2017 නොවැම්බර් 18 වන සෙනසුරාදා

අනේ මහත්තයෝ සතයක්වත් එපා.. ඕක ඇන්ද එකම ලොකු සතුටක්..

 2017 නොවැම්බර් 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 248


සිබිල් නැන්දෙ... අපි මුලින්ම ගිංතොට ගමෙන් මේ කතාව පටන්ගමුද..?
මගේ අම්මා තමයි මගේ සීයගේ ලොකු දුව. ඉස්සර දරුවන් ඉපදෙනකොට අම්මා තාත්තාගේ ගෙවල්වලට යනවනෙ... ඉතින් මගේ අම්මත් සීයලා ළඟට ගිහින් තිබුණා. මට අවුරුදු හයක් වැඩිමහල් අක්කා කෙනෙක් ඉන්නවා. අපේ ගෙවල් තිබුණෙ ගිංතොට කියන ගමේ. සීයලා හිටියෙ පානදුරේ. ඉස්සර දැන් කාලෙ වගේ සීසර් කරලා දරුවන් ගන්නෙ නැහැනෙ. ඒ කාලෙ අඬු දාලා තමයි දරුවෝ ගන්නෙ. අම්මට මම ඉපදෙද්දි දවස් විසිඑකක් අමාරුව තිබිලා. හැබැයි සීයා අම්මව ඉස්පිරිතාලේ ගෙනියන්න ඉඩදීලා නෑ. සීයා අම්මාට හරි ආදරෙයි. පවුලේ එකම දරුවනෙ... ඉතින් හැම පහසුකමක්ම සීයා ගෙදර ලෑස්ති කරලා දොස්තරවරු ගෙදරට ගෙන්නලා තියෙනවා.

ඒ කියන්නෙ සිබිල් නැන්දා ඉපදුණේ ගෙදර..?
ඔව්... අම්මාට ගොඩාක් අමාරුවෙලා දොස්තර මහත්තයා අඬු දාලා තමයි මාව අරගෙන තියෙන්නෙ. ඒ වෙලාවේ සීයාට ගොඩාක් වේදනාකාරීයි. මම ගැන දුකක් සීයාට නෑ. හැබැයි සීයාට මගේ අම්මා වේදනාවෙන් කෑගහනවා අහගෙන ඉන්න බැරිවෙලා. මාව දොස්තර අඬු දාලා ගනිද්දි තනිකර ලේ කුට්ටියක්ලු. ඒ හැමෝම හිතලා තියෙන්නෙ මම මැරිච්ච දරුවෙක් කියලලු. ඉතින් දොස්තර මම ගැන බලන්නෙ නැතිව අම්මට සාත්තු කරලා ටික වෙලාවකින් මාව අරගෙන කකුල් දෙකින් අල්ලලා පිටට තට්ටු කරලා තියෙනවා. ඒ වෙලාවේ මම එකපාරටම කෑගහලා අඬලා තියෙනවා. ඒ වෙලාවේ දොස්තර මහත්තයා ඉක්මනට මාව සුද්ධ කරලා රෙදි කෑල්ලක ඔතලා අම්මා ළඟින් තියලා.

හැබැයි සිබිල් නැන්දාගෙ සීයා නම් මුල් කාලෙදි නැන්දාට කැමතිවෙලා නැහැ නේද..?
ඔව්... ඔව්... සීයා කියලා තියෙන්නෙ මගේ දරුවට ඔච්චර වද දීපු ළමයෙක් මට එපා.. ඕන දිහාවක ගෙනියන්න කියලා. ඉතින් දොස්තර මහත්තයාට හරි සතුටුයිලු. මගේ නෝනාට දරුවෝ නෑ. ඒ නිසා මම ගෙනියන්නම් හැබැයි මාස තුනක්වත් අම්මා ළඟ තියන්න කියලා දොස්තර මහත්තයා කියලා තියෙනවා. ඒ වෙලාවේ සීයා ඒකට කැමතිවෙලා. සීයා මගේ අම්මට හරි ආදරෙයි. ඒ නිසා අම්මට වේදනාව දීපු මාව ළඟ තියාගන්න සීයා කැමතිවෙලා නෑ. සීයා මාව අඩුම ගාණේ බලලවත් නෑ. එච්චරටම සීයාට මගේ අම්මාගේ වේදනාව අහගෙන ඉන්න බැරිවෙලා.

