2017 නොවැම්බර් 18 වන සෙනසුරාදා

මේක උඹේ කටහඬින් කියලා මට ඉක්මනට වයිබර් කරලා එවපන්..

 2017 නොවැම්බර් 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 749

උඹ වෙන කෙනෙක්ව දාලා වීඩියෝ එකක් කරපන්.. හැබැයි මේ ​​සින්දුවේ වීඩියෝ එකට ඉන්නෙ නම් මම

මගේ මරණ මංචකයේ
මා නෙතු පියවන්නට පෙර
එක මොහොතක් මගේ ළඟින්
ඇවිත් හිඳින්න
මට ඒ ඇති තව තත්ත්පරයක්
ජීවත් වෙන්න..

දෙනෝදහක් එන අතරේ
වෙන් වී යන විරාමයේ
ළඟ හිඳ මගේ හිස අතගා
කතා කරන්න
එකම එක වරක්වත් ආදරෙයි කියන්න..

ඔබේ සුවඳ පවනක් වී
මගේ ළඟ ඔබ සැතපෙන සඳ
ඔය දෑසින් වැටෙන කඳුළු
පිසදාලන්න
මට ඒ ඇති තව තත්ත්පරයක්
ජීවත් වෙන්න..

සංගීත්... මගේ මරණ මංචකය පටන් ගන්නෙ කොයි කාලෙදිද...?
මම කාලයක් විදෙස්ගතවෙලයි හිටියෙ. ඔය ඉන්න කාලේ ඉඳන්ම මට සංගීතය පිළිබඳව ලොකු ආසාවක් තිබුණා. මගේ සංගීත ගුරුතුමා තමයි විශාරද සනත් නන්දසිරි මහත්මයා. සර් යටතේ මම කාලයක් සංගීතය හැදෑරුවා. ඉතින් විදෙස්ගත වුණත් මට සංගීතයට තිබුණ ආසාව ඇල්ම අඩු වුණේ නෑ. මට ඕනවුණේ හොඳ ගීතයක් කරන්නයි. ඉතින් මම මේ අවුරුද්දේ ලංකාවට ආවා. ඒ ආවම මම තරු අරා සිටින රෑ කියන ගීතය කළා. ඒකෙ වීඩියෝ එක කරන්න තමයි අපි දසුන්ට කතා කළේ.

දසුන්ව තෝරාගන්නෙ සංගීත්ද..?
මෙහෙමයි. දසුන්ව තෝරාගන්නෙ වරුණ අමරසිංහ. එයා තමයි වීඩියෝ එක කරන්න හිටියෙ. ඉතින් දසුන් ගැන මට වරුණ අයියා කිව්වාම අපි දවසක් මුණගැසුණා. දසුන් නඳුන් අයියා (නඳුන් රත්නායක) එක්කත් බොහොම හිතවත්. ඉතින් අපි දවස් කීපයක් මුණගැහුණා.

දසුන් මොනවගේ කෙනෙක්ද..?
දසුන් කියන්නෙ ඇත්තටම හොඳ යාළුවෙක්. මම ඔහුට කිව්වෙත් දස්සා කියලා. ඉක්මනට එයා මිත්‍රශීලී වෙනවා. මම දස්සාව ආශ්‍රය කරන්න අරගෙන ගොඩාක් කාලයක් නෑ. හැබැයි හරිම සංවේදී චරිතයක්. සමහර වෙලාවට ෂෝ එකකට එන්න කියලා ඒක අතරමඟදී නැති වුණොත් අයියෝ මචං... ඇයි එහෙම කරන්නෙ.. කියලා දස්සා ගොඩාක් දුක් වෙනවා. ඉක්මනට සංවේදී වෙනවා. හරිම අහිංසක චරිතයක්. හැමවෙලේම හිනාවෙලා ඉන්නවා. ඒත් අපි දැනගෙන හිටියෙ නෑ, ඒ හිනාවෙලා හිටපු දස්සාගේ හිත ඇතුළෙ ලොකු ප්‍රශ්නයක් තිබුණා කියලා.

