ච හිනාව කිව්වෙ නම් වෙන දෙයක්. කමක් නෑ... ඔයාලත් මාධව කියපු දේම විශ්වාස කරන්නකො)

Text -Jayamali / Pic-Sumudu