ජීවිත පුස්තකයේ 90 වැනි පරිච්ඡේදය කියවන  ආදරණීය සිබිල් නැන්දාගේ අතීතාවර්ජනය

සිබිල් නැන්දාගෙ හඳහනේ මොනවද ලියැවිලා තිබුණෙ...?
මම ඉපදුණු ගමන් ඒ වෙලාව අරගෙන මගේ තාත්තා හඳහන හාමුදුරුනමක් ළඟට ගිහින් කේන්දරය හදාගෙන තියෙනවා. ඒ වෙලාවේ හාමුදුරුවෝ තාත්තාට මේ දරුවානම් හරි වාසනාවන්තයි. කවදාහරි ප්‍රසිද්ධියක් ලබන්න තියෙනවා. බොහෝම හොඳ කේන්දරයක්* කියලා තියෙනවා. ඉතින් තාත්තා ගෙදර ඇවිත් මම මේ දරුවාව කාටවත් දෙන්නෙ නෑ. මගේ දරුවා මම ගෙදර ගෙනියනවා කියලා ටික දවසකට පස්සෙ ගිංතොට ගෙදර ගෙනිච්චා.

හඳහනේ තිබුණා වගේම ගමේ අයත් සිබිල් නැන්දා වාසනාවන්ත දරුවෙක් කියලා කිව්වලු නේද...?
ඔව්නෙ... මගේ එක ඇහැක වපරයක් තිබුණා. ඉතින් මගේ තාත්තාගේ අම්මා, ඒ කියන්නෙ මගේ ආත්තම්මා මාව දැකපු ගමන් අනේ.. දෙයියනේ පින් වපරයක් තියෙනවා. බොහෝම වාසනාවන්ත දරුවෙක්. ඒක තමයි හඳහනේ තිබුණේ.. කියලා මගේ ආත්තම්මාට එදා ඉඳන් මගේ ගැන හරිම ආදරයක් ඇතිවෙලා. ගමේ හැමෝමත් මගේ වපරෙට කියලා තියෙන්නෙ පින් වපරේ කියලලු. ඉතින් ගමේ මිනිස්සු මට ආදරේ කරලා මේ පින් වපරෙ වර්ණනා කරනවලු.

ගිංතොට ගමේ හිටපු කාලෙදි ඒ පුංචි කෙල්ල ඒ සුන්දරත්වය උපරිමයෙන් විඳින්න ඇති නේද..?
ඔව්.. ඔව්.. මම ගිංතොට ගමේ අවුරුදු අටක් හිටියා. ඉතින් ආත්තම්මා තමයි මගේ ළඟින්ම හිටියෙ. ගමේ මිනිස්සුත් මට ගොඩාක් ආදරෙයි. මම හැදුණේ වැඩුණ්‍ෙ ගමේ. (අදටත් සිබිල් නැන්දා ගිංතොට ඒ ගමට ඒ ගෙදරට හරි ආදරෙයි. සිබිල් නැන්දා චිත්‍ර අඳින මේසෙ ළඟ ගිංතොට ගෙදර විශාල ඡායාරූපයක් තියෙනවා. අදටත් සිබිල් නැන්දා ජීවත් වෙන්නෙ ගිංතොට ගෙදර හිටිය ඒ පුංචි කෙල්ලගේ ලෝකයෙයි) මගේ ළඟම යාළුවා තමයි මගේ ආත්තම්මා. අපේ ගේ පිටිපස්සෙ ලොකු කැලයක් තියෙනවා. හැමදාම උදේට ආත්තම්මා මාව අතින් අල්ලගෙන ඔය කැලෑවට එක්කරගෙන යනවා. අපි දෙන්නා කැලේට ගිහින් සත්තුන්ට කන්න දෙනවා. වෙරළු කඩාගෙන එනවා. ගොරකා ගහේ ගොරකා ගෙඩිත් ආත්තම්මා කනවා. මගේ කටෙත් කෑල්ලක් තියනවා. කැලෑ සත්තු වගේම මායි ආත්තම්මයි උදේට වතුර ටිකක්වත් බොන්නෙ නැතිව ගෙදරින් එළියට බැහැලා කැලෑ වැදිලා කැලෑ ගෙඩි කඩාගෙන කනවා. ටිකක් දවල් වෙලා අපේ ගෙවල් ළඟින් යන ගිං ගඟේ අත්තක බැහැලා ආත්තම්මයි මායි හිතේ හැටියට නානවා. ඊටපස්සෙ ආත්තම්මගේ කොණ්ඩේ වේලෙනකම් ගහක් යටට වෙලා දෙන්නා වාඩිවෙලා ඉඳලා දවල් කෑම කන්න ගෙදර එනවා. ආත්තම්මා නිසා මගේ ලෝකෙ නිදහසේ ගෙවුණා.