ඒක පොඩ්ඩක්වත් දස්සා සංගීත්ට හරි නඳුන්ට හරි කියලා තිබුණේ නැද්ද..?
නෑ.. එහෙම කියලා තිබුණේ නෑ. හැබැයි ශලනි හොඳ යාළුවෙක් කියලා තමයි දස්සා අපිට කියලා තිබුණේ. අපිත් එක්ක ඉඳිද්දි එයා කෝල් කරනවා. මැසේජ් කරනවා. හැබැයි ඒ දෙන්නගේ ආදර කතාවක් ගැන ඉඟියකින්වත් දස්සා අපිට කියලා තිබුණේ නෑ. අපි ඒ දේවල් අහන්නෙත් නෑ. ඒ වෙනකොට එයාලා ටෙලිනාට්‍ය කීපයකම රඟපාලා තිබුණ නිසා අපි ඒ ගැන දැනගෙන හිටියේ නෑ... ඒ නිසා ඒ කතාවල ඇත්ත නැත්ත අපි දන්නෙ නෑ.

දසුන් කැමති වුණාද සංගීත්ගෙ සින්දුවේ වීඩියෝ එකට සම්බන්ධ වෙන්න..?
ඔව්.. ඔව්.. දසුන් ඒකට හරිම ආසාවෙන් හිටියෙ. ඒ ගැන කතා කරන්න මැයි මාසෙදි නඳුන් අයියයි, වරුණ අයියයි, දස්සයි කීපවතාවක්ම මුණගැහුණා. මගේ සින්දුවටත් දස්සා ගොඩාක් කැමති වුණා. ඇත්තම කිව්වොත් මගේ කටහඬ ගැනත් දස්සා කැමැත්තෙන් හිටියා.

එතකොට ඒ නිසාද දස්සා සංගීත්ට තවත් ගීතයකට පාර පෙන්නලා දුන්නෙ..?
ඒ ගැන ඇහුවම සංගීත් ෙකාඩිතුවක්කු ටිකක් නිහඬ වුණා. ඒ නිසාම නඳුන් රත්නායක ඒ අතීතය මතක් කළේ මේ විදිහටයි.
ඔව්.. දසුන් සංගීත්ගෙ කටහඬ හරියට අගේ කළා. මාරයිනෙ මචං... මගේ සින්දුවත් උඹම කරපන්කො කියලා දසුන් මගේ මරණ මංචකයේ කියන මුල්පද ටික හරි අපූරැවට මිමිණුවා. මම තමයි දසුන් ඉස්සරහදි කිව්වේ දැන් ඊළඟ සංගීත්ගෙ සින්දුවත් කරන්න ඕනෙ කියලා. කෙල්ලෙක් නිසා කොල්ලෙක් නැතිවුණාට පස්සෙ කෙල්ල මරණය බලන්න එනවනම් කොහොමද තත්ත්වේ අයියෙ.. අනිත් එක කෙල්ලෙක් හරියට හිටියනම්, ආදරෙන් හිටියනම් ඒ කොල්ලා තත්ත්පරයක් හරි ජීවත් වෙනවා.. මැරෙන්නෙ නෑ අයියෙ කියලා දසුන් එදා කිව්වා. එදා එතනදිම මම දස්සාගේ ඒ වචන ටික තෝරලා බේරලා ගත්තා. අරගෙන මම ඒක ගීතමය විදිහට කළා.

සමහරු කිව්වා සංගීත් මේ ගීතය ජනප්‍රිය කරගන්න දසුන් මැරුණට පස්සෙ කළා කියලා..?
නෑ.. ඇත්තටම ඒ කතාව බොරුවක්. මම මේ ගීතය කරලා Coming soon කියලා පොඩි වීඩියෝ එකක් අන්තර්ජාලයට දැම්මේ සැප්තැම්බර් මාසෙ හතර වැනිදා. දසුන් ඒ වෙද්දිත් ජීවතුන් අතර. ඉතින්.. කොහොමද අපි මේක අපේ ජනප්‍රියත්වය වෙනුවෙන් කළා කියන්නෙ. අපිට දසුන්ව විකුණගෙන කන්න ඕනවුණේ නෑ. ඒ වගේ පව්කාරකමක් අපි කවදාවත් කරන්නෙ නෑ.. දස්සා හරිම ආසාවෙන් හිටියෙ මේ ගීතයට. ඒත්.. අද ඔහුගෙ ගීතය බලන්න ඔහු ජීවතුන් අතරේ නෑ. අපිටත් ෂොක් එක තියෙන්නෙ දසුන් මේ වචන ටික කියලා එයා මේ වගේ දෙයක් කරගත්තෙ ඇයි කියලයි.

