2017 නොවැම්බර් 18 වන සෙනසුරාදා

වයිෆ්ට රහට උයලා දෙන තනියම උයාගෙන කන තේ හදාගෙන බොන බයිට් හදන නළුවන් කියන කතා

 2017 නොවැම්බර් 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 297

සමහරු හිතන්නේ තේ හදන්න, උයන්න පුළුවන් ගැහැනු අයට විතරයි කියලනේ. ගෙදරක පිරිමි කෙනෙක් උයනවා කියන්නේ ටිකක් වෙනස් වගේද...? ඒත්... ඉතින්... ලෝකයේ ප්‍රධාන පෙළේ හෝටල්වල වැඩිපුරම ඉන්නේ කෝකිවරුන්. ලංකාවෙත් එහෙමයිනේ. ඒත්... අපේ කලාකරුවන්ට තේ හදන්න... උයන්න... එහෙම පුළුවන්ද? අපි අහලා බැලුවා... ඔයාලා කියවලා බලන්නකෝ....

උයනවා.. වෙලාවකට කටේ තියන්න බෑ....

කාවිංග පෙරේරා

මොකද මට තේ හදන්න බැරි...? මට හරි රසට තේ හදන්න පුළුවන්. ඒ විතරක් නෙමේ. මට හොඳට ෂේප් එකේ උයන්නත් පුළුවන්. හැබැයි ඉතින් හදන කෑම අනිත් අයට කන්න පුළුවන්ද කියලා නම් දන්නේ නෑ. මට නම් කන්න පුළුවන්. සමහරදාට එහෙම හදන කෑම ෂේප් එකේ ඇස් දෙක පියාගෙන මම හදපු නැති විදිහට මම කනවා. ඇයි...? ඉතින්... මට සමහරදාට කන්න නැහැනේ. හැබැයි ඉතින් වැඩේ කියන්නේ එහෙම හදන්නවත් වෙලාවක් නැහැ. ගොඩාක් වෙලාවට කඩේකින් කනවා. එහෙම නැත්නම් ලොකේෂන් එකකින් තමයි කන්න වෙන්නේ. මොනව නැතත් මම හදන කෑම මට නම් කන්න පුළුවන්.

 

මම හදන ඔම්ලට් එක මාරම මාරයි

රොමේෂ් සුගතපාල

අනිවාර්යයෙන්ම මට කෑම හරි රහට හදන්න පුළුවන්. මම හරි රසට ඔම්ලට් එකක් හදනවා. ඒක මාරම මාර රසයි. එතකොට මම හරි රසට ඔය එක එක වර්ගයේ බැදුම් වර්ග හදනවා. ඒවත් මරු... මගේ වයිෆ් මගේ යාළුවෝ එහෙමත් කියනවා ඒවා හරි රහයි කියලා. ෂේප් එකේ හරි රහට තේ එකක් වුණත් මට හදාගන්න පුළුවන්. සමහරදාට නම් හදන කෑමවල රස වෙනස් වෙනවා. සමහර කෑමත් පොඩ්ඩක් වෙනස් වෙනවා. ඒත්... ඉතින් ගාණක් නෑ. අලුත් නමක් දාලා මම ඒක අලුත් කෑමකට හඳුන්වලා දෙනවා. එතකොට ගාණක් නැහැනේ. එතකොට කට්ටිය කන්නේ මම හදපු අලුත් කෑමක්.

 

මට නියමෙට බයිට් හදන්න පුළුවන්

මහේන්ද්‍ර පෙරේරා

මට හරි රසට කෑම හදන්න පුළුවන්. ඒක ඉතින් මගේ කෑම කාපු අය හොඳට දන්නවා. හැබැයි මම වැඩිපුරම හදන්න දන්නේ නම් බයිට් තමයි. ඔය කුකුල් මස්වලින් හදන එක එක සිම්පල් බයිට් මම හරි රසට හදනවා. හැබැයි ඉතින් මගේ වයිෆ් තරම් රසට නම් හදන්න මට තේරෙන්නේ නෑ. කොහොමටත් එයා හදන හැම කෑමකටම මම හරි ආසයි. ඉතින් ගෙදර හිටියොත් වෙලාවක් තිබ්බොත් එයාට උයන්නත් උදව් වෙනවා. අපි දෙන්නා එකතු වෙලා කෑම හදන වෙලාවලුත් තියෙනවා. තේ වුණත් මට හරි රහට හදන්න පුළුවන්. ඒනිසා තේ හදන උයන එක මට ප්‍රශ්නයක් නෙමේ. මොනව නැතත් අඩුම ගානේ බයිට් හදලා හරි මම කනවා.

 

වයිෆ්ට ලූණු සුද්ද කරලා පොල් ගාලා දෙනවා

රොෂාන් රණවන

ඔව්... මට තේ හදන්න පුළුවන්. හැබැයි හදන තේ එක රසද කියල නම් මම දන්නේ නෑ. කොහොම හරි මම තේ හදනවා. කුෂ්ලානි ගෙදර නැති දවස්වලට කුෂ්ලානිගේ අම්මා තමයි මගේ තේඑක හදලා දෙන්නේ. ඒ නිසා එහෙම ගෙදර තේ හදාගන්න මට අවස්ථාව ලැබෙනවා අඩුයි. කෑම වුණත් කුෂ්ලානි හරි අම්මා හරි තමයි හදන්නේ. හැබැයි මට උදව් වෙන්නනම් පුළුවන්. සමහරදාට මම ඔය ලූණු සුද්ද කරලා දෙනවා. පොල් ටිකක් ගාලා දෙනවා. ඒත්... ඉතින් කුෂ්ලානි නම් කියන්නේ “පැත්තකට වෙලා ඉන්න අපි උයන්නම් කියලා. ඉතින් ඒ වගේ වෙලාවට එයාලා කෑම හදනකම් කුස්සියට වෙලා ළඟින් වාඩිවෙලා හරි මම ඉන්නවා. ඒ නිසා කෑම මට හදන්න ලැබෙන දවස්නම් හරිම හරි අඩුයි.