ඉස්සර සිබිල්ව බලන්න කියලා කට්ටිය ලංකාදීපයට අාවා

සිබිල් නැන්දා ඉස්කෝලෙදි දඟ ගෑනු ළමයෙක්ද...?
අනේ... නෑ මම පොඩ්ඩක්වත් දඟ නෑ. මම මුලින්ම ඉගෙන ගන්නෙ ගිංතොට බෞද්ධ මිශ්‍ර පාඨශාලාවේ (වර්තමානයේදි එම පාසල ගිංතොට මහා විද්‍යාලයයි) ඉස්කෝලෙදි මම හරිම නිහඬ චරිතයක්. ගෙදරදි වුණත් එහෙමයි. මම දැඟලුවේ ආත්තම්මා එක්ක විතරයි. වැඩිපුර කතා කළෙත් ආත්තම්මා එක්ක විතරයි. අඩුම ගාණේ මම අසනීපයක්වත් අම්මාටවත් කිව්වේ නෑ. අසනීපයක් වුණාම මම වකුටුවෙලා රෙද්දක් පොරෝගෙන ඇඳේ නිදාගෙන ඉන්නවා. ඉතින් අම්මා ඇවිත් නළලට අත තියලා බලද්දි තමයි දැනගන්නෙ මම ඉන්නෙ අසනීපෙන් කියලා. ඒ තරමටම මම හිහඬ දරුවෙක්.

සිබිල් නැන්දාට චිත්‍ර අඳින්න හුරුවක් තිබුණෙ නැහැ නේද..?
අනේ... මම ඒ කාලෙ එක චිත්‍රයක්වත් ඇන්දෙ නෑ. චිත්‍ර කලාව මගේ ඔළුවේ තියෙන්න ඇති. හැබැයි මම ඒක හුරුවුණේ නෑ. චූටි කාලේ මම ලස්සනට අමදපු මිදුලේ කෝටු කෑලි අරන් එක එක බලිරූප ඇන්දා. මම හරියටම චිත්‍රයක් ඇන්දෙ මට අවුරුදු පහේදි. මට තාම මතකයි ඒ කාලෙ අවුරුදු ළඟ කාලේ. සිංහල අලුත් අවුරුදු කාලෙට ගිංතොට ගමේ හැම ගෙයකම මුළු ගේම බඩු එළියට දාලා මකුළුදැල් කඩලා ගෙවල් සුද්ධ කරලා වතුර බාල්දි ගණන් දාලා මුළු ගේම හෝදලා බිත්තිවල තීන්ත ගාලා තමයි ආයෙ බඩු ටික ඇතුළට ගන්නෙ. ඉතින් මට තාම මතකයි අපේ ගෙදර බිත්තියෙත් බොහොම ලස්සනට ළාකොළ පාට තීන්ත ගාලා තිබුණා. අම්මා කුස්සියේ කැවුම් බදිනවා. එදා අවුරුද්දට කලින් දවසේ මම බලද්දි බිත්තිය හරි ලස්සනයි. මම හෙමිහිට කුස්සියෙන් අඟුරු කෑල්ලක් අරගෙන ඇවිත් මගේ හිතේ හැටියට මගේ උසේ හැටියට අර බිත්තිය පුරා චිත්‍ර ඇන්දා. මේ කෙළවරේ ඉඳන් එහා කෙළවර වෙනකම් මම ඒ බිත්තිය පුරා චිත්‍ර ඇන්දා.