මගේ මරණ මංචකයේ දසුන් ඇහුවද..?
එයාට මගේ කටහඬින් ඒ ගීතය අහන්න ලැබුණේ නෑ. ඒ ගැන ඇත්තටම මට දුකයි. නඳුන් අයියා ඔය ගීතය අහලා නඳුන් අයියගේ කටහඬින් කී බෝඩ් එකත් එක්ක කියනවා දසුන් අහලා තිබුණා.
ඒ ගැන නඳුන් කිව්වේ මේ විදිහටයි.

ඔව්.. මම ඔය සින්දුව හදලා කී බෝඩ් එකේ ප්ලේ කරද්දි ඒක රෙකෝඩ් කරලා දසුන්ට අහන්න සැලැස්සුවා. එදා දසුන් වාහනයක ඉඳගෙන තමයි ඒක ඇහුවේ. ඒක අහලා ආ.. අයියෙ මරු.. මේක සංගීත්ගෙ කටහඬින් කියද්දි මරුවට තියේවි කියලා දසුන් එදා කිව්වා. දසුන් සංගීත්ගෙ කටහඬට ගොඩාක් ආසා කළා. එදා සින්දුවේ පදවැල් ටික බොක්කෙන්ම කියලා ගීතය අහද්දි දසුන් හිටියෙ හරිම දුකෙන්. අපි දන්නෙ නෑ, ඇයි ඒ කියලා. දසුන් එදා සංගීත්ට කිව්වේ මේක උඹේ කටහඬින් කියලා මට ඉක්මනට වයිබර් කරලා එවපන්.. කියලයි. දසුන් අපිට ඉල්ලීමක් කළා. සංගීත්... මේ උඹේ පළවැනි සින්දුව. ඕනනම් උඹ වෙන කෙනෙක්ව දාලා වීඩියෝ එකක් කරපන්.. හැබැයි මේ ​සින්දුවේ වීඩියෝ එකට ඉන්නෙ නම් මම කියලයි.

අද වෙනකොට සංගීත්ට ප්‍රසංගවලට ආරාධනා ලැබිලා කියලයි ආරංචිය..?
ඔව්.. මට ප්‍රසංග කීපයකට ආරාධනා ලැබුණා. යුරෝපා රටවල්වලින් ප්‍රසංග කිහිපයකට කතා කළා. ඒ ප්‍රසංගවලට මම ගිහින් මුල් පේළිය කියවද්දිම කට්ටියම ඉතිරි ගීතයම මාත් එක්කම කියනවා. ඔස්ට්‍රේලියාවේ ඉන්න ගෑනු ළමයෙක් හැමදාම මේ සින්දුව උදේට අහලා උදේට අඬනවලු. ඒ ඇහුවට පස්සෙ එයාගේ දවස හරි ප්‍රබෝධමත් කියලා මට කියනවා.

මේ ගීතයෙන් පස්සෙ දසුන්ගේ පවුලේ අය, ශලනි, මේ ගැන කතා කළාද..?
නෑ.. එහෙම කතා කළේනම් නෑ. හැබැයි සංගීත් මේ ගීතය ගැන එයාගේ ළඟම යාළුවන්ට කියලා තිබුණා, මෙහෙම ලස්සන සින්දුවක් එන්න ළඟයි කියලා. ඒ බව අපි දැනගත්තෙ දසුන්ගේ මළගෙදර දවසේ.

සංගීත්ගෙ ඊළඟ ගීතයත් මරණය ගැන කියවෙන ගීතයක් නේද..?
ඔව්.. ඒක ලිව්වේ කල්ප නිශාන් පෙරේරා. කල්ප මගේ හොඳම හොඳ යාළුවෙක්. හරිම හොඳ කොල්ලෙක්. ඒත්.. හදිසි අනතුරකින් කල්ප ජීවිතෙන් සමුගත්තා. ඒත් කල්ප ලියපු හීන තාමත් මා ළඟ තියෙනවා. ඉතින්... ඒ සන්තානේ අලුත් පිටුවක් මකා කියන ගීතයත් ඉදිරියේදී අහන්නට ලැබේවි. මට ඕනෙ ආදර ගීත, මහ හයියෙන් ගායනා කරන ගීතවලට වඩා වෙනස් විදිහේ ගීත නිර්මාණය කරන්නයි. ඒ වගේම නඳුන් අයියගේ තවත් අපූරු ගීතයක්ද ඉදිරියේදි එන්නට තියෙනවා. අද අපි අතරේ නැතත් දසුන්ගේ හිතේ ඇඳුණ ගීතය දසුන් කොහේහරි තැනක ඉඳලා අහගෙන ඉන්නවා ඇති...
 

► Text -Dishani / Pic- Sumudu-Internet