 

මගේ තේ එකට එළු මස් කරියට චතුරිකා මාර ආසයි

ගයාන් වික්‍රමතිලක

මට නම් එහෙම කෑම බීම හොඳට හදන්න පුළුවන්. තේ වුණත් හරි රහට මම හදනවා. චතුරිකා වුණත් හරි කැමතියි මම හදන තේ එකට. සමහර වෙලාවට අපේ ගෙදරට චතුරිකාගේ ගෙදර කට්ටිය ආවොත් එහෙම නැත්නම් මගේ පවුලේ කට්ටිය ආවොත් මම තමයි ඒ අයට තේ හදලා දෙන්නේ. කී දෙනෙක් ආවත් මට පුළුවන් රහට තේ හදන්න. එතකොට මට හරි රසට කෑම හදන්නත් පුළුවන්. ඒ අතරින් මම හදන එළු මස් කරියට චතුරිකා මාරම මාර විදිහට ආසයි. ඉස්සර කෑම හදන්න යද්දී වැරදුණු තැන් තිබුණා. ඒත්... දැන් එහෙම නෑ.

 

කන්න ගියාම හාෙරේ මාට්ටු

විශ්ව කොඩිකාර

එහෙමයි කියලා මට රහටම කෑම හදන්න බෑ. හැබැයි මගේ අම්මටයි මගේ වයිෆ්ටයි නම් හරි රසට කෑම හදන්න පුළුවන්. සමහර අලුත් අලුත් කෑම මගේ වයිෆ් ඔය පොත්පත්වලින් ඉන්ටර්නෙට් එකෙන් එහෙම බලලා හදනවා. ඒ කෑම ඉතින් රසයි වෙනස්. සමහරදාට මම වැඩකට එළියට ගිහින් එද්දී එයා කෝල් කරලා කියනවා. “කොහෙන්වත් කන්න එපා ගෙදර එන්න කියලා... ඉතින් එහෙම කියන සමහර දවස්වලට නම් මම අමතකවෙලා මගින් කාලා යන දවසුත් තිබුණා. ඉතින් ඔන්න ගෙදර ගියා කියමුකෝ... දැන් එයා කෑම එක දීලා මම කනකන් බලාගෙන ඉන්නවා. කෑම රහයි. හැබැයි ඉතින් බඩේ ඉඩ නැතිවුණාම කන්නේ කොහොමද...? ඉතින්... හොරේ අහුවෙනවා... ඒවගේ තමයි ඉතින්... ඉතින් මට එහෙම රහටනම් කෑම හදන්න බෑ... බොරු කියන්න ඕනේ නැහැනේ. හැබැයි මට රහ තේරෙනවා. සමහරදාට වයිෆ් කෑම හදද්දී මට එයාට උදව් කරනවා. හැබැයි ඉතින් ඒ කෑමනම් රහ වෙන්නේ මම උදව් කරපු එක නිසා තමයි. 

 

අතට අහුවෙන අහුවෙන දෙයක් දාලා ෂේප් එකේ උයනවා

අකිල ධනුද්දර

මම හිතනවා මට එහෙම ෂේප් එකේ උයන්න පුළුවන් කියලා. ඔය අතට අහුවෙන අහුවෙන දෙයක් දාලා මම ෂේප් එකේ එහෙම කෑම ටිකක් හදනවා. හැබැයි වැඩේ කියන්නේ අපේ අම්මට හරි රසට කෑම හදන්න පුළුවන්. ඉතින් අම්මා හදන කෑම නොකන මම හදන අර රහක් නැති කෑම කනඑක එච්චර තේරුමක් නැහැනේ. ඒ නිසා අම්මා තමයි අපේ කෑම හදන්නේ. ඉතින්... ඒකට හොඳ කෑම හදන්නෙත් අම්මා තමයි. ඒ නිසා මම හදන කෑම කාලා මොකටද නිකම් ලෙඩ වෙන්නේ නේද...? තේ එකක් වුණත් මට තනියම හදාගන්න පුළුවන්. හැබැයි ගෙදරදී එහෙම තනියම තේ එකක් හදාගන්න නම් අවස්ථාව ලැබනෙවා හරිම අඩුයි.

 

බඩගින්නක් ආව ගමන් මම හදනවා  නියම නූඩ්ල්ස් එකක් 

ගයාන් ගුණවර්ධන

තේ හදන්න නම් මට හොඳට පුළුවන්. මම හදන තේ එක මාරම මාර රසයි. අම්මයි තාත්තයි දෙන්නම කියනවා, මම හදන තේ එක රසයි කියලා. කෑම හදන්නත් ෂේප් එකේ පුළුවන්. හැබැයි ඉතින් මම හොඳ කුක් කෙනෙක් නම් නෙමේ. ෂේප් එකේ ඔය නූඩ්ල්ස් ටිකක්, අල කරියක් වගේ දෙයක් නම් හදාගන්න පුළුවන්. සමහරදාට අම්මා ගෙදර නැති වෙලාවක බඩගින්නක් හැදුණොත් මම ඔය ගෙදර තියෙන එළවළු ටික කපලා දාලා නූඩ්ල්ස් එකක් එහෙම හදාගන්නවා. හැබැයි සමහරදාට නම් බඩු අපතේ යනවනම් වැඩියි. ඒත්... මම හදන කෑම අනිත් අයට කෙසේවෙතත් මට නම් හරිම හරි රසයි.

► Text -Dishani / Pic-Sumudu/ Internet