අම්මා දැක්කම මොකද සිබිල් නැන්දෙ කිව්වෙ...?
අම්මට කලින් දැක්කෙ මගේ තාත්තා. මම ඇඳපු චිත්‍ර දැකපු තාත්තා බොහොම සතුටු වුණා. හරියට අගේ කළා. තාත්තා ඉක්මනට කුස්සියට ගිහින් දරුවා හරි ලස්සන වැඩක් කරලා.. එන්නකො බලන්න කියලා අම්මවත් එක්කගෙන ආවා. අම්මා එළියට ආවේ තෙල් හැන්දත් අතේ තියාගෙනයි. අනේ අපොයි කරපු දේ... හෙටනෙ අවුරුද්ද කියලා මගේ දිහා බැලුවා. මම පැත්තකට වෙලා වෙව්ලනවා. අම්මා තෙල් හැන්දත් අරගෙන කුස්සියට ගිහින් පීරිසියකට ලොකු කැවුමක් තියාගෙන මට ගෙනත් දුන්නා. එදා අම්මා මට බැන්නෙ නෑ. තාත්තා නම් චිත්‍ර හැමඑකකම හැඩ බලලා අගය කළා. එදා අවුරුද්දට ගෙදර ආපු හැමෝම මගේ චිත්‍ර අගය කළා. හැබැයි එච්චරමයි... මම ආයෙ කාලයක් යනකම්ම චිත්‍ර ඇන්දෙ නෑ. මම එදා දැනගත්තා එහෙම බිත්තිවල චිත්‍ර අඳින එක වැරැද්දක් කියලා.

 මම එදා දැනගත්තා එහෙම බිත්තිවල චිත්‍ර අඳින එක වැරැද්දක් කියලා

ගිංතොට ඉඳන් කොළඹට ආපු ගමනත් සිබිල් නැන්දට අමතක නෑ නේද...?
අනේ... ඔව්.. මට අවුරුදු අටේදි අම්මලා මාව කොළඹ එක්කගෙන ආවා. එදා ආත්තම්මා දාලා එන්න බැහැ කියලා මම ආත්තම්මාව බදාගෙන ඇඬුවා. ආත්තම්මත් මාව බදාගෙන ඇඬුවා. එහෙම කොළඹ ගෙනල්ලා අම්මලා මාව බම්බලපිටිය ශුද්ධ වූ කන්‍යාරාමයට ඇතුළත් කළා. ඉස්කෝලෙදිත් මම හොඳ අධ්‍යාපනයක් ලැබුවා. හැබැයි මම ගම අමතකවෙන නිසා ඒ කාලෙදි කළු සුදු චිත්‍ර ඇන්දා. තාත්තා ඒ ටික කලාභවනේ තිබුණ ප්‍රදර්ශනයකට තිබ්බා. ඒක රාජකීය ප්‍රාථමික විද්‍යාලයේ එච්.ඩී. සුගතපාල මහත්තයා දැකලා තිබුණා. එතකොට මට වයස අවුරුදු පහළොවයි. සුගතපාල මහත්තයා ගෙදරට ඇවිත් පොතකට චිත්‍ර අඳින්න කියලා කිව්වා. ඒත් අම්මා ඒකට අකමැති වුණා. කොහොමහරි අවසානයේදි අම්මාගේ කැමැත්ත ඇතිව මම ඒ මහත්තයාගේ පොතකට මට අවුරුදු පහළොවේදි චිත්‍ර ඇඳලා දුන්නා. ඒක මාර්ටින් වික්‍රමසිංහ මහත්තයා ගොඩක් අගය කළා.

ඊටපස්සෙ සිබිල් නැන්දා ලංකාදීප කතෘ මණ්ඩලයටත් එකතු වුණා නේද..?
ඔව්.. එතකොට ලංකාදීප පටන් අරගෙන මාස හයයි. එතකොට මාව සුගතපාල මහත්තයා ඒ ඔෆිස් එකට අරගෙන ගියා. එදා මාව පත්තර කන්තෝරුවේ හැමතැනකම එක්කගෙන ගියා. එතකොට මට වයස අවුරුදු දහනමයක් විතර ඇති. එදා මට පත්තර කන්තෝරුවට  එකතුවෙන්න හරි ආසාවක් ඇතිවුණා. එහෙම මම ලංකාදීපයට එකතුවෙලා ආත්තම්මා කියලා දීපු ජනකවිවලට චිත්‍ර ඇන්දා. ඉස්සර සිබිල්ව බලන්න කියලා කට්ටිය ලංකාදීපයට ආවා. ගොඩක් දෙනෙක් හිතාගෙන හිටියෙ සිබිල් කියන්නෙ පිරිමි කෙනෙක් කියලයි. වාසනාවට ලංකාදීප කාර්යාලයෙන්ද මට මගේ විදියට චිත්‍ර අඳින්න නිදහස දීලා තිබුණා.

සිබිල් නැන්දා දරුවන් හතරදෙනෙක්ගෙ ආදරණීය අම්මා කෙනෙක්...?
ඔව්.. මම ලංකාදීප ආයතනයෙන් පස්සෙ ලේක්හවුස් ආයතනයට බැඳුණා. එතනදි තමයි 1955 වෙත්තසිංහ මහත්තයා එක්ක මම විවාහ වුණේ. අපිට දරුවන් හතරදෙනයි. පිරිමි දරුවන් දෙන්නයි ගැහැනු දරුවන් දෙන්නයි. අපේ දරුවෝ හැමෝටම චිත්‍ර අඳින්න පුළුවන්. හැබැයි මම වගේ දිගින් දිගටම ඒ අය චිත්‍ර අඳින්නෙ නෑ. මගේ දෙවැනි දුවට හරි ලස්සනට චිත්‍ර අඳින්න පුළුවන්. අනෙක් හැමෝටමත් හොඳට අඳින්න පුළුවන්.

ජපානයේ කරපු සමීක්ෂණයකදි ලෝකයෙන්ම ළමා ලෝකයේ ඉන්න චිත්‍ර ශිල්පීන් අතරට අපේ සිබිල් නැන්දත් තේරී පත්වුණා නේද..?
ඔව්.. ලෝකෙන්ම හැටදෙනෙක්ව ජපානය තෝරාගත්තා. ඒකට ඒ අය මාවත් තෝරගෙන තිබුණා. ළමා පොත්වලට ගැලපෙන, ළමා ලෝකයේ ජීවත්වෙන චිත්‍ර ශිල්පීන් අතරට තමයි මාව එහෙම තේරුණේ.

සිබිල් නැන්දාට මාර්ටින් වික්‍රමසිංහයන්ගෙ අපේ ගම පොතේ චිත්‍ර අඳින්නත් අවස්ථාව ලැබුණා නේද..?
ඔව්.. මම ලංකාදීපයෙ ඉන්න කාලෙදි තමයි ඒකට අවස්ථාව ලැබුණෙ. මම කියපු විදිහට චිත්‍ර ටිකක් අරගෙන කිරිමණ්ඩල මාවතේ තිබුණු වික්‍රමසිංහ මහත්තයාගෙ ගෙදරට ගිහින් චිත්‍ර ටික බාරදුන්නා. චිත්‍ර ටික ගැන බොහොම පැහැදිලා ඉතින් ළමයො කීයක් ඕනෙද කියලා ඇහුවා. අනේ මහත්තයෝ සතයක්වත් එපා.. ඕක ඇන්ද එකම ලොකු සතුටක්.. කියලා මම කිව්වා. එහෙම කියන්න එපා... කියලා මට පෙරුත්ත කළා. ඒත්.. මම සතයක්වත් ගත්තෙ නෑ. එහෙමනම් මේ පුස්තකාලය වටේම ගිහින් ඕනෑම පොතක් තෝරගන්න කියලා මට වික්‍රමසිංහ මහත්තයා කිව්වා. එදා මම වික්‍රමසිංහ මහත්තයාගේ පුස්තකාලෙන් පොතක් අරගෙන ඒක එතුමාට කියලා අත්සන් කරගත්තා. අදටත් මගේ ගාව ඒක තියෙනවා.

සිබිල් නැන්දගේ අද දවස ගෙවෙන්නෙ කොහොමද...?
මම උදේ හය වෙනකොට නැඟිටිනවා. නැඟිටලා තේ එකක්, එහෙම නැත්නම් කෝපි එකක් බීලා මූණ එහෙම හෝදගෙන බුදුන් වඳිනවා. මම බුදුන් වඳින්න ටිකක් වැඩිපුර වෙලාව ගන්නවා. ඊටපස්සෙ මම තියෙන වැඩක් කරනවා. වැඩිපුර දැන් පොත්පත් බලන්නෙත් නෑ. ටීවීනම් කොහෙත්ම බලන්නෙ නෑ. ගොඩාක් වෙලාවට මම ඇඳට වෙලා බණ අහනවා. පිරිත් අහනවා. ඉතින්.. මට ඒ හැමදෙයක්ම හිතට ලොකු සතුටක්.

► Text – Dishani /  Pic – Sumudu